ප්‍රජාපති දියණිවරු යළි පෙළහර නගන තුරු..
ශාස්ත්‍රපති,
නිර්මලා ද
අල්විස්
මීට වසර දෙදහස් පන්සියයකට පෙර කලෙක භාතරයේ රජ පවුලක බිසවක් මියගියා. එක්
බිසවක් මිය යෑම රජුට එතරම් ප්‍රශ්නයක් නොවන්නට ඇති. එහෙත් දින ගණනක්
වයසැති සිඟිති දරුවකුට මව අහිමි වීම ලෝකයම අහිමිවීමක්. එලෙස අසරණ වූ
සිද්ධාර්ථ ළදරුවාට සරණ වීමට, ප්‍රජාපතී නමැති දේවියක් ඉදිරිපත් වූණා.
(පසු කලෙක දී ගෙන් ගෙන බුදුන් මවු යැයි බුදු මුවින් පැවසුණේ, මවු
සෙනෙහස අත්දුටු නිසා විය හැකියි) ඉන් කලකට පසුව සිදුහත් කුමරු ගිහි ගෙය
හැර යෑමත් නිසා ඔහු සුතනඹුවන් වූ යශෝදරාත්, රහල් පුතුත් තනි වුණා. රහල්
පුතනුත් පසුව පියා අනුගමනය කළා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ විමුක්ති
ව්‍යාපාරයට එක් වූ සෙනග නිසා තනි වූයේ යශෝදරා පමණක් නොවෙයි. තවත්
මවුවරු, භාර්යාවන්, දියණිවරුන් දසදහස් ගණනක්. මේ හැමදෙනාගෙම සරණට
ඉදිරිපත් වූණෙත් ළදරු සිදුහත්ට සරණ වූ ප්‍රජාපතී දේවියම යි.
බුදු හිමියන් විසින් වරක් නොව කීප වරක්ම ප්‍රතික්ෂේප කරද්දීත් සමස්ත
කාන්තා පරපුරේ විමුක්තියට අවස්ථාව ලබා දෙන්නැයි නැඟූ ආයාචනා ව්‍යාපාරය
ජයග්‍රහණය දක්වාම ක්‍රියාත්මක වුණා. එයින් ඇය සංසාර විමුක්තිය පැතූ
කාන්තා ප්‍රජාවගේ පතිනිය බවට පත්වුණා. ඇය අනුව ගිය ප්‍රජාපතී දියණිවරු
කාන්තාවක සතු විමුක්තිගාමී ශක්තියත්, සමාජ සාධු මෙහෙවරෙහි ඇති
හැකියාවත් මනාව ඔප්පු කළා. ගරු ධර්ම අටකින් හා තවත් ශික්‍ෂා තුන් සිය
එකොළහකින් ද වෙලී නමුත්, අවංකව, යටත්ව, සංවරවයි, ඔවුන් කටයුතු කළේ.
වසර සිය දහස් ගණනක් පුරා සෘජු සංසාරික විමුක්ති මාර්ගයක සලකුණු දැක
නොතිබූ මහා පිරිසක්, කසාවතින් බැබළෙන බුදුසසුන තවත් ඔපවත් කළා. අනන්ත
කටුක අත්දැකීම් සමඟ දාසකම් කළ කතුන් මෙන්ම, සුපසන් රජ සිරි විඳ රජ
පවුලේ අයත් අතර නොයෙක් තරාතිරම්වල ළඳුන් මේ කසාවත් දැරූ මෙහෙණිවරුන්
අතර දකින්නට පුළුවන් වුණා. ඒ ගෞරවනීය උත්තමාවියන් දැකිය හැකි හොඳම
මාර්ගය, ථෙර ගාථා, ථෙරි ගාථා ගැන විවිධ විවරණ ඇතත්, තවම ඒ, අවැසි තරම්
අගැයීමකට බඳුන්ව නැති තරම යි.
බුද්ධ කාලයෙන් පසුවත් ඉතා කටුක පසුබිමක් මත නිහඬ චර්යාවකින් යුතුවයි
භික්‍ෂුණී ශාසනය පැවතුණේ එසේ සන්සුන්ව පැමිණියත් නිසි කලට සිය මෙහෙවර
පිළිබඳ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ඔවුන් පසුබට වුණේ නෑ. මෙම විශේෂ පිරිස
පසු කාලයේ දී බුරුමය, තායිලන්තය වැනි පෙරදිග දේශයන්හි මෙන්ම, චීනය,
ජපානය, කොරියාව වැනි ඈත පෙරදිග රටවල පවා භික්‍ෂූන් වහන්සේ අනුගමනය
කරමින් පෑ පෙළහර වැදගත්. ඔවුන් අතරින් මෙරටට පැමිණි සංඝමිත්තාවෝ ලාංකේය
කාන්තාවන්ට ද නැවුම් විමුක්ති මඟ හෙළි කළ අයුරු පැහැදිලි ලෙස ශ්‍රී
ලාංකේය ඉතිහාසයේ සඳහන් වෙනවා.
