[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන ඒකාලෝක කළ දෙවැනි ධර්ම සංගායනාව

සම්බුදු සසුන ඒකාලෝක කළ දෙවැනි ධර්ම සංගායනාව

තථාගත සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද අජාසත් රජු සූවිසි වසක් රජ කළ බව සඳහන් වේ. ඔහුගේ මුළු රාජ්‍ය කාලය දෙතිස් වසකි. ඉන්පසු උදයභද්‍ර, අනුරුද්ධ, මුණ්ඩ, නාගදාස යන රජවරු සිය පියවරුන් මරා ක්‍රමයෙන් රජ වූහ. පියන් මැරූ රජ පරපුරේ අන්තිමයා වන නාගදාස රජ සිහසුනෙන් පහකර දමා සුසුනාග නම් ගුණ නුවණැති ඇමැතියෙක් මහජනයා විසින් රජබැව් හි තබන ලදී.

හේ අටළොස් වසක් රජ කළේ ය. ඉන්පසු ඔහු පුත් කාලාසෝක කුමරා රජ වී අටවිසි වසක් රාජ්‍ය විචාළේ ය. කාලාසෝකයන් රජ බවට පැමිණ දස වසක් ගතවත් ම සම්බුදු පිරිනිවනින් සිය වසක් පිරුණේ ය. එකල් හි විසල්පුර වජ්ජිපුත්තක භික්ෂූන් විසින් අකැප වූ දස වස්තුවක් කැපයැ යි ප්‍රකාශ කරමින් සසුන් තු නො මඟට හෙළන්නට තැත් කරන ලදී.

“තේන ඛෝ පන සමයේන වස්ස සත
පරිනිබ්බුතේ භගවති
වෙසාලිකා වජ්ජිපුත්තකා
භික්ඛු වෙසාලියං වත්ථුනි දීපෙන්ති.

1.කප්පති සිංගිලෝණ කප්පෝ.
2.කප්පති ද්වංගුලං කප්පෝ.
3.කප්පති ගාමන්තර කප්පෝ.
4.කප්පති ආවාස කප්පෝ.
5.කප්පති අනුමති කප්පෝ.
6.කප්පති ආචිණ්ණ කප්පෝ.
7.කප්පති අමථිත කප්පෝ.
8.කප්පති ජලෝගි පාතුං.
9.කප්පති අසදකං නිසීදනං.
10.කප්පති ජාතරූප රජතං”

(චුල්ලවග්ගපාලිය 414)

එ සමයෙහි බුදුරදුන් පිරිනිවී සිය වසක් ගිය තැනේ දී විසල් පුර වැසි වැදැ පුත් මහණහු විසල් පුරයෙහි දශ වස්තුවක් කැපයැ යි දක්වත්.

ලුණු නැති තැනෙක දී පරිභෝගය සඳහා අඟක ලුණු බහා ගෙන පරිහරණය කිරීම කැප ය.

ඉර හැරී සෙවණැල්ල දෑඟුලක් දික් වන තුරු ආහාර ගැනීම කැප ය.

අන් ගමකට යන්නෙමි යි පවාරණය වූ මහණ විසින් අන් ගමකට යන්නට සූදානම් ව සිටිමින් අනතිරිත්ත භෝජනය වැළ¼දීම වටී.

එක සීමායෙහි නොයෙක් සෙනසුන් හි වෙන් වෙන් ව පොහෝ පවුරුණු ආදී සංඝ කර්ම කිරීම කැප ය.

නො පැමිණි භික්ෂූන් පැමිණි කල්හි ඔවුන්ගේ අනුමැතිය ගනිමැ යි කියා වර්ග සංඝයා වී විනයකර්ම කිරීම සුදුසු ය.

ගුරුවරාදීන් විසින් පුරුදු කර ගෙන හොඳ නරක සියල්ල ම කැප ය.

වළඳා පැවරුවහු විසින් කිරිබවින් වෙන් වූ, දී බවටත් නො පැමිණි දේ වැළැදීම කැප ය.

මද්‍ය සම්භාර යෙදූ නමුත් මද්‍යභාවයට නො පත් තරුණ සුරාපානය කැප ය.

දාවලු නොමැති නිසිදනය කැප ය.

මිල මුදල් පිළිගැනීම කැප ය. යන මේ අකැප දශ වස්තුව කැප යැයි ප්‍රකාශ කළ හ.

