UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘පෝය දා ට සිල් අරගෙන මෙහෙම ඉන්න’

පොහොය දින පෙහෙවස් සමාදන් වීම , පෙර සිටම සිදුකරගෙන එනු ලබන උතුම් කාර්යයකි. එය කොතරම් දුර අතීතයකට දිව යයි ද කිවහොත් , බුදුන්වහන්සේ ලොව පහළ වීමටද, ප්‍රථම සිට පැවැත එන්නක් බව සඳහන් කළ හැකිය. එය සිද්ධාර්ථ කුමරා මව්කුස පිළිසිඳ ගන්නා අවසථාවේ මහා මායා දේවිය පෙහෙවසට සමාදන් ව සිටීමේ සිද්ධියෙන් පැහැදිළි කරගත හැකිය. බුදුන්වහන්සේගේ පහළ වීමත් සමගම මෙම පෙහෙවසට , වඩා අර්ථවත් බවක් ආරෝපණය විය. එමගින් පරිපූර්ණ බ්‍රහ්මචර්ය වාසය ද පුද්ගල ජීවිතය තුළ කාය , වාග් , මානසික සංහිදියාව ඇති කරගන්නා ආකාරය ද හදුන්වා දීම සිදුවිය. එසේම නිසි ආකාරයට රැකගත් බ්‍රහ්මචර්ය ශීලය නිවන සාක්ෂාත් කර ගැනීම දක්වාම උපයෝගී කරගන්නා ආකාරය බුදු දහමෙහි ඉගැන්වෙන වැදගත් කාරණයක් ලෙස සඳහන් කළ හැකිය.

කාරණය එසේ වෙතත් නිවැරැදි ආකාරයෙන් සමාදන් වූ පෙහෙවස ආරක්ෂා කර ගැනීම සමහර දෙනාට අපහසු වී ඇත. තමා විසින් සමාදන් වූ පෙහෙවස නිසි ආකාරයෙන් ආරක්ෂා කරගත නොහැකි වීමට ප්‍රධාන හේතු සාධකය නම් පෙහෙවස් සමාදන් වීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කමය. පොහොය දින පෙහෙවස් සමාදන් වූ සමහර දෙනා මෙම නොදන්නාකම නිසා සිල් සමාදන් වී සුළු වේලාවකදීම තම පෙහෙවස කිළිටි කරගන්නේය. විහාරස්ථානයක සිල් සමාදන්ව සිටින සමහර උවැසියන් කාපු බීපු ආ - ගිය තැන් පිළිබඳව කථා කරමින් නිකරුනේ කාලය ගත කරන සැටි අපට දැක ගත හැකි වන්නේය. මෙහිදී අප වටහාගත යුතු කරුණක් නම්, පෙහෙවස් සමාදන් වීම යනු සමාදන් වු ශික්ෂා පද ආරක්ෂා කිරීම පමණක් නොව, එම ශික්ෂා පද උපයෝගී කරගනිමින් තම ජීවිතයෙහි අභ්‍යන්තරික හා බාහිර පාරිශුද්ධිය ඇතිකර ගැනීම බවය. එය කායික , වාචසික හා මානසික සංවරය ඇති කර ගැනීම යැයි ද හැඳින්විය හැකිය.