බෞද්ධ විමුක්ති මාර්ගය ද කාලීන පන්නරයට හසු වී, විඤ්ඤාණ ධාරා දෙකක්
ඔස්සේ විහිදී ගිය බව අපි දනිමු. එය නමින් ථෙරවාද හා මහායාන වෙයි. එම
ප්‍රවාහයට භික්‍ෂුණීන් ද හසු වූ බව කිව යුත්තේ වෙනත් කරුණක් නිසයි.
ථෙරවාදය ක්‍රියාත්මක වුණේ, මුල් බුදුසමයේ සමාජයීය හැඩතල වෙනස් කිරීමේ
මන්දගාමී ස්වරූපයකින්. එහෙත් මහායාන ස්වරූපය ඊට වෙනස්. කාලීන
අවශ්‍යතාවන්ට අනුව හැලහැප්පීම් වලට ඔරොත්තුදීමේ ශක්තිය එහි විශේෂයක්.
දැඩි විනය නීති ග්‍රහණය නිසාදෝ මහායාන භික්‍ෂූණීන් ගිය ගමන ථෙරවාදී
ථෙරවරියන්ට යා නොහැකි වූ බව පෙනී යන්නේ, 5 වන සියවස වන විට මෙහෙණි සසුන
පිරිහී යෑමෙන්.
අප රටේ දී භික්‍ෂු ශාසනය පිරිහුණු විට කීප විටක් ම එය පුනරුත්ථාපනය
කළත් කාන්තාවන්ට එම වරප්‍රසාදය අහිමි විය. එහෙත් මෙහිදී කාන්තාවන් ගැන
පිරිමියකු පැවසූ කියමනක් සිහි වෙයි. ගැහැණියක් මඳ පවනට සලිත වන නමුදු,
චණ්ඩ මාරුතයෙන් වුවද ඉදිරී නොවැටේ. මේ කියමන සනාථ කරමින් ථෙරවාදී
ප්‍රජාපතී දියණිවරු, සිය ගමන නොනැවතී ගිය මඟ ඉතාම ප්‍රශංසනීය යි.
උපසම්පදාව තබා - සාමණේරී වරප්‍රසාදයවත් නොලබා නිවන් මඟ සොයා සසුනට
පිවිසීම ඔවුන් අත් නොහළේ, ඒ නිසා.
දැනට දිවයිනේ දස සිල් උපාසිකා ආරාම විශාල සංඛ්‍යාවක් තිබෙනවා. බොහෝ විට
ඒ පිළිබඳව දන්නේ, ඒ ආරාම අසළ සිටින පිරිස පමණකි. මීට කලකට පෙර පොදුවේ
අප ඇස ගැටුනේ සම්මාදමේ යන සිඟමන් යදින අප්‍රසන්න ප්‍රතිරූපයක් පමණි.
ඇතමෙක් දස සිල් වී සසුනට පිවිසෙන්නේ, ජීවිත අපේක්‍ෂා සුන් වූ, ආර්ථික
පීඩන වලින් මිරිකී ගිය, නූගත් පිරිසක් ලෙස. ඔවුන් සසුනට නින්දාවක් බව
කිව යුතු නොවේ. අන්‍ය ලබ්ධිකයන් ඔවුන් ගැන විමසන විට අපි ගොළු වෙමු.
කම්පා වෙමු. එහෙත් අද එම තත්ත්වය බොහෝ දුරට වෙනස් වී තිබීම, සතුටට
කරුණකි. කසාවතට ලැදි කාන්තා පිරිස දහස් ගණනකි.
