UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමි සතුට වඩන හෙළයේ මහ මංගල්‍යය

සිරිලක සිරි පිරී, ඉතිරී- පැතිරී යන, සදාචාර පිළිවෙත් වර්ධනය කරන ජාතික සමඟිය තහවුරු කරන නව ජීවන ගමනකට පියවර තබන බක්මහ උළෙල වනාහී, පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගෙන එන අනගි දායාදයකි.

කෙත්වත් සරුකොට වවා ලබාගත් වී සහල්, එළවළු, පලතුරු බුලත්, තුනපහ අටුකොටු පැසී, වට්ටි, පෙට්ටි, හැළිවලං පුරවාගෙන ගෙදරදොර මිදුල්, උයන් අතුපතු ගා ඇඳුම් පැළඳුම් අලුත් කරගෙන අවුරුදු උළෙලට සූදානම් වන්නේ, සුබ නැකතට සන්ධ්‍යා භාගයේ නව සඳ බැලීමෙනි.

ඉර හඳ දෙවියන් වශයෙන් සලකා පුදපුජා පවත්වා තම ජීවන ගමන ආරක්ෂා කර ගැනීමට ඉමහත් ප්‍රයත්නයක යෙදුණු අයුරු භාරතීය ශිෂ්ඨාචාරයේ ආදිතම ආගමික සාහිත්‍ය වන වේදයෙහි දක්නට හැකි ය. මිහිමත ජීවින්ගේ දර්ශන පථයට ඉතා ප්‍රකටව ඇති ඉර හඳ , කාලය, අව්ව වැස්ස ආදී අත්‍යාවශ්‍ය සම්පත් ලබා දෙන බැවින් ආර්ය ශිෂ්ටාචාරය පෝෂණය වීමට මෙයින් විශාල ආලෝකයක් ලැබිණි.

ඇසළ මසේ සඳ ඇති රැයේ අභිනිෂ්ක්‍රමණය කළ අප මහ බෝසතාණෝ වෙසක් පුර සඳ ඇති තුන් යම් රෑ මහා භාග්‍යවන්ත දිනයක ලොව්තුරා බුදුබව ලබා තුන්ලොව ඒකාලෝක කළ සේක. සඳ බැලීමෙන් සිත පවිත්‍ර වෙයි. සොබාදහමේ අසිරිමත් ක්‍රියාකාරීත්වය අනුව යහපත උදෙසා කරන සිරිත් විරිත් බාධා රහිත කරගෙන යෑමේ තිරසර චින්තන ශක්තිය ඇති වෙයි.

සෞර ග්‍රහ මණ්ඩලයේ ජංගම ක්‍රියාකාරීත්වයට ප්‍රධානතම ජයශක්තිය ලබා දෙන සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන නොනගත කාලය ඉතා වේගයෙන් ඉක්ම යද්දී බෞද්ධ, හින්දු ජනතාව ශ්‍රද්ධා භක්ත්‍යාදරයෙන් තම තමන්ගේ ඇදහීම් අනුව වෙහෙර විහාර, බෝධි මණ්ඩප, දේවාල, කෝවිල් වෙත පැමිණ, තෙරුවන් වැද දෙවියන් පුදා ප්‍රාර්ථනා කරන්නේ, සංක්‍රාන්තියෙන් පසු උදා වන නව වසර දුකෙන් තොර- සැපෙන් සපිරි, භාග්‍යවන්ත වසරක් වේවා යනුවෙනි. පූජාච පූජනීයානං යන බුද්ධ දේශනාව අනුව, මෙම උත්සව සමයේ උතුම් මංගල සම්මත සිද්ධාන්ත ක්‍රියාත්මක කිරීමෙන් පියවරෙන් පියවර ප්‍රගතිය කරා යෑමට පිදිය යුත්තන් නිසි පරිදි පිදීම, වැදීම ගරුසරු කිරීම අලුත් ජීව බලයක් සොම්නසක් ජනිත කරන සත් ක්‍රියාවකි. මහා කුසලයකි.

සිල්වත් ගුණවත් පැවිදි උතුමන් ගුරුවර මවුපියන් වෙද මහත්වරුන් ගුණ නැණින් බර වැඩිහිටියන් වෙත පැමිණ බුලත් අත් දී දෙපා නැමැද ගාථා කියා කමා කරගෙන පවිත්‍ර සන්තානයෙන් කරුණාබර පැතුමෙන් අනුශාසනාවෙන්, උපදේශයෙන් වසර පුරා ඒ ශාන්තියෙන් ආශිර්වාදයෙන් කායික මානසික දුක් දොම්නස් අහෝසි වී යන්නේ ය. හදවතට සහන්සුවය ගෙන දෙන්නේ ය. දානං ච ධම්ම චරියාච, ඤාතකානංච සංගහෝ දන් දීම, ධර්ම චර්යාව, ඤාති සංග්‍රහය, පි‍්‍රය වචන භාවිතය යන ශ්‍රේෂ්ඨ චර්යාධර්ම කරුණා, මෛත්‍රී සංකල්ප වලින් පරිභාවිතව ක්‍රියාත්මක කිරීමෙන් සිංහල අවුරුද්දේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ ප්‍රකට කෙරේ.

