UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මනස සුවපත් කරන විරාගය

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

ඒකමන්තං නිසින්නං ඛෝ
ආයස්මන්තං රාධං භගවා
ඒතදවෝච රූපේ ඛෝ රාධ,
යෝ ඡන්දෝ යෝ රාගෝ
යා නන්දි යා තණ්හා තං පජහථ

කාරුණික පින්වත්නි,

සංයුත්ත නිකායේ ඛන්ධක වර්ගයේ රාධ සංයුත්තයෙහි, පඨම මාර වර්ගයේ ඡන්ද රාග සූත්‍රයේ සඳහන් උතුම් ධර්ම කොටසක් ඉහත සඳහන් කෙරිණි. තථාගත භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවරදී රාධ තෙරුන් වහන්සේට මෙම ඡන්දරාග, සූත්‍රය වදාළහ. “රාධ, රූපයෙහි යම් ඡන්දයෙක්, යම් රාගයෙක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් ඇත්ද එය දුරු කරවු. මෙසේ එම රූපය සිතින් ඉවත් කිරීමෙන් මුලින්ම උදුරා දමන ලද හා හිස සුන් තල් ගසක් මෙන් නැවත නොඉපදෙන්නේය. මේ ආකාරයෙන් වේදනාවේද සඤ්ඤාවේද, සංඛාරයෙහිද, විඤ්ඤාණයෙහි ද ඇලීම හා බැඳීම මතු හට නොගන්නා ලෙස දුරු කළ යුතු බව මෙම සූත්‍ර දේශනාවෙහි පෙන්වා දී ඇත. මෙහිදී පඤ්ච ස්කන්ධයෙහිම හට ගන්නා වූ රාගය දුරු කිරීම පිළිබඳව වෙන්ව සාකච්ඡා නොකෙරෙන අතර, අප විසින් පැහැදිළි කරනු ලබන්නේ රාගය තුනී කිරීමෙන් හා ප්‍රහාණය කිරීමෙන් ලැබෙන්නා වූ විමුක්ති සුවය පිළිබඳවය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ නාම රූප ධර්මයන් කෙරේ අනිච්ච, දුක්ඛ හා අනත්ත ලෙස අරමුණු පවත්වා පෘථජ්ජන මනසෙහි හට ගන්නා වූ රාග, දෝස හා මෝහ තුනී කිරීමද අවසානයේ දී ප්‍රහාණය කළ යුතු බවය. එය සිදුකළ යුතු මාර්ගයය.

රාගය ඇවිලෙන ගින්නක් බඳුය. එය බුර බුරා නගින ගින්දර මෙන් පළමුව සිතත් දෙවනුව ශරීරයත් දවමින් හා වේදනාවට පත්කරවමින් ශෝකයත්, කණගාටුවත් සන්තාපයත් ඇති කරවයි. රාගය රස තෘෂ්ණාව ඇස, කණ, නාසය, දිව හා ශරීරය ඔස්සේ ඇතිවෙයි. මෙම පංච ඉන්ද්‍රියන්ගෙන් පි‍්‍රය, රස හා මිහිරි ආදී ලෙස විවිධ අරමුණු අල්ලා ගනී.

සිත දැවෙමින් වේදනාව ගෙනදෙන්නේ මෙම පි‍්‍රය රස මිහිරි හා සුබ ලෙසින් අල්ලා ගත් අරමුණු වෙනස්වීම ආරම්භ කළ තැන් පටන්ය. එම වෙනස්වීම සිදුවන්නේ මෙලොව ඇති සියල්ලම අනිත්‍ය නිසාය. එපමණක් නොව තමන් පි‍්‍රය ලෙසින් අල්ලා ගත් අරමුණු වෙනත් අයෙකුට අයිති වන විට හෝ වෙනත් අයෙකුට අයිති වේය යන බිය නිසාද සිත තුළ දැවෙන වේදනාව වැඩිවන්නට පටන්ගනී.

