පිළිම ගෙය
ශාස්ත්‍රවේදී
එන්. කරුණාරත්න
(අධ්‍යාපන ඩිප්ලෝමා)
ප්‍රතිමා ඝර යනුවෙන් හැඳින්වෙන්නේ පිළිම ගෙයයි. පාලි බසින් මෙය
‘පටිමාඝර’ නමින් හැඳින්වෙයි. අපට මෙය වඩාත් හුරුව ඇත්තේ බුදුගෙය
නැත්නම් බුදු කුටිය යනුවෙනි.
පිළිම ගෙය ගඳල නමින් ද හඳුන්වා ඇත. මෙහි පාලි අරුත ගන්ධ කුටි යනුයි.
අභයගිරියේ පිළිම ගෙය මෙනමින් හැඳින්විය. ඒ දසවත සිය වසේදීය. ගන්ධ කුටිය
යන්න භාවිතා වූයේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියටය. ඒ
අනුව ලංකාවේ මුල් කාලයේදී ඉදිකළ පිළිම ගෙවල් ජේතවනාරාමයේ ආකෘතිය
අනුගමනය කරන්නට ඇත. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය සම සතරැස්
ගෘහයකි. ඒ නිසා ලංකාවේ පැරැණි පිළිම ගෙවල් ද චතුරශ්‍රාකාරව ගොඩ නැංවීය.
පිළිම ගෙය කොටස් තුනකින් යුක්තය. ද්වාර මණ්ඩපය, අන්තරාලය සහ ගර්භය ඒ
තුනයි.
බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩා හිඳවූයේ ගර්භයෙහිය. ගර්භයට සම්බන්ධ වූ
මණ්ඩපයක් විය. අනුරාධපුරයට උතුරින් පිහිටි කිරිබත් වෙහෙර පිළිම ගෙය මීට
කදිම නිදසුනකි. පැත්තක් අඩි විස්සක් වූ මෙය සම සතරැස්ය. ගර්භ ගෘහයේ
අඩි 12 ක් උස හිටි පිළිමයක් ඇත.
අන්තරාලය යනුවෙන් හැඳින්වෙන කොටස ප්‍රතිමාඝරයට පසුව එක්වූ අංගයකි.
බුදු පිළිම වන්දනාව ජනපි‍්‍රය වීමෙන් පසුව වන්දනාකරුවන්ට මණ්ඩපය ඉඩ මදි
වූ නිසා ඇතුළු වීමට තිබූ පැරැණි මණ්ඩපය ඉදිරියේ තවත් මණ්ඩපයක් ඉදි
කිරීමට සිදු විය. මේ නිසා පැරණි මණ්ඩපය ගර්භ ගෘහයත් අලුත් මණ්ඩපයත්
සම්බන්ධ කරන අන්තරාලයක් විය.
ථූපාරාමයේ බිම් සැලැස්ම පරීක්ෂා කිරීමෙන් මේ අංග තුනම එහි පැවැති බව
දැක ගැනීමට පුළුවන. මෙහි ඇත්තේ හිඳි බුදු පිළිමයකි.
මේ හැර ආයතාකාර මන්දිර ද විය. ඒවායේ ඇතුළුවන දොරටුව දිග් පැත්තට
සම්බන්ධය. මෙම ගොඩනැගිලිවල විශේෂ ලක්ෂණය වූයේ ගොඩනැගිල්ල මැදිවන්නට එහි
කොන්සතරේ ඉදිකර තිබෙන කුඩා ගොඩනැගිලි සතරය. අනුරාධපුර වට රවුම් පාරේ
මහසෙන් මාලිගය නම් වූ ගොඩනැගිල්ලේ බිම් සැලැස්ම මීට නිදසුනකි. මේ
මන්දිරවල උඩුමහල් තලද තිබූ බවට සාධක ඇත. දැනට මේ සියල්ලම ඉතිරිව ඇත්තේ
නෂ්ටාවශේෂ පමණි.