මේ කාලයෙහි ආයුෂ්මත් යස කාකණ්ඩකපුත්ත තෙරුන් වහන්සේ වැදෑරට චාරිකා කරන්නෝ, වෛශාලියට පැමිණියහ. පැමිණ මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කළ සේක.එකල්හි වෛශාලියෙ හි වජ්ජිපුත්‍රක භික්ෂූහු පොහෝ දිනයෙහි කස්ලෝ තළියක් දියෙන් පුරවා භික්ෂූන් මැද තබා පැමිණි තාක් විසල් පුරවැසි උපාසකයන්ට “සංඝයාගේ ප්‍රයෝජනය සදහා කහවණුවක් - අඩ කහවණුවක් - පාදයක් - මස්සක් දෙවු” යනාදිය කියමින් සිටියහ. එවිට යස කාකණ්ඩකපුත්ත ස්ථවිරයන් වහන්සේ

“පින්වත්නි, භික්ෂූන්ට කාසි පණම් අකැප ය. එබැවින් නො දෙවු”යි කීහ. එහෙත් ඒ උපාසකවරු ඒ කීම ගණන් නො ගෙන පෙර සේ ම මුදල් දුන්හ. වෛශාලික භික්ෂූහු පසු දා ඒ මුදල් කොටස් කොට බෙදා එක කොටසක් යස ස්ථවිරයන් වහන්සේටත් ගෙනැත් දුන්හ. උන්වහන්සේ භික්ෂූන්ට මුදල් අකැප බව කියා ප්‍රතික්ෂේප කළහ. එවිට වෛශාලික භික්ෂූහු “මේ යස ස්ථවිරයන් වහන්සේ සැදැහැති දායකයන්ට ආක්‍රෝෂ පරිභව කෙරෙති”යි චෝදනා කරමින් පටිසාරණිය කර්මය කළහ.

එවිට යස ස්ථවිරයන් වහන්සේ

“ඇවැත්නි පටිසාරණිය කර්මය ලැබුවහුට අනුදූතයකු දිය යුතු බව බුද්ධ නියමය යි. එබැවින් ඒ දායකයන් දැන්වීමට මට අනුදූතයකු දෙවු”යි කීහ.

වෛශාලික භික්ෂූහු යස ස්ථවිරයන් වහන්සේට අනුදූතයකු දුන්හ. යස ස්ථවිරයෝ අනුදූත භික්ෂුව සමඟ වෛශාලියෙහි උපාසකයන් වෙත ගොස් මෙසේ කීහ. ධර්ම විනය දෙක ධර්ම විනය වශයෙනුත්, අධර්මය හා අවිනය අධර්මය අවිනය වශයෙනුත් ප්‍රකාශ කරන මම සැදැහැති, තුනුරුවන් කෙරෙහි පහන් සිත් ඇති පින්වත් උපාසකයන්ට ආක්‍රෝෂ කරමි.

පින්වතුන් කෙරෙහි නොපැහැදීම පහළ කරමි පින්වතුනි, සඳ හිරු දෙදෙනාට වළාකුල - මීදුම - දුම් - රජස් - රාහු යි උපක්ලේශ සතරකුත් ශ්‍රමණයන්ට සුරා - මෛථුන - ජාතරූප (මුදල්) මිච්ඡාජීවිකාව (වැරැදි ලෙස දිවි පැවැත්වීම) යි උපක්ලේශ සතරකුත් තිබෙන බව තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මේ බුද්ධ වචනය ගරු කොට ප්‍රකාශ කරන මම පින්වත් උපාසකවරුන් කෙරෙහි නොපැහැදීම පළ කරමි. තව ද පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මණිවූලක නම් ගම් දෙටුවකුට “යස්ස බෝ ගාමණි ජාතරූපරජතං කප්පති පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති ඒකංසේන ගාමණි ධාරෙය්‍යාසි අස්සමණධම්මෝ අසක්‍යපුත්තියධම්මෝ” (චූලවග්ගපාලි 417)