මෙහි රාගය යනුවෙන් අදහස් කරන්නේ් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් තුළ හට ගන්නා වූ කාම තෘෂ්ණාවම පමණක් නොවේ. පංච ඉන්ද්‍රියන්ගෙන් අල්ලාගෙන සුබ ලෙසින් දකින සියලු දෑ එයින් අදහස් වේ. මෙම රාගය විටෙක සිත පිනවන බවක් පෙන්නුම් කරයි. එහෙත් සැබවින්ම එය මානසික දුක්ඛයන් කරා කැඳවාගෙන යාමකි. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලින් නිදසුනක් ගෙන බලමු.

පේමතෝ ජායතී සෝකෝ

පේමතෝ ජායතී භයං

පේමතෝ විප්පමුත්තස්ස

නත්ථි සෝකෝ කුතෝ භයං (ධම්මපදය

‘පේ‍්‍රමය නිසා ශෝකය උපදී. පේ‍්‍රමය නිසා භය උපදී. පේ‍්‍රමයෙන් වෙන්වූවන්ට ශෝකයක් නැත. බියක් කෙසේ නම් ඇතිවන්නද?’

මෙම මනසින් අල්ලාගැනීම හඳුන්වන රාගය, පේ‍්‍රමය, තෘෂ්ණාව, ලෝභය හා ආශාව යන වචන බොහෝ විටෙක සමාන තේරුම්වලින් යුක්තය. මේ අනුව රාගය, පේ‍්‍රමය, ආශාව නිසා දුක හටගන්නේ එය අල්ලා ගැනීමක් නිසාය. එනම් වෙනස්වීම කෙරෙහි අවදියෙන් නොසිට ‘මගේ’ යි තදින් සිතින් අල්ලාගත් විටය.

එකතුවීම වෙන්වීමකින් කෙළවරවන විට දුකකි. වෙන් නොවී සිටින්නට නම් එකතු නොවී සිටිය යුතුය. එකතු නොවී සිටින්නට නොහැකි බව ඔබ ප්‍රකාශ කරන්නට පුළුවනි. එසේ නම් එකතුවීම තුළ වෙන්වීමත් ඇතුළත් වී ඇති බව දැනගෙනම එකතුවිය යුතුය. මෙහිදී ප්‍රතිඵල දෙකක් ලැබිය හැකිවනු ඇත.

පළමුවැන්න නම් වෙන්වීමේදී ඇතිවන දුක හෝ වේදනාව අඩුවීමයි. දෙවැන්න නම් කවදා හෝ වෙන්විය යුතු බව දැන ජීවත්වන විට කරුණාවට, මෛත්‍රීයට, ඉවසීමට, ඔවුනොවුන්ට උදවු කිරීමට හා සමාව දීමට ඔබව පෙළඹවීමයි.

වෙන්වීම අප නොදැන සිටිනවා නොවේ. එහෙත් රාගය, දැඩි තෘෂ්ණාව , ආශාව මතු වූ විට ඒ බව අමතක වෙයි. මේ නිසා කරුණාව හා මෛත්‍රිය වෙනුවට තරහාව හා වෛරය ඉපදේ. බොහෝ දෙනෙකුගේ මනසෙහි ඇතිවන පීඩනයන්ට හේතුව ස්වාභාවිකව සිදුවන හෝ ස්වභාව ධර්මයෙන් සිදුවන ධර්මතා පිළිගන්නට අකමැති වීමයි.

දවස කෙළවර අඳුර පැමිණීම අනිවාර්ය කරුණකි. අඳුර පැමිණෙන්නට එපා යයි කියමින් හඬමින් සිටියොත් සිදුවන්නේ අඳුරෙහිම සිටිමින් තවත් පීඩා විඳීමටය. එනමුත් අඳුර ස්වභාව ධර්මයේ කොටසක් බව දැන පහනක් දල්වා ගන්නට උත්සාහ කළොත් අඳුරෙන් සිදුවන පීඩාවන්ගෙන් නිදහස් වීමට පුළුවනි. විරාගය නම් හැම වස්තුවකම, පුද්ගලයෙකුගේම අරමුණක හා සිතිවිල්ලකම ස්වභාවයෙන් සිදුවන ‘වෙනස්වීම’ සහ ‘නිත්‍ය නොවන බව‘ මනසින් පිළිිගෙන ඒ පිළිබඳව නිවැරැදි අවබෝධය (ඇත්ත ඇති සැටියෙන් දැකීම) ලැබීමයි.

