[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තුන් ලොවට ම යහපත සැලසූ සේක

තුන් ලොවට ම යහපත සැලසූ සේක

මේ මිනිස් සමාජයේ දිවි ගෙවන අයගේ ස්වභාවයන් විවිධ යි. විෂම යි. සමාජය පසෙකින් තබා තනි පවුල් ඒකකයක් ගැන විමසා බැලුවත් එකිනෙකා තුළ තිබෙන්නේ විවිධත්වයක් වගේම විෂමතාවක්. ඒ තනි පවුල් ඒකකයත් බෙදා වෙන් කර, තනි තනියෙන් අප ගැන බැලුවත් විවිධ වූ, විෂම වූ ස්වභාවයන් තමා මොහොතින් මොහොත අප තුළ තිබෙන්නේ. එකම කරුණ සම්බන්ධයෙන් අවස්ථා දෙකක දී අප දක්වන ප්‍රතිචාර වෙනස් වන්නේ ඒ විවිධ විෂමභාවය නිසයි.

යම් වෙලාවක දී අප වැස්සට කැමතියි. තවත් වෙලාවක දී ඒ වැස්ස ගැන ම අප තුළ නුරුස්නා ස්වභාවයක් උපදිනවා. වෙලාවක දී අප අපේ සමීපතමයන්ට අතිශයින් ම හිතවත්. තවත් වෙලාවක දී අපට සමීපතමයන් ගැන පවා නුරුස්නාභාවයක් උපදිනවා. අප සහ සෙසු ලෝකයා අතර ගනුදෙනුවේ ස්වභාවය හැම විට ම තීරණය වෙන්නේ අපේ චිත්ත ස්වභාවය අනුවයි. දියෙන් ගොඩ දැමූ මාළුවෙක් වගේ සැලෙන සිතක් සහිත වීම නිසයි අප කා තුළත් විවිධ වූ, විෂම වූ ස්වභාවයන් ප්‍රකට වන්නේ.

මේ වගේ වහ වහා වෙනස් වන සිතක් ඇති ව ඉන්න අපට අන් අයව තේරුම් ගන්න බැහැ කියන එක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අපට වගේ ම, අන් අයටත් තිබෙන්නේ සැලෙන සිත්.

අප කවුරුත් සිතත්, කයත්, වචනයත් මෙහෙයවන්නේ, කොපමණ සියුම් වූවත් එය අපට වුවමනා හැටියට හසුරුවාලන්නට පුළුවන්කමක් තිබුණා නම් ගැටලුවක් නැහැ. එහෙත්, සිත ආත්ම වසඟයේ පැවැත්විය හැක්කක් නෙවෙයි. ඒ නිසා අප කැමති දේ අපට හිතෙනවා. අප අකමැති දේත් අපට හිතෙනවා. එහෙම වෙද්දි ඒ සිත ම අපට නින්දා කරනවා. ගරහනවා.

මේක හරි පුදුම දෙයක්. පාපී, කිලිටි කෙලෙස් උපදින සිත ම ඒ පාපී, කිලිටි කෙලෙස්වලට නිග්‍රහ කරනවා. ආශ්චර්යවත් ම දෙය තමා, මේ සා සියුම් සිත අපගේ ශාස්තෘන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළා කියන කාරණය.

රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන මේ උපාදානස්කන්ධ දුකට අයිති බව, ඒ දුක යනු අවබෝධ කළ යුත්තක් බව තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට වදාළ ඒ මනුෂ්‍ය රත්නය කොතරම් නම් අසිරිමත් ද?

“මුළු මහත් විශ්වයේ ම යම්තාක් ඤෙය්‍ය (අවබෝධ කළ යුතු) ධර්මයන් ඇත්තේ ද, භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය ඒ තාක් ම පවතී. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ඉක්මවා ගිය කිසිදු ඤෙය්‍ය ධර්මයක් තුන් ලොවෙහි ම විද්‍යමාන නො වේ.”