බුදු රජාණන් වහන්සේ විසින් විශාඛා උපෝසථ නම් සූත්‍රයේදී උපෝසථ වර්ග 2 ක් පිළිබඳව සඳහන් කර ඇත. එය ගොපලු උපෝසථ හා අරිය උපෝසථ යයි. සමාදන් වූ උපෝසථ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා සමහර අයකු අරිය උපෝසථය යැයි සිතා ගොපලු උපෝසථය බව උන්වහන්සේ පෙන්වා යමෙක් පොහොය අටසිල් හෝ දස සීල සම්පත්තියෙහි පිහිටි අවස්ථාවක ද්වත්තිංස තිරච්ඡාන කථා (අත්හළ යුතු කථා 32) බැහැර නොකරන්නේ නම් තමා සමාදන් වූ පෙහෙවසින් ඔහුට කිසිදු අර්ථ සිද්ධියක් සිදුකරගත නොහැකි බව තේරුම් ගත යුතුය. බුදුන්වහන්සේ විසින් මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ පිරිස විසින් බැහැර කළ යුතු යැයි දේශනා කරන ලද්දේ මේවා කරන අය තුළ රාග දෝෂ මෝහ යන අකුසල වැඩීම නිසාය. මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ ඇත්තන් විසින් පමණක් නොව ගිහිගෙය අතහැර පැවිදි බිමට පත් නිවන අවබෝධ කිරීමට බලාපොරොත්තු වන සියලු භික්ෂූන් වහන්සේ විසින්ම අත්හළ යුතු කථා ලෙස බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. මක්නිසාද යත් මේ සියල්ල තමන් ආරක්ෂා කරන ශාසන බ්‍රහ්ම චරියාව පවත්වාගෙන යාම සඳහා පැහැදිළි ලෙසම බාධාවන නිසාය .යම් කථාවක් ඉපදවීමෙන් තමාගේ සීලයට හෝ ඇතිකරගත් සමාධියට බාධා පැමිණිය හැකි යැයි වැටහේ නම්, තුෂ්නිම්භූතව විසීමට, අප පුරුදු විය යුතුය.

යම් විටෙක පෙහෙවස් සමාදන් වූ අයෙකු දෙතිස් කථා වලින් යුත්තව ගත කරන්නේ ද ඔහු ගොපලු උපෝෂථයෙන් යුක්ත අයෙකු බව දැනගත යුතුය. ගොපල්ලාගේ ක්‍රියාව නම් කිසියම් චේතනයකට තමාට කිසිදු අයිතියක් නොමැති ගවයන් රැක බලා ගැනීමය. ගොපල්ලා කෙතරම් හොඳින් තමාට බාරදුන් ගව රැල රැක බලාගත්තද ඔහුට කිසිම ආකාරයෙන් පස්ගෝ රසයක් නෙැලැබෙන්නේය.

