UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේශකයාට වඩා වැදගත් වන්නේ දේශනා විලාසයයි

සති ගණනාවක් මුළුල්ලේ බුදුසරණ පත්‍රයේ ගිහියන් පිරිත් දෙසීම ගැන විවාදයක් පවතී. එම විවාදයේ දී උපහාස හා අපහාස මෙන්ම මුසාවාද ද සිතාගත් අදහස් ද තිබූ අතර ඒවයෛ් කිසිදු පදනමක් නොවීය. මේ විවාදය අවසන් විය යුතු යැයි යන සද්භාවයෙන් යුතුව කිසි ආකාරයක මඩ ගැසීමකින් තොරව මෙම විවාරණය ඉදිරිපත් කරමි.

පිරිත් දේශනා කිරීමේ අයිතිය භික්‍ෂු භික්ෂූණී උපාසක උපාසිකා යන සිවු පිරිසටම ඇත. බුදුරදුන් දවස සිටම මෙම සිවු පිරිසම පිරිත් දෙසූහ. ඇසූහ . ධම්මික උපාසකතුමා තම ජීවිතයේ අවසාන භාගයේදී භික්‍ෂූන් නිවසට වැඩමවා පිරිත් ශ්‍රවණය කරගත් අයුරු අපි බෞද්ධ සාහිත්‍යයෙන් ඇසුවෙමු. ඡත්තපාණී, චිත්ත වැනි උපාසකවරු මාර්ගයේ යද්දී පවා පිරිත් පද බිණූහ. අනේපිඬු සිටුතුමාද විශාඛා සිටු දේවිය ද තම තමන් පිදූ ජේතවනාරාමයට පූර්වාරාමයට ද ගොස් උදන් අනන අතර, පිරිත් වැකි ද සජ්ඣායනා කළහ. සිරිගත ව සිිටි බිම්බිසාර රජු සිර මැඳිරියේ එකලාව සිටියදී පිරිත් කියූ බව, අපි ජනප්‍රවාද මගින් ඇසුවෙමු. අජාසත්ත රජු ජීවක රාජ වෛද්‍ය උපදේශයෙන් බුදුරදුන් හමු වූ විට ශ්‍රමණ ඵලය පිළිබඳ දැනගෙන අතිශය චිත්ත පී‍්‍රතියට පත්විය. එදින බුදුරදුන්ගේ ප්‍රකාශය වූයේ එරජු පීතෘ ඝාතක ගරුක අකුසල කර්මය සිදු නොකර තිබුණේ නම් එදිනම මඟ ඵල ලැබිය හැකිව තිබුණු බවයි. එතකුදු වුවත් සැදැහැවත් බෞද්ධ උපාසකයකු බවට පත් වූ මගධාධිපති අජාත ශත්‍රෑ රජු බුදුරදුන්ගේ ශ්‍රී ශරීරය ආදාහනය කිරීමද ධාතු බෙදාහැරීම ද සිදු කොට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්ද පැවැත්වීය. එම දිනවල රජුම පිරිත් දේශනා කරමින් ධාතු උපහාර දැක් වූ බවට පිළිගැනීමක් ඇත. කළිඟු රට රජ කළ ගුහසේන රජු ශ්‍රී දළදාව සිරිලකට එවීමේදී හේමමාලා කුමරියට එය පිළිගන්වන්නේ පිරිත් දේශනා කරමින්ය. ඔවුන් ද රහසිගතව පිරිත් දෙසමින්ම ශ්‍රී දළදාව වැඩමවා ලක්දිව ශ්‍රී මේඝවර්ණ රජුට පවරා දී තිබේ. ක්‍රි.ව. 12 වන සියවසේ බුරුමයේ (මියැන්මාරයේ ) විසූ අනවරථ (අනුරුද්ධ) නම් සැදැහැති බෞද්ධ රජු දිනපතා රාත්‍රී නින්දට පෙර පිරිත් දෙසීය. ඒ සඳහා රාජකීය පිරිසට ආරාධනා කළා පමණක් නොව විශේෂ අවස්ථාවල මාළිගයෙන් පිටත ද පිරිත් දේශනා පින්කම් පැවැත්වීය. ජපානයේ අශෝක යන විරුදාවලිය ලද ෂෝතෝකු තායිෂි හෙවත් උමයාදෝ කුමරු මහායාන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇතුළු මහායාන සූත්‍ර විෂයෙහිද විශාරදයාණ කෙනකු වූ අතර, ඔහු ඒවා සාමූහික වද සජ්ඣායනා කළේය. ධර්මාශෝක රජු ද විශේෂ සූත්‍ර ධර්ම නිතර සජ්ඣායනය කළ බව සෙල්ලිපි ඇසුරු කරන විට පැහැදිලි වෙයි. අරියවංස ආනාගත භය මුනි ගාථා , මෝනෙය්‍ය සූත්‍රය උපතිස්ස ප්‍රශ්න , රාහුලෝවාද වැනි දේශනා පමණක් නොව තුන් සූත්‍රයද , ව්‍යාග්ඝපජ්ජ, වසල, පරාභව ,පත්තකම්ම, සිඟාලෝවාද, අනණ, දළිද්ද ඉණ වැනි විවිධ සූත්‍ර දේශනා ද නිරන්තර පරිශීලනය කළ අතර ඒවා සාමූහික වද සජ්ඣායනා කළේය. අරියවංශ දේශනාව භික්‍ෂූන් ලවා ද දේශනා කරගනු ලැබීය.