ඔවුන් සමාජයේ කොටස් කරුවන් ය. විධිමත් අධ්‍යාපනයෙන් පොහොසත්, ආර්ථික
අහේනියක් හෝ වෙන යම් ඌණතාවයකින් දුබල නොවූ, බුදුදහම පිළිබඳ යථා
වැටහීමෙන් යුතුව අනගාරික වූ පිරිස මේ අය අතරේ සිටින බව, අප අමතක නොකළ
යුතු ය. කොටසක් හුදකලාව බවුන් වඩන අතර, තව පිරිසක් සමාජයට පිවිස මුසු
වී, පරාර්ථය පිණිස කැපවෙන්නට සූදානමින් සිටිති. සිය ආරාම අවට පිරිස
යහමඟෙහි යොදවා ඔවුන් නිත්‍ය දායකයන් ලෙස රඳවාගෙන බණ දේශනා සර්වරාත්‍රික
පරිත්‍රාණ දේශනා භාවනා පන්ති පමණක් නොව අනෙකුත් විෂයානුබද්ධ විවිධ
මෙහෙවරෙහි යෙදී සිටින ආදර්ශවත් මෑණිවරු සිටිති. මෙහිදී අවධාරණය කළ යුතු
තවත් කරුණකි. අද කාන්තාව පෞරාණික බමුණු මත වැට කඩොළු බිඳිමින් පෙරපර
දෙදිගම පිරිමින් හා සමව, ඇතැම්විට ඔවුන් අභිබවා යන තරම් ඉදිරියට පැමිණ
සිටින බව, පිළිගත යුතුව තිබේ. අන්‍යාගමික පූජකවරියනට සිය ක්‍ෂේත්‍රයට
පිවිසීමෙන් පසු විවිධ වරප්‍රසාද ලැබේ. එහෙත් අද දසසිල් මෑණිවරුනට මේ
තත්ත්වය සම නොවේ. ඉතා මෑතක පටන් උපසම්පදා වරම් පිළිබඳව ද විවිධ
ක්‍රියාකාරකම් දක්නට විය. එහි විනයානුකූල බව ගැන ඇති වූ විරෝධතා නිසා,
ඒ නැඟූ හඬ නැසී ගියේ ය.
නිහඬවම නමුත් එම ක්‍රියාකාරකම් හි අභීතව නිරතව සිටින පිරිසක් ද වෙයි.
පිරිමින් හා සමවන්නට හෝ අයිතිවාසිකම් ඉල්ලා සටන් නොකළ එකම කාන්තා
සංවිධානය දසසිල් මාතා පිරිස පමණකි. සසුන්ගත වීමේ පරම අභිලාශය නම්
නිර්වාණගාමී විමුක්තියයි. ඒ සඳහා උපසම්පදාව හෝ වෙන යම් තත්ත්වය අවශ්‍ය
නොවේ. ගිහි ගෙයි ගිනි පිරුණු නිසා ඉන් නික්මීම පමණක් ඔවුහු කළහ. මාර්ග
ඵල ලබන්නට බවුන් වැඩීමෙන් පුළුවන් බව සියුම්ව වටහාගෙන සිටියා විය හැකි
ය. එනිසා උපසම්පදාව ප්‍රාර්ථනාවෙන් ප්‍රබල හඬක් නැගුවේ නැත.
කලින් කලට ගිහි, පැවිදි කාරුණික නෙත් මේ මෑණිවරුන් වෙත යොමු විය. ඒ
අනුව විවිධ සහන සේවා හා අධ්‍යාපනික ආයතන වල දොර හැරුණු බව ද පෙනිණි.
එහෙත් සමාජයීය වශයෙන් ඔවුනට ලැබෙන අනුබලය ඉතා අල්ප ය. මේ තත්ත්වය හැම
තැනකදී ම ඒකාකාරී වන්නක් ද නොවේ. එසේ විය හැකි හේතු ගණනාවකි. කාන්තාවන්
අනගාරික කිරීමේ ව්‍යවස්ථාවක් අප සතුව නැත.
අනිවාර්ය අධ්‍යාපනයක් ද නැත. ඔවුන්ගේ දැනුම් පරතරය ඉතා පුළුල් ය. ඇතැම්
අයට අකුරු කියවීමට ද නොහැකි ය. කවර හෝ බාධක ජයගෙන පණ්ඩිත,
අභිධර්මාචාරිනී ආදී උපාධිධාරියෝ ද ඒ අතර වෙති. බෞද්ධ කටයුතු
දෙපාර්තමේන්තුව විසින් මේ පිරිස ඒකරාශි කිරීම සඳහා පියවර කීපයක් ගනු
ලැබිණි. ඔවුන්ට හැඳුනුම්පත් නිකුත් කැරිණි. ආරාම ද ලියාපදිංචි කැරිණි.
ප්‍රාචීන විභාග වලට පිරිවෙන් ආශි‍්‍රතව පන්ති ද ආරම්භ විය. මසකට වරක්
ඔවුන් එක් රැස් කරවා දේශ පැවැත්වීම ද සිදු වෙයි. එහෙත් ඒ සඳහා සහභාගී
වූ පෘථග්ජන සිල් මාතාවන්ගේ ආකල්ප විසමතා නිසා එක්රැස් වූවන්ගේ එක්සත්කම
අඩු ය. ඒ හැම ඔවුන්ගේ ම වරද ලෙස සැලකිය යුතු ද නොවෙ යි.