උන් වහන්සේට අන් අයගේ සිත් දකින්නට පුළුවනි. කල්ප කෝටි ප්‍රකෝටි ගණනකට පෙර හරි අවබෝධය උපදවා ගැනීමට උපකාරක වන ආකාරයේ කල්පනාවක් යම් කෙනෙක් පහළ කොට තිබුණා නම්, ඒ බවත් සම්බුදු රජාණන් වහන්සේට දැක ගන්නට පුළුවනි.

අඳුරු ගුහාවක දැල්වෙන එළි පොදක් වගේ, ධර්මාවබෝධය පිණිස උපකාරක වන වාසනා ගුණය අභ්‍යන්තරික ව සැඟවී තිබෙන කෙනා, පටාචාරාව වගේ ඇඟේ නූල්පටක් නැති ව සිටිනවා වුණත්, බාහිය දාරුචීරිය වගේ දර පතුරුවලින් විලි වසා සිටිනවා වුණත්, අංගුලිමාලයන් වගේ මිනිසුන් මරා කැපූ ඇඟිලි සිය ගණනකින් මාලයක් සකසා ගෙල ලාගෙන, ලේ වැකුණු අතින් කඩුවක් ගෙන සිටිනවා වුණත්, භාරද්වාජ බමුණා වගේ ‘වසලයා’ කියා බැණ වදින්නට නො පැකිළව සිටිනවා වුණත්, සුනීතයන් වගේ අසූචි කඳ කර තබාගෙන යමින් සිටිනවා වුණත්, කාමනීත බමුණා වගේ සාර මාසයක් පුරා රැක බලා ගත් කෙත ගංවතුරෙන් යට වී විපතට පත්ව සිටිනවා වුණත්, සෝපාකයන් වගේ සොහොනෙහි ලූ මළමිනියකට පිටිකර තබා බැඳ දමා සිටිනවා වුණත්, කිසාගෝතමිය වගේ මළ දරුවාගේ සිරුර අතින් ගෙන සිහි විකල් ව දිව යමින් සිටිනවා වුණත්, නන්දයන් වගේ රාජාභිෂේකයට පළමු විවාහ මංගල්‍ය පිණිස සූදානමින් සිටිනවා වුණත්, සුප්පබුද්ධයන් වගේ කුෂ්ටයකින් වැසුණු සිරුරක් ඇති ව පීඩිත ව සිටිනවා වුණත්, රජ්ජුමාලාවන් වගේ ගෙල වැල ලා ගන්නට සූදානමින් සිටිනවා වුණත් මහා කාරුණික අභිනීල සම්බුදු නේත්‍ර යුග්මයට ඔවුන් ව පෙනෙනවා.

ඒ උදවිය දුකින් මුදා ගැනීම පිණිස උන් වහන්සේ පා ගමනින් වඩිනවා. පිළුණූු ආහාර වළඳනවා. එහෙමත් නැතිනම් දන් වේල මඟ හැරෙද්දී කුසගිනි ඉවසා වැඩ සිටිනවා. සාර මාසයක් වුණත් අත් නොහැර ඔවුන් කරා වැඩම කරනවා. තමන් වහන්සේගේ ගිහි කල පුතු වූ රාහුල භද්‍රයන් වහන්සේ කෙරෙහි පවත්නා මෙත් සිත ම සියලු ලෝකයා කෙරෙහි පවත්වනවා.

මේ උතුම් වූ, අසිරිමත් වූ මනුෂ්‍ය රත්නය තුන් ලොවෙහි අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, දෙව්බඹුන් පවා උන් වහන්සේගේ පා කමල් නමදිනවා. ඒ සා ආනුභාව ඇති උතුමකු මිනිස් මව්කුසක පහළ වූවා යන්න පවා සිතින් සිතා ගත නොහැකි තරම් අද්භූත කාරණයක්.