ලක්දිව රජ කළ බෝධි සත්ත්ව ගුණෝපේත ශ්‍රී සංඝබෝධි රජතුමා මෙරටට ඇති වූ ආපදා අවස්ථාවක සෑ මළුවේ වැතිර පිරිත් දේශනා කළ අතර වර්ෂා ජලයෙන් පාවන තුරුම එම දේශනාව කළ බව එළු අත්තනගලු වංශයේද සඳහන්ය. දුටුගැමුණු රජු සසුන බේරා ගැනිමේ යුද්ධයට ගියේ මහ සඟරුවන පෙරටු කොටගෙන රතන සූත්‍රය දේශනා කරගනිමින් ය. මෙහිදී රජුද සේවක පිරිස ද එම සූත්‍රය සජ්ක්‍ධායනා කළ බව ප්‍රකටය. සැදැහැතිස් රජු ධාර්මික උවසු උවැසියන් සමග පිරිත් දේශනා පැවැත්වීය. කාල බුද්ධ රක්ඛිත මහ රහත් හිමියන්ගේ අනුශාසනා ඒ සඳහා රජුට ලැබිණි.

අප කුඩා කල අපගේ ගෙවල් වල පැය කීපයක මහ පිරිත් දෙසුම් වැඩහිටි ගිහි ඥාතීන් විසින් සිදු කළ අවස්ථාවන් තවම මතකයේ තිබේ. බැමිණිටියා සාය කල පිරිත් දෙසුවෝ ගිහියෝ ය. ‘ධර්මධාතුව‘ නම් ග්‍රන්ථයක් භාරතයෙන් ලක්දිවට වැඩම වූ පූර්ණ නම් වෙළෙඳ තරුණයා එය අභයගිරියට දී පිරිත් දෙසමින් පෙරහරේ ගමන් කළේය. නැති වූ දඹරන් බුදු පිළිමයක් සත් දින ගිහි පිරිතකින් වැඩම වූ ශ්‍රැතියක් කුඩා කල අසා තිබිණි.

පිරිතක වඩා වැදගත් වන්නේ, එය දෙසන්නේ ගිහියාද පැවිද්දාද යන්න නොව එය කෙසේ දේශනා කරන්නේද යන්නයි. පැවිද්දන් දෙසුවද අර්ථය නොදනී නම් නිතර වරද්දා නම් පද බෙදුම් වැරැදි නම් ඉන් ලැබෙන ප්‍රතිලාභ අල්පය. ගිහියන් වුව අර්ථය දනී නම් පද නිවැරැදිව බෙදා නම් නොවරද්දා දෙසයි නම් ඉන් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රාවකයකුට හැකිය. එහෙත් භික්‍ෂුවක් ලවා දේශනා කරගන්නා විට ලැබෙන ශ්‍රමණ දර්ශනය වතාවත ගිහි පිරිත් දෙසුමක දී කිසිසේත් නොලැබෙයි.