සිතෙන් සිත එක්ව දොරින් දොර විවෘතව ඤාති හිත මිත්‍රාදීන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම හා සංග්‍රහ ලැබීම බුදුදහමේ දන්දීම ප්‍රධාන කරගත් උදාර සිරිත් විරිත් ක්‍රියාත්මක කිරීමකි. බෞද්ධ ජීවන දර්ශනයේ සාරවත් බව ප්‍රකට කිරීමකි.

ආර්ථික සම්පත් උදෙසාම පමණක් යාන්ත්‍රිකව ක්‍රියා කරන තෙරපෙන මානව සමාජය තුළ බෞද්ධ චින්තනයෙන් පෝෂණය වූ ජාතික සම්ප්‍රදායක් වශයෙන් පවතින්නේ සිංහල අවුරුදු උත්සවයයි. එය අපගේ ජීවිතයේ ස්වරූපය පෙන්වන කැඩපත ද වන්නේ ය. එය අපේ මතු පරපුරට ද ආදර්ශයකි. භාරතයෙන් ලංකාවට ලැබුණු බුද්ධාගම හා හින්දු දේව ආගම් නක්‍ෂත්‍ර විද්‍යාව, කෘෂිකර්මාන්ත හා දේශපාලන ක්‍රම, අධ්‍යාපන පිළිවෙත්, භාෂා සාහිත්‍ය කුසලතා ආදිය එක්ව නිර්මාණය වූ උත්සව අතර, අලුත් අවුරුදු උත්සවය සුවිශේෂය. එසේ වීමට හේතු වී ඇත්තේ ආර්ය ශිෂ්ටාචාරය සොබා දහම් පරිසරයෙන් බිහිවීම, ප්‍රධාන ආගම් දෙකම සම්බන්ධ වීම , බුදු දහමේ පවතින සහනශීලි ආකල්ප , පවත්වන කාලවකවානු සාරවත්වීම, දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය විෂය මූලික වීම යන කරුණුය.

සොබා දහමේ අසිරිමත් ආශ්වාදයෙන් දෛනික ජීවිතය සෝභමාන කරගත් ආර්යයන් තමන් අවට නිතර දකින ජීවිතය පවත්වාගෙන යෑමට හේතු වන ඉර, හඳ , තාරකා , ජලය, ගින්න, ගස්වැල්, කඳුහෙල්, ගංඟා ආදියට දේව සංකල්ප ආරූඪයෙන් අපූර්ව සිරිත් විරිත් මඟින් ආරක්‍ෂා කරන්නට පුද පූජා කරන්නට , පුරුදු වූ අයුරු වේද සාහිත්‍යයේ දක්නට පුළුවන. ලංකාවේද ආර්ය ශිෂ්ටාචාරය ව්‍යාප්ත වීමට බුද්ධාගම මෙන්ම භාරතීය දේව ආගම් හා කෘෂිකර්මාන්තය පදනම් විය. ගොඩමඩ කෙත් වතු සාරවත්ව වැඩී අස්වනු නෙළන කාලයේදී විවිධ පක්‍ෂීන් හා පරිසරය නෙත් සිත් පිනවීමට, මිනිසුන්ගේ සිත්වලට ආනන්දජනක හැඟීම් ඇතිවීමට හේතුවකි.

එවැනි කාලයක සිදු කැරෙන මෙම ජාතික උත්සවයෙන් අතීත ජාතික උරුම පශ්චාත් ජනතාවට හඳුන්වා දීම බෞද්ධ සංස්කෘතික සංවර්ධනය , චර්යා ධර්ම හා කුසලතා වර්ධනය , ජාතීන් අතර සම්බන්ධය තහවුරු වීම , ආර්ථික සංවර්ධනය යන යහපත් ප්‍රතිඵල අපට ලැබෙයි. විවෘත මනසින් ආගමික ශ්‍රද්ධා භක්තියෙන් ඉතා මිත්‍ර ලීලාවෙන් ක්‍රියාත්මක කරන ශ්‍රේෂ්ඨ සිරිත් විරිත් නිසා ගුණ නුවණින් හා ආනන්ද ජනක හැඟීමෙන් උද්දාමයට පත් වන සකල ලාංකික ජනතාවට මෙම බක්මහ උළෙල සතුට සම්පත භාග්‍යයම උදා කරත්වා.

ඔබ සැමට තෙරුවන් සරණයි

බක් පුර අටවක පෝය

    අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි.
13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]