මේවා අතරින් තවමත් පියස්ස වහල සහිතව ආරක්ෂා වී ඇත්තේ ථූපාරාම පිළිමගෙය
පමණි. එය කුඩාය. ගොඩනැගිල්ල ගඩොල් සහ හුණු බදාමයෙන් තනා ඇත. පියස්ස
ආරුක්කු හැඩයට ගඩොලින්ම නිර්මාණය කර තිබේ. හතරැස් ගර්භය සහ ඉන් පිටතට
විහිදෙන අන්තරාලය මේවායේ පොදු ලක්ෂණයයි. මෙහි බිත්ති අඩි 7 ක් ඝනකම්ය.
ඇතුළත ඉඩ අඩුය.
විශාලම පිළිමගෙය වන්නේ ලංකාතිලක පිළිම ගෙයයි. එහි දිග අඩි 124 කි. පළල
අඩි 66 කි. බිත්ති අඩි 55 ක් උසය. මෙහි පියස්ස කැඩී ගොස් ඇත. ලංකාතිලක
පිළිම ගෙයි ඇත්තේ වැඩ සිටි බුදු පිළිමයකි. එහි හිස නැත. උස අඩි 40 කි.
තිවංක පිළිම ගෙහි ගර්භය ද සමසතරැස්ය. එහි පැත්තක දිග අඩි 41 කි. ගර්භය
ඉදිරියෙන් ආයතාකාර මණ්ඩපයක් ඇත. මණ්ඩපය ඇතුළු වීමට දිග අඩි 18 ක් වු
පියගැට පේළි තුනකි. එහි ඇතුළුවීමට ඇති දොර අඩි 40 ක් උසය. ජේතවනාරාමයේ
පිළිම ගෙයි තිබෙන පිළිමයේ හැඩය අනුව එය තිවංක පිළිම ගෙය නමින්
හැඳින්වෙයි. මෙහි ගොඩනැගිල්ලත් පිළිමයත් ගඩොලින් සහ හුණු බදාමයෙන්
නිර්මාණය කර තිබේ.
හිඳි පිළිම, හිටි පිළිම සහ සැතපෙන පිළිම යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගේ
තුන් ඉරියව් නිරූපණය කිරීම සඳහා ප්‍රතිමා නිර්මාණය කෙරිණ. එබැවින් ඒ ඒ
පිළිමවලට සුදුසු වන ආකාරයට පිළිම ගෙවල් ද නිර්මාණය විය.
ගෙඩි ගේ
මෙය විශේෂ ලක්ෂණයකින් යුක්ත වූ පිළිම ගෙයකි.
මෙම පිළිම ගෙය ගැමියන් විසින් හැඳින්වූයේ ගෙඩි ගේ නමින්ය. වහල තනි
ගඩොලින් හෝ කළුගලින් තැනූ පිළිම ගෙවල් ගෙඩිගේ යනුවෙන් හැඳින්විණ.
මේ ආකාරයේ ගඩොලින් ම තැනූ පිළිම ගෙයක් ජේතවනාරාමය අසල ඇත. කළුගලින්
තැනූ පිළිම ගෙයක් ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වූ නාලන්දාවේය. මෙම
ස්ථානය දැනට මහවැලි ජලාශයට යට වී පවතී. නාලන්දා ගෙඩි ගෙය පල්ලව ගෘහ
නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා ඇත.
එය අටවන සිය වසට අයත්ය. බොකුටු වහල මේවායේ තිබෙන විශේෂ ලක්ෂණයයි.
අටදා ගෙය
මෙය අයත් වන්නේ පොළොන්නරු යුගයටය. අටදා ගේ පිළිම ගෙය පළමුවන විජයබාහු
රජතුමා විසින් ඉදි කරවන ලදී.