ඒ ආකාරයට වැරැදි ලෙස පෙහෙවස් රකින්නාට ද එයින් අනර්ථයක් මිස අර්ථයක් සිදු නොවන බව මෙහි අර්ථය වන්නේය. එම සීලය සිදුරු සහිත හෝ තැනින් තැන පුල්ලි වැටුන අසම්පූර්ණ සීලයක් බවට පත්වන බව තේරුම් ගත යුතුය. එම නිසා පෙහෙවස් සමාදන් වූ අය විසින් අනිවාර්යෙන්ම බැහැර කළ යුතු දෙතිස් කථා මෙසේ හඳුනාගත යුතුය. 1. රාජ කථා - රජුන් පිළිබඳ කථා, මෙය රටේ රජතුමා ගැන කථාකිරීම යන අර්ථයට වඩා රටෙහි දේශපාලනය පිළිබඳ සිතමින් එහි ඇති අඩුපාඩු ගැන විචාරය කිරීම යැයි දත යුතුය. 2. චෝර කථා - සොරුන් පිළිබඳ සාකච්ඡාව 3. මහා අමච්ච කථා - රටේ සිටින මැති ඇමැති වරුන්ගේ ක්‍රියා පිළිබඳ කථා කිරීම 4. සේනා කථා - රටේ හමුදාව පිළිබඳ සාකච්ඡා කිරීම 5. භය කථා - බිය පිළිබඳ කථාව , මෙය තමාට කාමයන් නොලැබේ යැයි සිතෙහි ඇතිවන සැක සංකා සමග ඇති කරගන්නා කථා යැයි එක් ආකාරයකිනුත් අනෙක් ආකාරයෙන් තමාට පැමිණෙතැයි සැක සිතෙන බාහිර කරදර හා උපද්‍රව පිළිබඳ ඇති කරගන්නා කථා යැයි ද සඳහන් කළ හැකියි. 6. යුද්ධ කථා - යුද්ධ ගැන සාකච්ඡා කිරීම හා ඒ පිළිබඳව සිතමින් කල් ගෙවීම 7. අන්න කථා - නොයෙක් ආහාර පිළිබඳ තෘෂ්ණා සහගතව සිතීම හා කථාකිරීම ද තමා අනුභව කරන ලද ආහාරයේ ගුණදොස් විචාරය කිරීම ද මෙයට අයත් වන්නේය. 8. පාන කථා - නොයෙක් බීම වර්ග ගැන සිතමින් ඒ පිළිබඳ කථා කිරීම ,9. වත්ථ කථා - ඇඳුම් පැළදුම් ගැන කථා කිරීම 10. සයන කථා – සුවපහසු ආසන හා යහනා පිළිබඳ සිතීම හා කථා කිරීම 11. මාලා කථා - මල් ගැන කථා 12. ගන්ධ කථා - සුවඳ විලවුන් ගැන කථා 13. ඤාති කථා - නෑයන් පිළිබඳ කථා 14. යාන කථා - රථ වාහන ගැන කථා 15. ගාම කථා - ගම් ගැන කථා 16. නිගම කථා - නියම් ගම් ගැන කථා 17. නගර කථා - නගර ගැන කථා18. ජනපද කථා - ජනපද ගැන කථා 19. ඉත්ථි කථා - ස්ත්‍රීන් ගැන කථා 20. පුරුෂ කථා - පුරුෂයන් ගැන කථා 21. සුරා කථා - මත්ද්‍රව්‍ය ගැන කථා 22. ක්‍රීඩකයන් ගැන කථා 23. විසිඛා කථා - වීදි ගැන කථා 24. කුම්භට්ඨාන කථා - ළිංගැන කථා 25. පුබ්බ පේත කථා - මිය ගිය අය ගැන කථා කිරීම 26. නානත්ථ කථා - නානාප්‍රකාර දේ ගැන කථා කිරීම 27. ලෝකායතිකං කථා - විශ්වය ගැන තර්ක කිරීම 28. සමුද්ධ කායිකං කථා - මුහුද ගැන කථා කිරීම 29. ඉති භවාභවං කථා - මෙසේ සිදුවන්නේය. මෙසේ සිදුනොවන්නේය යැයි තර්ක විතර්ක කිරීම 30. ලාභ කථා - ලැබීම ගැන කථා 31. පලාප කථා - අර්ථ විරහිත කථා 32. අලාභ කථා - නොලැබීම් ගැන කථා

මෙම දෙතිස් කථා නිරවද්‍යය උපෝසතයට බාධාවකි. ඒ තුළින් එළැඹි සිහිය ගිලිහී ගොස් අයෝනිසෝමනසිකාරයම ප්‍රගුණ වන්නේය. යමෙක් මෙම දෙතිස් කථාවන්ගෙන් පෙහෙවස් කිළිටි කරගත්තේහිද ඔහු කුළියට ගවයෙන් බලන අයකු හා සමාන යැයි දැන ගත යුතුය. මෙම දෙතිස් කථා තිරච්ඡාන කථා යනුවෙන් අදහස් කොට ඇත්තේ මේ සියල්ල කිසිවකුට හෝ අර්ථය ගෙන නොදෙන කථා නිසා යැයි දත යුතුය. එහෙයින් නිරවද්‍ය වූ ආර්ය උපෝසථයන් පැවැත්වීමට බලාපොරොත්තු වන අයෙකු මෙම දෙතිස් කථා බැහැරකොට දස කථා ජිවිතයට ඇතුළත් කර ගත යුතුය.