මේ සුවිශේෂ පිරිස ගැන මීට වඩා යහපත් ආකල්පයක් ඇතිවන අයුරින් කටයුතු
සැලසීම, වගකිව යුත්තන්ගේ කාර්යය විය යුතු ය. ඔවුන්ගේ වර්තමාන තත්ත්වය
ගැන විධිමත් තක්සේරුවක් කොට අඩුතැන් සපුරා දිය යුතු ය. දසසිල්
මෑණිවරුන්ට අධ්‍යාපන වරම් අනිවාර්ය කොට, පණ්ඩිත විභාග උපාධි ආදියට
අමතරව අධ්‍යාපනික සත්කාරය ප්‍රාථමික මට්ටමින් ද ආරම්භ කිරීම වැඩදායක ය.
ඔවුන් සතු විවිධ හැකියා වර්ගීකරණයකින් විමධ්‍යගත කොට සුදුසු උපදේශකත්වය
සඳහා යොමු කරවිය හැකි ය. ඔවුන්ගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි ජීවන මං
සළසා දී සාමාජීය වශයෙන් වැඩි පිළිගැනීමක් ලබාදීම වැදගත් වෙයි.
වෙනත් රටවල පූජකවරියෝ සමාජ මෙහෙවරෙහි දී පිරිමින් හා සමව කටයුතු කරති.
ඒ හා සමාන සේවයක් මේ උත්තමාවියන් ගෙන්ද ලබා ගත හැකි ය. ගිහි පිරිස අතර
ඇතිවන ගැටලු වලදී බුදු දහමේ නිරවුල් ශාන්ති දායක පුවත් රැගෙන සාකච්ඡා
කරමින් ප්‍රාථමික මට්ටමින් ප්‍රශ්න නිරවුල් කිරීමේ ශක්ති යද ඔවුන් සතු
ය. දයාබරිත මවුකම දැරූ හෝ උපතින්ම එය දරන්නට සුදුසු වූ හෝ මේ පිරිස සතු
පිය තෙපුල් මේ සඳහා මෙවලම් ලෙස සැලකීම වුවද ඉවත දැමිය නොහැකි සාධක
වෙයි. එය තමන් ලබන දැනුම ප්‍රායෝගිකව පරාර්ථයෙහි යෙදවීමට ඔවුන් සතුව
ඇති විශේෂ වරමකි. රටක විවිධ දින සම්මත කැරෙන්නේඒ ඒ විෂයයන්ගේ අඩුපාඩු
සපුරාලීමට සමාජයේ වැඩි අවධානයක් ඒ සඳහා යොමු කිරීමට ය. අනියම් ලෙස
එවැනි දිනයක් විලස උඳුවප් පොහෝ දා එළඹෙන නමුත්, එහි ස්වරූපය වෙනකකි.
එදිනට වැඩිපුරම සිදුවන්නේ අප රටේ භික්‍ෂුණී ශාසනයේ ආදි කතුවරිය ලෙස
සංඝමිත්තාවන්ට කෘතගුණවේදී වීමේ සද්කාර්ය යයි. එය අපේ රටේ වැසියන් තුළ
ඇති උදාර ගුණයක් බව පිළිගත යුතු ය.
නිවැරදි බුදු වදනට අනුව මේ කෘතගුණවේදී බව පමණක් නොසෑහෙයි. එතුමිය මෙරටට
පැමිණ උත්තම තත්ත්වයට පත් කළ මේ සුවිශේෂී කාන්තා පිරිසේ යහපත, උදාරත්වය
පිළිබඳ සැලකිලිමත් වීම, සංඝමිත්තාවන්ට මෙන්ම, ප්‍රජාපතී උත්තමාවන්ට ද
පුද කරන නිසි බුහුමනක් වෙයි. එවිට දසසිල් මාතාවන් වෙත මෙතෙක් තිබූ
අප්‍රසන්න රූපය වෙනුවට අධ්‍යාත්මික බාහිර දෙඅංශයෙන්ම පැහැපත් උත්තරීතර
කාන්තා සංවිධානයක් ලෙස සංඝමිත්තා පිළිරුව පෙරටුකොටගෙන වැඩමවිය හැකි
වෙයි. එසේ වූ විට මේ ප්‍රජාපතී දියණිවරු, තව වසර දහස් ගණනක් තිස්සේ
වුවද සංස්කෘතික ආගමික හා සමාජ මෙහෙවරෙහි පෙළහර පානු ඇත. |