මේ එතුමා විසින් ගොඩනංවන ලද දළදා මාලිගයයි. සම සතරැස් ගර්භය සහ ආයතාකාර
අන්තරාලය සහිත මෙම ගොඩනැගිල්ලේ බිම් සැලැස්ම අනුරාධපුර යුගයේ පිළිම
ගෙවල බිම් සැලැස්මට සමානය. අටදා ගෙය දෙමහල් ගොඩනැගිල්ලකි. මෙහි දැනට
ඉතිරිව ඇත්තේ අඩිතාලම බිත්ති සහ ගල්කණු පමණි. ගල්කණු 54 කි. එකක උස අඩි
8 කි. උඩුමහල දැවයෙන් නිම විය. දළඳා වහන්සේ වැඩ සිටියේ උඩු මහලෙහිය.
පහත මාලයේ ගල් කණු 32 කි. ඒවා බිත්ති තුළට ගිල්වා ඇත. අන්තරාලයේ ගල්
කණු කැටයම් සහිතය. බිම් මාලයේ වැඩ හිඳින බුදු පිළිම තුනකි.
හැටදා ගෙය
හැට දා ගෙය නිශ්ශංක මල්ල රජතුමාගේ නිර්මාණයකි. මෙය එතුමා විසින් ගොඩ
නංවන ලද දළදා මාලිගයයි. දිග අඩි 120 කි. පළල අඩි 90කි. බිත්තිවල උස අඩි
9 කි. බිත්ති කළු ගලින් බැඳ තිබේ. දැවයෙන් කරවන ලද උඩුමහලේ දළදා
වහන්සේ වඩා හිඳුවා ඇත.
ලංකා තිලකය
පොළොන්නරු යුගයෙන් පසුව ඉදිකරවන ලද පිළිම ගෙවල් දෙකක් හමුවන්නේ ගම්පල
යුගයේදීය. ලංකා තිලකය සහ ගඩලාදෙණිය ඒ විහාර දෙකය.
මේවා ගම්පොළ රජකළ 4 වන බුවනෙක බාහු රජතුමා විසින් ඉදිකරවා ඇත.
ලංකා තිලක විහාරය ගොඩනැංවූයේ ස්ථපතියාර නම් ශිල්පියෙකි. ඒ බව ඒ අසල ඇති
ශිලා ලිපියෙන් තහවුරු වෙයි. මෙම විහාරයේ ගර්භ ගෘහය ද සම සතරැස්ය.
පැත්තක දිග අඩි 70 කි. එහි සතර දිශාවට ආයතාකාර කොටස් හතරකි. උතුරු
දකුණු සහ බටහිර පැතිවල කොටසක දිග අඩි 30 කි. පළල අඩි 10 කි. නැගෙනහිර
දෙස කොටස අඩි 30 ක් දිගය. පළල අඩි 20කි. බිත්ති අඩි 7 ක් උසය. මැද
ගෘහයෙහි වැඩ හිඳිනා බුදු පිළිමයකි. එය ගඩොලින් සහ හුණු බදාමයෙන් නිම
කොට ඇත.
අනෙක් කොටස් වල වූයේ දේව ප්‍රතිමාය. මෙය බුදුන් පිදීමත් දෙවියන්
ඇදහීමත් එක්තැන් කිරීමට ගෙන ඇති උත්සාහයක් ලෙස පෙනී යයි.
ගඩලාදෙණි පිළිම ගෙය
ගඩලාදෙණි පිළිම ගෙය ඉදිකර ඇත්තේ ගල් තලාවක් මතය. මෙහි ද්‍රවිඩ ගෘහ
නිර්මාණ ශිල්පී ලක්ෂණ දක්නට ඇත. ද්වාර මණ්ඩපයේ ඇත්තේ විජයනගර්
ගොඩනැගිලි සම්ප්‍රදායේ ලක්ෂණය. කුළුණු සතරැස් හා අටපට්ටම් ලක්ෂණ
මිශ්‍රව නිමවා ඇත. කුළුණු පාදය සිංහ රූපයකින් යුක්තය. බුදුන් වැඳීමටත්
දෙවියන් ඇදහීමත් ඒකාබද්ධ කරන ආකාරයට ගඩලා දෙණි පිළිම ගෙය ගොඩනංවා ඇත.