මෙම දසකථා සමාදන් වු උපෝෂථය නිවැරදිව ආරක්ෂා කිරීමටය හේතුවන ස්වකීය කාය වාග් හා මානසික සංහිඳියාව ඇතිකරන ගුණ දහම් 10 කි. මෙහි දි අප තේරුම් ගත යුතු වන්නේ මෙම දස කථා කථා කරමින් සිටීම පමණක් නොව තම ජීවිතය පුරාම දියුණූ කරගත යුතු පිළිවෙත් බවත් ය. 1. අප්පිච්ඡ කථා - තමා තුළ ඇතිකරගත් අල්පේච්ඡ බව ගැන සිතීම හා ඒ පිළිබඳ කථා කිරීම .එසේම අල්පේච්ඡ බවෙහි ඇති නිරාමිස බව පිළිබඳ සාකච්ඡා කිරීම යැයි ද මෙය දැනගත යුතුය 2. සන්තුට්ඨි කථා මෙය ලද දෙයින් සතුටු වීම ගැන කථා ඉපදවීමය. තමා තුළ ලද දෙයින් සතුටු වන ගතිය නොමැති නම් එම ගුණාංගය තමා තුළ ඇති කර ගැනීම .

මෙම කරුණ ජීවිතයෙහි පුරුදු වුයේ නම්, තමා පෙහෙවස් සමාදන් වු අවස්ථාවෙහි අනවශ්‍ය ආකාරයෙන් සැප පහසුකම් සොයමින් සිත දුදන ගතියෙන් නිදහස් වීම සිදුවන්නේය. 3. පච්වේක කථා – තමාගේ සිතෙහි කා කයෙහි ඇති කරගත් උතුම් විවේකය ගැන කථා කිරීම .

පෙහෙවස් සමාදන් වු අයෙකු භාවනා යෝග කර්මයක් යෙදුණු විට ඇති වන කාය - චිත්ත - උපධි විවේකය යැයි මෙය දත යුතුය. 4. අසංගස්ස කථා - කාම ආශ්‍රවයන්ගෙන් වෙන්වීම තුළින් ඇතිවන නිරාමිස මෙයින් අදහස් වන්නේය. 5. විරියාරම්භ කථා - මෙයින් ආරද්ධ වීරිය ගැන කෙරෙන කථා අදහස් තමා ආරම්භ කරන ලද කටයුත්ත අවසානය දක්වා පරමර්ථ සමුර්ධ වන තෙක්ම අත් නොහැරීමේ ඇති වැදගත් කම යැයි මෙයි දත් යුත්තේය 6. සීල කථා - තමා ආරක්ෂා කරන සීලය පිළිබඳ සිතින් ආවජ්ජනය හා ඒ පිළිබඳ කථා කිරීම 7. සමාධි කථා - තමා උපදවාගත් සමාධිය පිළිබඳ සිහිකිරීම හා එහි ඇති අනුසස් ගැන කථා කිරීම 8. පඤ්ඤා කථා - ‍ෙමය විදර්ශනා පඤ්ඤාව පිළිබඳ කෙරෙන කථා යැයි දැනගත යුතුය. 9. විමුක්ති කථා කෙරේ විමුකිත කථා යනු නිවන පිළිබඳ සිතීම හා ඒ පිළිබඳ කථා කිරීම වන්නේය 10. විමුක්ති ඤාණදස්සන කථා විමුක්ති ඤාණ දර්ශනය පිළිබඳ සිහිකිරීම හා ඒ පිළිබඳ කථා කිරීමය.

මෙසේ සඳහන් කරන ලද දසකථා ජීවිතයට සම්බන්ධ කරගත් බුද්ධ ශ්‍රාවකයාට රාග, ද්වේෂ ,මෝහ යන අකුසල මූල නිරුද්ධ කිරීමට හැකිවන බව දැනගත යුතුය. යමෙක් පෙහෙවස් සමාදන් වු දින දෙතිස් කථා දුරු කොට දස කථා තම සිල්වත් ජීවිතයට ඇතුළත් කර ගනියි නම් , ඔහු හෝ ඇය එයින් රහතන් වහන්සේ හා සමානව වාසය කිරීමක් එයින් අර්ථවත් වෙයි .

බක් පුර අටවක පෝය

    අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි.
13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]