මේ අනුව අනවබෝධයෙන් රාගයෙන්, පේ‍්‍රමයෙන්, ආශාවෙන් හා තෘෂ්ණාවෙන් බැඳී එහි ප්‍රතිඵල ලෙස මානසිකවත් පසුව කායිකවත් දුක් විඳිනවාට වඩා අවබෝධයෙන් විරාගය පුරුදු කිරීම මනසට සුවයකි. ලෙඩදුක් ඉක්මනින් සුව වන්නට නම් සිත නිදහස් කර ගත යුතුයැයි.

බොහෝ වෛද්‍යවරුන් පවසනු ඔබ කොතෙකුත් අසා ඇත. මෙය විරාගය පුරුදු කරන්නට ගන්නා වූ උත්සාහයක් ලෙස සැළකිය හැකිය.

ලෞකික ජීව පැවැත්ම තුළ ඔබ අධ්‍යාපනික, ආර්ථික හා සාමාජික ලෙසින් ආශාවන්ගෙන්ද බලාපොරොත්තු වලින්ද බැඳී ඇත. මේවා ඉටුවුවත් නැතත් ඔබ සන්සුන් මනසකින් යුතුව ජීවත්වීමට කැමතිවනු ඇත. විරාගය දෙසට සිත පුරුදු කරන්නට උත්සාහ ගැනීම ඔබ මනසින් අප්‍රාණිකයකු වීම හෝ අශුභවාදියකු වීමක් නොවේ.

ඔබ ප්‍රාණවත් හා සන්සුන් මනසක් ඇත්තකු වීමකි. හැබෑවටම රාගී මනස තුළ ඔබට ලැබෙන මානසික නිදහස සීමා සහිතය.

එහෙත් විරාගය තුළ ඔබ මනසින් නිදහස් වනු ඇත. මෙය තරමක් ගැඹුරින් සිතා බැලිය යුතුය. මනස නිදොස් කර ගැනීමට හේතුවන ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව බෞද්ධ දර්ශනය විස්තර කරයි. ඒවා නම් චාග (දීම) පටිනිස්සග්ග (අත් හැරීම) මුත්ති (නිදහස් වීම) හා අනාලය (නොඇලීම) යනුවෙනි.