ඇතැම් භික්‍ෂූන් පවා නොසැලකිල්ල නිසාද වැරැදි හුරුව නිසාද පිරිත් පද වැරැදි ලෙස බෙදනු පමණක් නොව වැරැදි වචන පවා පරම්පරාගතව භාවිතා කරනු ද පෙනේ. එක් විහාර පාර්ශ්වයක භික්‍ෂූන් ‘සබ්බේ බුද්ධා බලප්පත්තා’ ගාථාව අවසන් කරන්නේ “ රක්ඛං වන්දාමි සබ්බසෝ” යනුවෙන් ආරක්ෂාව සඳහා දස අතට වඳිමින්ය. එම පරපුරම මෙම වැරැද්ද දිගින් දිගට ම කරති. සියලු අතට ආරක්ෂාව බැඳීම ගැන කියැවෙන “ රක්ඛං බන්ධාමි සබ්බසෝ “ යන්න ඔවුන් අසා නැත. පද බෙදීම් පිළිබඳ වැරැදි නිමක් නැත.

පිරිතේ ආනිශාංස ලැබෙන්නේ සිල්වත්ව ප්‍රතිපත්ති ගරුකව කාරුණිකව අරුත් දැන එය දේශනා කිරීමෙන් හා ඇසීමෙනි. එහෙත් පිරිත් පද ලක්ෂයක් ඇසුවත් එය නිවන් සඳහා සාධක නොවෙයි. පිරිත් දෙසුම නිවන් මග පෙන්වන්නකට වඩා, ආගමික අභිචාර විධියකි. එහෙයින් එය එක්තරා ආකාරයක ශාන්ති කර්මයකි. එයින් අනුසස් ලැබීමට පිරිත බුදුරදුන් දේශනා කළ ආකාරයෙන්ම දේශනා කළ යුතුය. පිරිත සිංහලට නැඟූ විට එය පිරිතක් නොවේ. ගීයකි. නැතහොත් පද්‍යයකි, නැතිනම් ගද්‍යයකි. එයින් ද ආනිශංස ලැබේ. එහෙත් පිරිත් ආනිශංසය නොව ඊට අඩු ආනිශංසයකි. එක් එක් පිරිත් සූත්‍රවල මධුර, උදාර, ගම්භීර ආදි ආලාප ඇත. එහෙයින් එම විවිධ සූත්‍ර වලට ආවේණික ශෛලීන් ඇත. නපුංසක හඬින් හෝ ව්‍යාජ සිඟාල හඬින් හෝ පිරිත් දේශනා කිරීම නො හොබී . එය සිංහ නාදයකි. එහෙයින් පැවැත්විය යුත්තේ මාගධී භාෂාවෙන් අදාළ ශෛලියෙන්ය. මෙම ශෛලීන් බොහෝ විට හඳුනන්නේ භික්‍ෂූන් වහන්සේය. එසේ නම් විය යුත්තේ , ගිහි පිරිත් දේශකයන් නිසි ලෙස ඒ සඳහා පුහුණු කිරීමය. කැලණිය ඉසව්වේ චිත්තාභ්‍යාස ආයතනයක මහැදුරු භික්‍ෂුවක් එවැනි සද්ක්‍රියාවක් නිස්සරාණාධ්‍යශයෙන් කරන බව පුවත්පත් දැන්වීමක් මගින් දුටුවෙමු. එවැනි තැන්වල උපාසක උපාසිකාවන් සඳහා සාර්ථක පුහුණුවක් ලබා දිය හැකිය. ගිහියන් ද නිහතමානීව තම අඩුපාඩු සකස් කර ගැනීමට එවැනි තැන් ඇසුරු කළ යුතුය. තමන් සියල්ල දන්නා අය යැයි සිතන අත්තුක්කංසනයෙන් බැහැර විය යුතුය.