ගම් දෙටුවාණෙනි, යම් මහණකුට කාසි පණම් කැප වේ නම්, ඔහුට පඤ්චකාමයෝ ද කැප වෙති. යම් මහණකුට පඤ්චකාම කැප නම් ගාමණිය, එය ශ්‍රමණ ධර්මයෙන් බැහැර වූවක් ය, ශාක්‍යපුත්‍ර ධර්මයෙන් බැහැර වූවක් ය කියා එකැතියෙන් ම සැලකුව මනා යැයි දේශනා කළ සේක. මේ බුද්ධ වචනය ගරු කොට කතා කරන මම පින්වතුන් කෙරෙහි නොපැහැදීම පළ කරමි” යනාදී කරුණු ගෙනහැර පාමින් ධර්ම විනය දෙක වරදවා ගත් වෛශාලික උපාසකයන්ට යස ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ කළහ. එබස් ඇසූ විසල්පුර වැසි උපාසකවරු

“ආයුෂ්මත් යස කාකණ්ඩක පුත්‍ර ස්ථවිරයන් වහන්සේ පමණක් ම නියම ශ්‍රමණයන් වහන්සේ වෙති. වෛශාලියෙහි වසන සෙසු භික්ෂූහු දුශ්ශීලයෝ ය” යනාදීන් කියමින් යස ස්ථවිරයන්ට සිවුපසයෙන් උවටැන් කරන බවට ප්‍රතිඥා දුන්හ.

ඉක්බිති යස ස්ථවිරයන් වහන්සේ අනුදූත භික්ෂුව සමඟ වෙහෙරට ගිය විට අනුදූත භික්ෂුව අතින් වෛශාලික භික්ෂූහු කරුණු විමසූහ. එවිට අනුදූත භික්ෂුව ආයුෂ්මත් යස ස්ථවිරයන් හැර සෙසු කවුරුත් දුසිල් වහන්දැ”යි විසල්පුර වැසි උපාසකවරුන් කී බව ප්‍රකාශ කළේ ය.

එයැසූ විසල්පුර භික්ෂූහු යස ස්ථවිරයන් හට උක්ඛෙපනීය කර්මය කිරීමට සූදානම් වූහ. එය දත් යස ස්ථවිරයන් වහන්සේ අහසට නැඟ කොසඹෑ නුවරට වැඩි සේක. එහි සිට යස තෙරහු පාවෙය්‍ය - අවන්ති යන දෙරට වැසි භික්ෂූන්ටත් මේ බව කියා මේ අධිකරණය සමථය කිරීමට පැමිණෙන ලෙස දන්වා භික්ෂූන් යැවූහ.

යස තෙරණුවෝ අභෝගංගා පර්වතයේ විසූ සාණවාසි සම්භූත තෙරුන් වෙත ගොස් මෙපවත් කියා අධර්මවාදීන් බලපවත්වන්නට පළමු ව මේ අධිකරණය සමථයට පත් කළ යුතු බව කියා සිටියහ. සාණවාසි සම්භූත තෙරණුවෝ ද ඊට එකග වූහ.

ඉක්බිති සැටක් පමණ වූ පාවෙය්‍යක රහත් භික්ෂූන් වහන්සේ ද, අවන්ති දක්ඛිණාපථවාසි අටාසූනමක් රහත් භික්ෂූන් වහන්සේ ද අභොගංග පර්වතයට රැස් වූහ. උන්වහන්සේ එහි දී සාකච්ඡා කොට එවකට “සෝරෙය්‍ය ප්‍රදේශයෙහි වුසූ ධර්ම විනයධර ශික්ෂාකාමී රේවත මහ රහතන් වහන්සේ තම පක්ෂයට පමුණුවා ගත හොත් තුමූ මේ අධිකරණයෙන් බලවත් වෙතැ”යි තීරණයට පැමිණියහ. සෝරෙය්‍යයෙ හි වුසූ ඒ රේවත මාහිමියන් වහන්සේ ද මේ කතාව අසා ඉන් නික්මුණ හ. ඒ ස්ථවිර භික්ෂූහු පිරිස ද ආයුෂ්මත් රේවත තෙරුන් සොයමින් ගියාහු, සහජාති නම් පෙදෙසෙහි දී රේවත තෙරුන් හමුවූහ. හමුවැ උන්වහන්සේ අතින් දශ වස්තූන් විචාළහ. රේවත මාහිමියෝ ඒ දශය ම අකැප බව පැවසූ හ.

