උදාර පරමාර්ථ වෙනස් නො වේ
වෙනස් වන බව හැර සියලු දේ වෙනස් වන බව ඇත්ත ය. මානව
සංස්කෘතියට ද අදාළ මේ ධර්මතාව නො සලකා අප ගේ පාරම්පරික සිරිත්
විරිත් ආදිය පිළිබඳ ව කතා කළ නො හැකි ය. ඇතැම් සිරිත් විරිත්
කාලය විසින් බැහැර කැරේ. ළිඳ සමඟ තිබූ ස්වභාවික ගනු දෙනු ව
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පාරිභෝගිකයන් බවට පත් වී
සිටින නාගරික ජනතාවට අද නැත. එහෙත් පරිභෝජන ස්වභාවය වෙනස් වූව
ද ජලය ජීවිතයේ කොටසක් ලෙස ඉදිරියටත් පවතිනු ඇත.
කෙ සේ වූව ද යමක් වෙනස් කිරීමට පෙර, එය වෙනස් කළ යුත්තේ ඇයි,
වෙනස් කැරෙන ආකාරය හා වෙනස් වීම නිසා ලැබෙන ප්‍රතිඵල ගැන
සැලකිලිමත් විය යුතු ය. මෙය රුසියානු මහ ගත්කරු ලියෝ
ටෝල්ස්ටෝයි ගේ වචන වලින් පවසන්නේ නම්, පැරැණි දේ අත් හැර දමන්න
කලින්, ඒ පැරැණි දේ තිබුණු තැනට දමන්න පුළුවන් දෙයක් තමා ළඟ
තිබෙනව ද කියලා යමකු දැන ගන්න ඕනෑ ය. ඇලෙක්සැන්ඩ්‍රා දියණියට
ටෝල්ස්ටෝයි විසින් දෙන ලද මේ උපදෙස යමකු ගේ පෞද්ගලික ජීවිතයට
පමණක් නො ව සමාජයීය කාරණා වලට ද එක සේ වැදගත් යැයි සිතමු.
හෙටට යෙදී ඇති සිංහල දෙමළ අලුත් අවුරුදු උළෙල සම්බන්ධයෙන් කතා
කිරීමේ දී ද ටෝල්ස්ටෝයි ගේ එම උපදෙස අවධානයට ගැනීම වැදගත් ලෙස
දකිමු. කෘෂිකාර්මික ජීවන රටාව මත පදනම් වූ සිංහල අලුත් අවුරුදු
උළෙල නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරයට නො ගැලැපෙන බව කියා ඉවත දැමිය
නො හැකි ය. රයිස් කුකරයේ බත පිසින ගෘහණිය අවුරුදු දා පමණක්
නැකතට ලිප ගිනි දල්වන්නේ කුමට දැයි අසන විට ඇත්තේ ඔවුන් ගේ
දැනුම පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ලොව පවතින්නේ හිරු ගේ රැස්
වලින් හා මව ගේ කිරි වලින් යැයි මැක්සිම් ගෝර්කි නමැති
රුසියානු ලේඛකයා කියා තිබේ. මෙය මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම
පිළිබඳ ව ඇති වටිනා නිර්වචනයකි.
මැක්සිම් ගෝර්කි වචන බවට පත් කළ ඒ යථාර්ථය අලුත් අවුරුදු
සිරිත් විරිත් මඟින් අප ක්‍රියාවට නංවා ඇත්තේ අනාදිමත් කාලයක
සිට ය. සූර්ය මංගල්‍යය ලෙස අලුත් අවුරුදු උළෙල හැඳින්වීම
කෙතරම් අර්ථාන්විත ද යන්න මේ යථාර්ථය දන්නා අයට කිව යුතු නැත.
එ බැවින්, සිංහල අවුරුදු උළෙල සඳහා පදනම් වූ සංකල්ප සමාජ
පරිවර්තන හමුවේ අහෝසි වී තිබේ ද යන්න විමසා බැලීම වැදගත් වේ.
අප මෙහි ඉහත අවධාරණය කළ පරිදි, ශ්‍රී ලාංකික ජන ජීවිතයේ දී
භාවිත කැරෙන ගෘහ උපකරණ ආදිය පවා වෙනස් වී ඇත. එය ද මීට යම්
බාධකයක් බව ඇත්ත ය. එ පමණක් නො ව මේ මහා සංස්කෘතික මංගල්‍යය
සමඟ බැඳී පවත්නා ස්වභාවික පරිසරය ද වෙනස් වී තිබේ. අතීතයේ දී
පරිසරයෙන් ලැබුණු ආශිර්වාදය අද මේ සඳහා නො ලැබේ.
මේ සියලු කරුණු අනුව බලන කල, බක් මහ සැණකෙළියේ අසිරිය විඳ
ගැනීමට බොහෝ බාධක අප විසින් ම නිර්මාණය කැර ගෙන තිබේ. එහෙත් මේ
සියලු බාධක මැද වූව ද බක් මහ සැණකෙළිය සඳහා පදනම් වූ විශිෂ්ට
සංකල්ප අහෝසි වී නොමැත.
විශ්වයේ පැවැත්ම ඉතා සියුම් ලෙස විග්‍රහ කැරෙන ළිඳ සමඟ ගනු
දෙනු කිරීම, කිරි ඉතිරවීම ආදී ක්‍රියාකාරකම් අත් හැරිය යුතු
යැයි අපි නො සිතමු. එ බැවින් විසිඑක් වන සියවසේ දී සූර්ය
මංගල්‍යය අවිද්‍යාත්මක උත්සවයකැයි බැහැර කිරීම වරදකි. ස්වභාව
ධර්මය දේවත්වයෙන් පිදීමේ උදාර මනුෂ්‍ය ස්වභාවයත්, බුදු දහම
මඟින් ඇති කළ මහා කරුණාවත් මිශ්‍ර වූ බක් මහ සැණකෙළිය
අර්ථාන්විත ව සැමැරීම අප ගේ යුතුකම වේ. |