බොහෝ දුරට මෙම පිළිම ගෙය හින්දු දේවාලයකට සමානය. ගඩලාදෙනි විහාරය කර වූ
ශිල්පියා ගණේශ්වරාචාර්ය නමැත්තෙකි. ඒ බව එම ශිලා ලිපියේ සඳහන් ය.
ටැම්පිට පිළිම ගෙවල්
මේවා මහනුවර යුගයේදී සංවර්ධනය වූ පිළිම ගෙවල් විශේෂයෙකි. ගල් කුළුණු මත
දැව බාල්ක සවිකර ඒ මත ලෑලි අතුරා ඒ උඩ බිත්ති බැඳ පිළිම ගෙය ගොඩනංවා
ඇත. මේවායින් බොහොමයක් දෙමහල් පිළිම ගෙවලින් පරිණාමය වූ ඒවාය. මුල්
කාලයේදී දෙමහල් ගොඩනැගිලි වශයෙන් තිබී පසු කාලයේදී ජරාවාස වූ පසුව නැවත
ඒවා පිළිසකර කිරීමේදී බිම් මහලේ ගල් කණු පමණක් ප්‍රයෝජනයට ගෙන ටැම්පිට
පිළිම ගෙවල් වශයෙන් ගොඩනගන ලදී.
අම්බුළුගල ටැම්පිට පිළිම ගෙය
මෙය ගොඩනංවා ඇත්තේ අඩි 2 ක් උස ගලින් කරන ලද වේදිකාවක් මතය. එහි දිග
අඩි 26 කි. පළල අඩි 18 කි. මෙහි ගල් කණු පේළි දෙකකි. ඇතුළත ගල් කණුවක්
අඩි 9යි අඟල් 10 ක් උසය. පිටත ගල් කණුවක උස අඩි 8 යි අඟල් 9 කි. මෙම
ගල් කණු මත දැව බාල්ක යොදා ඇත. ඒ මත ලෑලි අතුරා පිළිමගෙයි බිත්ති බැඳ
තිබේ. පිළිම ගෙය අඩි දහය හමාරක් දිගය. පළල අඩි 7 කි. පිළිම ගෙය වටා
බරාදයකි. එය ඉදිරියෙන් අඩි 4 ක් දිගය. පළල අඩි 4 කි. දෙපස පළල අඩි 2 යි
අඟල් 6 කි. උඩු මහලේ පිළිම ගෙය අඩි 8 යි අඟල් 3 ක් උසය. බරාඳයෙහි ඇති
ලී කණු අඩි 6 යි අඟල් 5 ක් උසය. උඩු මහලට නැගීමට තරප්පු පෙළකි.
ලංකාවේ ටැම්පිට පිළිම ගෙවල් 21 ක් පමණ ඇත. මේවායින් 16 ක් ම ඇත්තේ
සබරගමු පළාතේය. හාරිස්පත්තුවේ මැදවල පන්නල - තලම්මැහැර නෙළුම්දෙණියට
නුදුරු බුවරුන්නාව එයින් කිහිපයකි. බුවරුන්නාව පිළිම ගෙයි ගල් කණුවක්
අඩි 10 යි අඟල් 6 කි. බිම් ප්‍රමාණයෙහි දිග අඩි 21 කි. පළල අඩි 15 කි.
මුලදී දෙමහල් පිළිම ගෙවල් වශයෙන් ගොඩනංවා තිබී පසුව ටැම්පිට පිළිම
ගෙවල් බවට පත්කළ විහාර හැරෙන්නට ටැම්පිට විහාර ගෙවල් වශයෙන් ම නිම කළ
පිළිම ගෙවල් ද ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැද්ද කෝරළයේ නාවින්න ටැම්පිට විහාරය ඊට
නිදසුනකි. මහනුවර සූරියගොඩ විහාරයද එබඳු එකකි. |