වෛශාලික භික්ෂූහු ද, රේවත තෙරුන් ස්වකීය පක්ෂයට හරවා ගැනීමට සිතා නොයෙක් සිවුරු පිරිකරාදිය ගෙන ගොස් රේවත තෙරුන්ට දුන්හ. ඒ කිසිවක් උන්වහන්සේ නොපිළිගත්හ. ඉන්පසු උන් වහන්සේගේ උපස්ථායක තෙරුන් වන උත්තර තෙරුන්ට ඒ පිරිකර පිළිගන්නට කියමින් පෙරැත්ත කළහ. ඉක්බිති ඒ තෙරණුවෝ එයින් එක සිවුරක් ගත්හ. වෛශාලික භික්ෂූහු උත්තර තෙරුන් ලවා “තුමූ ධර්මවාදියෝ”යැයි රේවත තෙරුන්ට කියැවූහ. එවිට රේවත තෙරණුවෝ ඒ උපස්ථායක තෙරුන් ද බැහැර කළහ.

ඉක්බිති සංඝයා, ඒ අධිකරණය සංසිඳුවීම පිණිස සහජාතියෙහි රැස් වූහ. රේවත මාහිමියෝ එය විසල් පුරයෙහි දී ම කළ යුතු බව පැවසූහ. එයැසූ ස්ථවිර භික්ෂූහු විසල් පුරයට යනු කැමති වූහ. එකල්හි විසල් පුර විසූ ආයුෂ්මත් ආනන්ද මාහිමියන්ගේ සද්ධිවිහාරිකයෙක් වූ, උපසම්පදාවෙන් එකසිය විසි වයස් ඇති, මුළු සංඝ සමූහයාට ම වැඩිමහලු වූ සබ්බකාමි සංඝ ස්ථවිරයන් වහන්සේ වෙත රේවත - සාණවාසී සම්භූත තෙරුන් වහන්සේ දෙනම වැඩම කොට දශ වස්තූන් පවසා, ඒ දශ වස්තුව සිය උපාධ්‍යාය වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් අසා දත් ධර්ම විනයානුකූල ව ධර්ම විනය දෙකට අයත් ද, නැතහොත් අධර්මයක් ද? අවිනයක් ද? යි ඇසූ විට සර්වප්‍රකාරයෙන් ම ධර්ම විනය විරෝධ වූවක් බව සබ්බකාමි මාහිමියෝ ප්‍රකාශ කළහ.

ඉන්පසු යස ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ දොළොස් ලක්ෂයක් මහරහතන් වහන්සේ විසල් පුර මහ වනය බලා නික්මුණු සේක. එපවත් ඇසූ වජ්ජි භික්ෂූහු ඒ භික්ෂූන්ගේ පැමිණීම වළකාලන්නට සිතා කාලාශෝක මහ රජු කරා ගොස්

“මහරජුනි, අප වෙහෙර කොල්ලකෑමට භික්ෂු පිරිසක් එති. ඔවුන් වළකාලුව මැනැවැ”යි පැමිණිලි කළහ. ඒ කාලයෙහි කාලාශෝක රජ ද වජ්ජි භික්ෂූන්ට විසල් පුරයට ඇතුළු වන්නට නොදෙන ලෙස අණ කළේය. එදිනැ රාත්‍රියෙහි ම තමා ලෝකුඹු නරකයේ පැසෙන බව කාලාශෝකයනට සිහිනෙන් පෙනුණේ ය. ඊට අතිශයින් බිය වූ කාලාශෝකයෝ තම නැඟෙණි වූ රහත් මෙහෙණකට එපවත් කීහ. ඒ රහත් මෙහෙණ

“අලජ්ජිනං බලං දත්වා
හාපේති විනයං මම
ජීවන්තෝ යේව ජාතෝසි
ගම්භිරා ලොභකුම්භියා”

යනාදීන් අලජ්ජ මහණුන්ට බලය ලබා දී, සම්බුද්ධ ශාසනය පිරිහෙළන තැනැත්තා පණපිටින් ම ලෝකුඹු නිරයේ උපදී යැයි වදාළ පරිදි, මහරජ තෙපි ද, අලජ්ජි භික්ෂූන්ගේ පක්ෂය ගෙන සුසිල්වත් මහ රහතන්ගේ ගමන වළක්වාලුවහු ය. එය තොපගේ විනාශයට හේතුවකි. වහා ගොස් ඒ ලජ්ජි භික්ෂූන්ට බලය ලබා දී සසුන රැක ගනුව යි කීහ.