උන් වහන්සේ ආඥා චක්‍රය පතුරුවාලන්නේ විසාරද භාවයෙන් යුතු ව යි. කෙලෙස් නිමිත්තකින් හෝ උන් වහන්සේට කරුණු සහිත ව චෝදනා කළ හැක්කෙක් දෙවියන්, බඹුන්, මාරයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ නැහැ. ඒ සා පිරිසිදු ජීවිතයක් දරා ගත් උතුමකු ලොව වැඩ සිටියා යන්න පවා අසිරියක්.

ලෝක ප්‍රජාව විසින් දකිනා ලද, අසනා ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, සිතින් දැන ගන්නා ලද, ලබා ගන්නා ලද, සොයා ගන්නා ලද, සිතින් විමසන ලද යම්තාක් දේ ඇද්ද? ඒ සියල්ල ම සම්බුදු රජාණන් වහන්සේ විසින් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළ නිසාත් උන් වහන්සේට ‘තථාගත’ කියා කියනවා. ඒ පරිපූර්ණ අවබෝධයෙන් යුතු ව වැඩ වෙසෙමින් සම්බුදු රජාණන් වහන්සේ අපට මෙසේ අවවාද කොට වදාරනවා.

“ඉදින් මහණෙනි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල ‘තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි මහණෙනි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.

මහණෙනි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේද? මහණෙනි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ, තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමැති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිලුටක් හෝ කැළලක් හෝ තිබේ නම්, ඒ කිලුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිලුටක් හෝ කැළලක් හෝ නො දකී නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වේ. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිපුන් ය’ වශයෙනි.

ඔය අයුරින් ම මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය.

‘මම බහුල ව ලෝභයෙන් යුතු ව වාසය කරන්නෙම් ද? මම බහුල ව ලෝභ රහිත ව වාසය කරන්නෙම් ද? මම ද්වේෂ සිතින් බහුල ව වසන්නෙම් ද? මම ද්වේෂ රහිත සිතින් බහුල ව වසන්නෙම් ද? මම බහුල ව ථීනමිද්ධයට යට වී වසන්නෙම් ද? මම බහුලව ථීනමිද්ධ රහිත ව වසන්නෙම් ද? මම බහුල ව උද්ධච්චයෙන් වසන්නෙම් ද? මම බහුල ව උද්ධච්ච රහිත ව වසන්නෙම් ද? මම බහුල ව සැකයෙන් වසන්නෙම් ද? මම බහුල ව සැකයෙන් තොර ව වසන්නෙම් ද? මම බහුල ව ක්‍රෝධයෙන් වසන්නෙම් ද? මම බහුල ව ක්‍රෝධ රහිත ව වසන්නෙම් ද? මම බහුල ව කිලුටු සිතින් වසන්නෙම් ද? මම බහුල ව නො කිලිටි සිතින් වසන්නෙම් ද? මම බහුල ව කායික පීඩායෙන් වසන්නෙම් ද? මම බහුල ව කාය පීඩා රහිත ව වසන්නෙම් ද? මම බහුල ව කුසීත ව වසන්නෙම් ද? මම බහුල ව පටන්ගත් වීර්යයෙන් යුතු ව වසන්නෙම් ද? මම බහුල ව එකඟ නො වූ සිතින් වසන්නෙම් ද? මම බහුල ව සමාධිමත් සිතින් වසන්නෙම් දැයි.”

යම් විටක බහුල ව තමන් පාපී අකුසලයන්ට යට වී සිටින බව දකිනවා නම් එවිට තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නො පසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද නුවණක් ද, පැවැත්වීමට කටයුතු කළ යුතුªයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

හරියට, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිළෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිළෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නො පසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කර ගන්නවා වගේ.

 

අමාවක

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ.
10 බ්‍රහස්පතින්ද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

Second Quarterඅව අටවක

‍‍‍ඔක්තෝබර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]