එමෙන්ම ගිහි පිරිත් දෙසන පිරිස කුඩා සාමණේර හිමිවරුන් දෙස අවඥාවෙන් නො බැලිය යුතුය. උන් වහන්සේ පිරිතේ සමස්ත තේරුම දනිතත් වෙන් වෙන්ව පදගතාර්ථ පහදාලීමෙහි තවම අසමත් විය හැකිය. ඇතැම් වචන වැරැද්දීමට ඉඩ ඇත. මෙම ලිපිය ලියන මම කුඩා කල “අමමා අපරිග්ගහා “ යන පදය අම්මා අපරිග්ගහා යනුවෙන්ද “ උපපන්නෝ ජූතිමන්තෝ” යන පදය උප්පන්නෝ ජුතීමන්තෝ “ යනුවෙන්ද උච්චාරණය කළ අයුරු තවම මතකය. සාමණේර භික්‍ෂුවක් අතින් වැරැද්දක් වුවද එය මතු නිවැරැදි වනු ඇත. පිරිත් නො කියා එක්වරම වැරැදි සාදා ගත නොහැකිය.

ඇතැම් ගිහි දේශකයන් පරවම්භනයෙහි යෙදෙමින් පරිත්ත භාණක භික්‍ෂූන්ට අවමන් කරමින්, තමන්ද අපිරිසුදු වෙමින් අසන්නන්ගේ මනස ද දූෂණය කරවමින් පිරිත තුළින් ද්වේෂය මතු කරනු පෙනේ. මෙය කිසිසේත් අනුමත කළ නොහැකිය.

පිරිත් පමණක් නොව බණ කීමටද ගිහියන්ට තහනමක් නැත. එහෙත් බණ දැන සිටිය යුතුය.” බණ” යැයි සිතෙන අදහස් එකතු නොකළ යුතුය. එහෙත් භික්‍ෂූණ්, ගිහියන් හා සමව මුහුවෙමින් පිරිත් නොකිව මනාය. ගිහියන් දෙසන බණ -පහත් තැනක හිඳ ඇසිය යුතු නැත. බණට හා පිරිතට ගරු කළ යුතු වුව ද අර්හත් ධජයේ අභිමානය ආරක්ෂා වීම සුදුසු ය. එය භික්‍ෂු වගකීමක් ද වන්නේ ය. එමෙන්ම භික්‍ෂුවද පිරිත් දෙසන ගිහියන් කෙරෙහි එරෙහිවීම නුසුදුසු ය. කළණ සිතින් අනුකම්පා කිරීම භික්‍ෂුවකගේ යුතුකම් හයෙන් එකකි. ඔවුන්ට අනුකම්පා කරන්න. දිරිගන්වන්න, සුබපතන්න, ආශිර්වාද කරන්න, වරදක් ඇත්නම් නිවැරැදි කරන්න භික්ෂූන් වහන්සේ දෙසන පිරිතක දී වුවමනාවට වඩා පහසුකම් නො බලන්න. අවම පහසුකම් යටතේ උපරිම සේවයක් සලසා අසන්නන්ගේ යහපත් බලාපොරොත්තු මුදුන් පමුණුවා ලන්න. ගිහියන් ගේ ජීවිත සාර්ථක කර ගැනීමට ආශිර්වාද හා අනුශාසනා කරන්න . ඔවුන්ගෙන් පැවිදි බව සඳහා දරුවකු ලබා ගැනීමට ඔවුන් පොළඹවන්න නැතහොත් ඉදිරියේදී සංඝයා වහන්සේ තබා පිරිත් කීමට යෝග්‍ය ගිහි අයකුවත් පහළ නොවනු ඇත.

මෙම ලිපියෙන් අකුරල මංජුල හිමියන්ට වත් වෙනත් කිසිම හිමි නමකටවත් කිසි අපහාසයක් කිරීමේ අරමුණක් නැත. එමෙන්ම මාටින් අප්පුහාමි මහතාටවත් එස්. නිමල් ප්‍රනාන්දු මහතාටවත් උඩගෙඩි දීමක් සිදුවන්නේ ද නැත. සසුන බොහෝ කල් පවතීවා! එපමණ කලක් පැවිද්දන් අත ද ගිහියන් අතද ආණා දේශනා සංඛ්‍යාත පරිත්‍රාණ දේශනය ද පවතීවා.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]