එබස් ඇසූ රජ තෙමේ එදින ම විශාලා මහනුවරට පැමිණ “ඒ දශ වස්තුව ඇති කළ දස දහසක් පවිටු මහණුන් සසුනෙන් බැහැර කොට, ධර්ම සංගායනාවක් කරන්නට යැයි සබ්බකාමී යස - රේවත යන මහ රහතන් වහන්සේ ප්‍රධාන දොළොස් ලක්ෂයක් රහතන් වහන්සේට ඉඩ සලසා දුන්නේ ය.

ඉන්පසු ඒ මහ රහතන් වහන්සේ විසල්පුර වාලුකාරාමයට රැස්වූහ. ඒ දශ වස්තුව විනිශ්චය කිරීමේ දී නොයෙක් වාද විවාද ඇති වන හෙයින් උබ්බාභිකාවෙන් විනිශ්චය මණ්ඩලයකින් විසඳන්නට සම්මත කර ගත්හ. ඒ විනිශ්චය මණ්ඩලයට පාවෙය්‍යක භික්ෂූන්ගෙන් රේවත, සම්භූත , සාණවාසි, යස කාකණ්ඩක පුත්ත, සුමන යන මාහිමිවරුන් ද, පාචීන භික්ෂූන්ගෙන් සබ්බකාමි, සාළ්හ, බුජ්ජසෝභිත, වාසභගාමික යන මාහිමිවරුන් දැයි අට නමක් තෝරා ගත්හ. එහි දී රේවත - සබ්බකාමි මාහිමිවරුන් අතර මෙසේ ප්‍රශ්නෝත්තර හුවමාරු විය.

රේවත හිමි :- ස්වාමීනි, සිංගිලෝණ කප්පය කැපැ ද?

සබ්බකාමි හිමි :- ඇවැත්නි සිංගිලෝණ කප්පය නම් කිමෙක් ද?

රේවත හිමි :- හිමියෙනි, ලුණු නැති බොජුනක් ලත් විට ලුණු බහා වළඳන්නෙ මැ යි අදහසින් අඟක ලුණු බහාගෙන පරිහරණය කිරීම කැප ද?

සබ්බකාමි හිමි :- ඇවැත්නි එය අකැප ය.

රේවත හිමි :- එයින් කවර ඇවැතක් වේ ද?

සබ්බකාමි හිමි :- සන්නිධිකාර භෝජනයෙහි පාචිත්තියයි.

මෙසේ පැන විසඳුම් කොට හැම මහා සංඝයා වහන්සේගේ ම අනුමැතියෙන් ම ඒ දශ වස්තුව ම අකැප බව එකිනෙකට කර්ම වාක්‍ය භණනයෙන් නිශ්චය කොට ධර්ම විනය විරෝධිවූත්, බුදු සසුනෙන් පිටතරවූත් එකකැ යි ඒකමතික වැ පිළිගත්හ.

ඉන්පසුව ධර්ම විනය සංගායනා කිරීම පිණිස සිවුපිළිසැඹියාපත් ෂඩ්අහිඥාලාභී සත්සියයක් රහතන් වහන්සේ තෝරා එම වාලුකාරාමයේ රැස් වූහ. එසේ රැස් ව මහසුප් මාහිමියන් විසින් සංගායනා කළාක් මෙන් හැම සසුන් මඟ පහකොට නැවතත් පිටක වශයෙන් ද, නිකාය වශයෙන් ද, අංග වශයෙන් ද, ධම්මක්ඛන්ධ වශයෙන් ද ධර්ම විනය දෙක සංගායනා කළහ. මේ සංගායනාවට සිවුපිළිසැඹියාපත් ෂඩ්අහිඥාලාභී මහරහතන් වහන්සේ සත් සිය නමක් සම්බන්ධ වූ හෙයින් සත්තසතික යැයි නම් විය.

කාලාශෝක රජු අධිකතර සැදැහැත්තකු නො වූව ද තමන් දුටු සිහිනයෙන් බියපත් ව සිය නැඟෙණියක වූ රහත් මෙහෙණින් වහන්සේගේ අවවාද පරිදි මේ සංගායනාවට කැපකරු දායකත්වයෙහි යෙදුණේ ය.

මේ සංගායනාවේ සිට තෙවැනි සංගායනාව තෙක් ධර්ම විනය දෙක යට දැක්වෙන දෙ පරපුරෙන් නොකඩවා රැකැගෙන ආ බව පෙනේ.