දීම හෝ පරිත්‍යාගය පළමුව ආරම්භ වන්නේ නිවස තුළිනි. ආදරය, කරුණාව, මෛත්‍රීය නිවස තුළම පළමු කොට පුරුදු කළ යුතුය. කරුණාව හා මෛත්‍රීය පුරුදු කරන විට අමනාපය, තරහාව හා නොරුස්නා බවට අවස්ථාවක් නැත. ගුණවත් අම්මා කෙනෙක් දරුවාගේ ද¼ඟකාරකම හා අකීකරුකම නොසලකා දරුවා රකින්නේ ආදරය, කරුණාව හා මෛත්‍රීය නිසා නොවේද? දෙවනුව, ආහාර ඇඳුම් පැළඳුම් ආදී යමක් දීමට හැකිය. දෙනවිට ලැබන්නාගේ මුහුණින් පිළිඹිබු වන ප්‍රසන්න බව ඔබට කොපමණ සතුටක් ගෙනදේද? ‘පටිනිස්සග්ග‘ නම් වූ අත්හැරීම මනසෙහි ඇතිවන ප්‍රතික්‍රියාවකි. සරල නිදසුනක් ගනිමු. ඔබ මුහුනෙහි ස්වාභාවික පෙනුම වෙනස්කරගෙන අමනාපයෙන් සිටින විට, ඇයි ඔබ අමනාපයෙන් සිටින්නේ යි යමෙක් ඔබෙන් ප්‍රශ්න කරනු ඇත. මට අසවලා බැන්නා හෝ ගත්තායි එවැනි අවස්ථාවක ඔබ කියනු ඇත. එවිට ‘අනේ ඕක හිතින් අත්හැර දාන්න. හිතේ තියාගෙන මොකටද දුක් විඳින්නේ?’ වැනි උත්තරයක් නුවණැත්තෙක් නම් පිළිතුරු දේවි. බොහෝ දෙනා මෙවැනි දේ සිතේ් තබාගෙන කොපමණ නම් සිතින් දුක් විඳිනවාද? සිතට වද දෙන බොහෝ දෑ සිතින් ඉවත් කරගත නොහැකිව බොහෝ මනුෂ්‍යයන් දුක් විඳින හැටි පුදුම සහගතය. ‘වෙනස්වීම හා අනිත්‍ය බව‘ පිළිගනිමින් අසහනකාරි සිතිවිලි සිතින් අත්හැර දැමීමට පුරුදු කළොත් නරකද? සිත කරදරකාරි කෙලෙස් වලින් නිදහස් කර ගැනීම ‘ මුත්ති ’ නම් වේ. මෙම අසහනකාරී සිතිවිලි කෙලෙස් ලෙස බෞද්ධ දර්ශනයෙහි හැඳින්වේ. මෙම කෙලෙස් ප්‍රධාන වශයෙන් ලෝභ (බැඳීම, අල්ලා ගැනීම, ආශාව) දෝෂ (තරහව, අමනාපය, නොරුස්සන බව) හා මෝහය (හරි වැරදි හෝ හොඳ නරක තේරුම් නොගැනීම) වේ.

මෙම අසහනකාරී සිතුවිලි බලවත්ව සිත තුළ වැඩෙන විට තමන් ඒවාට වහලෙක් වෙයි. ඒ සිතුවිලි කොපමණ බලසම්පන්න ද යත් බොහෝ අයට තමන්ගේ ස්වභාවය ද අමතක වී පිරිහීමට පත්වෙති. මේ නිසා ‘ මුත්ති ’ පුරුදු කිරීමට ‘යෝනිසෝමනිසිකාරය (එම මොහොතෙහි ජීවත්වීම) හා සම්මා සතිය ( නිවැරැදිව සිහිය පිහිටුවා ගැනීම) අවශ්‍යයය.

නොඇලී සිටින්නට සිත තරමක් හෝ පුරුදු කිරීම සිතට සහනයකි. මෙය අනාලය නම් වූ මගට පිවිසීමයි. බස් රථයක් එනතෙක් බස් නැවතුමේ සිටිනා ඔබ, පසුකරමින් විවිධ වාහන හා පුද්ගලයෝ යති. ඔබ ඒ කිසිවක් කෙරේ නොඇලී වාහනයක් හා පුද්ගලයෙක් බව පමණක් දැන ගනිමින් සිතින් නොඇලී සිටියි. එසේ නොමැතිව ඔබ පසුකර යන සියලු වාහන හෝ පුද්ගලයන් කෙරේ ඇලෙමින් ඒවා ගැන සිතන්නට ගියොත් ඔබට කුමක් සිදුවේද? හැබවින්ම ඔබගේ මනස අවුල් වනු ඇත.

ජීවිත ගමනේ බොහෝ හමුවීම්, දැකීම්, දැනීම් සමග නොඇලී සිටින්නට සිත ක්‍රමයෙන් පුරුදු වන විට ඔබ නිදහස්ය. සන්සුන්ය. විරාගීය.

පරමාර්ථ ධර්මයෙහි පිහිටා සම්මුතියෙන් ලොව හැසිරෙන්න. ගැටෙන ලොවෙහි ඔබ නොගැටෙනු ඇත. රූපාදී අරමුණුවල ගැටුනද ඒවායෙහි නොඇලෙනු ඇත. ජාති, ජරා, ව්‍යාධි හා මරණවලින් පිරුණු සසර ගමනේ නිමාවද එයම වනු ඇත. ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

 

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]