විනය පිටකය

උපාලි දාසකෝ චෙව
සොනකෝ සිග්ගවො තථා
තිස්සෝ මොග්ගලිපුත්තෝ ච
පඤ්චේතේ විජිතාවිනෝ
පරම්පරාය විනයං
දීපේ ජම්බුසිරිවහයේ
අච්ඡිජ්ජමානං ආනෙසුං
තතියෝ යාව සංගහෝ

(සමන්තපාසාදිකා 18)

උපාලි, දාසක, සෝනක, සිග්ගව, මොග්ගලිපුත්තතිස්ස යන ඇදුරු පරපුරෙන් විනය පිටකය ගෙනෙන ලදී.

දෙවැනි සංගායනාව කරන කාලය වන විට ද තථාගතයන් වහන්සේ සියැසින් දුටු මහතෙරවරු විසූ හ. උන්වහන්සේ ආනන්ද, අනුරුද්ධ යන මහ රහතන් වහන්සේගේ සද්ධි විහාරිකයෝ ය, දෙවැනි සංගායනාවටත් සහාය වූවෝ ය.

ධර්මයයේහි ථේරේහි සංගිතා
සංගිති තේසු විස්සුතා
සබ්බකාමී ච සාළ්හෝ ච
රේවතෝ බුජ්ජසෝභිතෝ
යසෝ ච සාණ සම්භූතෝ
එතේ සද්ධිවිහාරිකා
ථෙරා ආනන්ද ථෙරස්ස
දිට්ඨපුබ්බා තථාගතං
දුතියෝ පන සංගිතෝ
යේහි ථේරේහි සංගහෝ
සබ්බේපි පන්නභාරාතේ
කතකිච්චා අනාසවා තී

(සමන්තපාසාදිකා 19)

සබ්බකාමී, සාළ්හ, රේවත, බුජ්ජසෝභිත, යස, සාණසම්භූත යන මහ තෙරවරු ආනන්ද මාහිමියන්ගේ සද්ධිවිහාරික වූවාහු තථාගතයන් වහන්සේ ද දැක පුරුද්ද ඇත්තෝ ය.

සුමන, වාසභගාමී යන තෙරවරු ආනන්ද මාහිමියන්ගේ සද්ධිවිහාරික වූවාහු තථාගතයන් වහන්සේ දැක පුරුදු ඇත්තෝ ද වූහ. මෙසේ මොවුන් වහන්සේගේ සමාගමයෙන් දෙවැනි සංගායනාව අටමසකින් නිම කරන ලදී.

නිකාය භේදය

මේ සංගායනාවෙන් බැහැර කරන ලද දශ දහසක් පමණ වූ වජ්ජිපුත්‍රක භික්ෂූහු ද ප්‍රතිෂ්ඨාවක් සොයන්නාහු වහා කොසඹෑ නුවරට ගොස් එහි මහා රැස්වීමක් පවත්වා ථෙරවාදයෙන් භින්න වූ මහාසංඝික නම් නිකායක් ඇති කළහ. බුද්ධ ශ්‍රාවකයන් අතර නිකාය භේදයක් ආරම්භ වූ ප්‍රථම වතාව මෙය යි. මහායානයේ ආරම්භය ද මෙතැන විය යුතුයි. මහා සංඝික නිකායෙන් භින්න ව ගෝකුලික - එකබ්බෝහාරික යි දෙ කොටසක් වූහ. පසුව ගෝකුලිකයෝ ප්‍රඥප්තිවාද බාහුලිය (බහුස්සුතික)යි දෙකට බිඳුණාහ. බහුස්සුතික නිකායෙන් චෛතවාදය බිඳිණ. මෙසේ දෙවැනි සියවසේ දී මහ සංඝිකයන් සමග නිකාය සයක් විය.

ස්ථවිරවාදයෙන් වජ්ජිපුත්‍රක - මහිංසාසක යන දෙක ද, වජ්ජිපුත්‍රකයෙන් සමමිත්තික, ඡත්තාගාරික, භද්‍රයානික, ධම්මෝත්තරිය යන සතර ද, මහිංසාසක නිකායෙන් ප්‍රථම කොට සර්වාස්තිවාද - ධර්මගුප්තික යන දෙක ද බිදී ගියේ ය. ඊට පසුව සර්වාස්තිවාදයෙන් කස්සපිය ද, එයින් සංකත්තිකය ද, එයින් සුත්තවාදය ද බිදී ගියේ ය. මෙසේ දෙවැනි සියවස්හි දී ථෙරවාදයෙන් ද, එකොළොස් නිකායක් භින්න වූහ.

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]