[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර අටවක පෝ දා 2026-08-20

හෙට සුබ වීමට....

අප භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයෙහි එක්තරා දේව පුත්‍රයෙක් උන්වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ දවසට එක් ආහාර වේලක් වළඳති. එසේ වුව ද උන්වහන්සේගේ ශරීර ශෝභාවත් ය. ප්‍රසන්න ය. එහෙත් දිනකට තුන් වේල ම මිහිරි ආහාර අනුභව කරන, ධනය උපයන මිනිස්සු එසේ ශෝභාවත් නොවෙති. ඉලිප්පී ගිය නහර ඇති ව, අවලක්ෂණ ව සිටිති. මීට හේතුව කුමක්ද?” යි විමසී ය.

එකල්හි අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේ ගෙවුණු අතීතයේ මුහුණදුන් සිදුවීම් ගැන ශෝක නොවන බව ය. හඬා දොඩා නොවැළපෙන බව ය. උදාවී නැති අනාගතය ගැන ද සිහින වෙන්නේ නැති බව ය. උන්වහන්සේ වර්තමානයේ ජීවත් වන බව ය.

එහෙයින් ප්‍රසන්නව සිටින බව ය.

එදා දේව පුත්‍රයා දුටු මිනිස් සමාජය අද ද එලෙස ම ය. අතීතය ගැන සිතමින් පසුතැවෙන, අනාගතය ගැන සිතමින් වධ වෙන අය වර්තමානයේ ජීවත්වන මොහොත පීඩනයෙන්, දුකෙන්, අවිනිශ්චිතව ගෙවා දමන ආකාරය දුලබ නොවේ. බොහෝ මානසික ගැටලු, දුක් දොම්නස් එහි ප්‍රතිඵලය. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අද ජීවත්වන ලෙසට ය. අද ජීවත්වෙමින් අද කළ යුතු දෙය අද ම කරන්නට කටයුතු කරනවා නම්, ඒ පුද්ගලයාගේ හෙට දවස නිතැතින් ම ගොඩනැඟෙන බව ය. එහෙත් අප බොහෝ විට හුරු පුරුදු ව ඇත්තේ හෙට ගැන සිතමින් කල් හැරීමට ය.

අනාගතය සුබ වීමට නම් මේ මොහොත සාර්ථක විය යුතු ය. ඒ තැනට එන්නට නම් අප කරන කියන දෙය නිවැරැදි විය යුතු ය. අර්ථ සම්පන්න විය යුතු ය. තමන්ටත් කරදරයක්, හානියක් නොවන අනුන්ට ද විපතක, අනර්ථයක් නොවන දිවි පැවැත්මක් විය යුතු ය. ඒ තුළ අනලස් බව, දක්ෂ බව, ධර්මානුකූල බව ප්‍රධාන වේ. එවැනි පුද්ගලයාට අනාගතය ගැන බිය විය යුතු නැත.

එහෙත් සමහරු අනාගතයට භෞතික සම්පත් රැස් කරන්නේ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ට කුමක් වුව ද කම් නැතැයි යන හැඟීමෙනි. එසේ සොයන සතුට තුළ දුක, පීඩාව සැඟව ඇති බව තේරුම් ගන්නා විට ඔවුහු ප්‍රමාද ය.

අසීමිත ආශාව අපේ සමාජය මුළා කරමින් සිටී. රස කාමය, බල කාමය මිනිස් සිත් සතන්හි රෝපණය වී අතු ඉතිලා වැඩෙන්නට පටන් ගෙන තිබේ. සමාජයක් අගාධයට ඇද දමන අයහපත් වෙළෙඳාම් තුළ තමන්ගේ සතුට, සුවය සොයන්නේ ඒ අන්ධ වූ මිනිසුන් ය.

මේ, සමාජයේ අප අහන දකින එකම සුලබ සිදුවීමක් පමණි. මේ සියල්ල ජීවිතය ගැන අවබෝධයක් නොවන නිසා ය. ඇසිපිය හෙළන මොහොතකින්, අතේ තිබෙන බත් පිඩ මුව තුළට ගන්නට මත්තෙන් මේ ජීවිතය කෙළවර කරන්නට වේ දැයි අපි නොදනිමු. ඒ සා අස්ථිර ලොවක අප හෙට ගැන සිතමින් ගොඩ ගසන සම්පත් ගැන කෙසේ නම් ස්ථිර බවක් දකින්නද? සියල්ල හැරදා යන්නට වන මේ ජීවිතය යහපත්ව, ධර්මානුකූල ව ගෙවමින් මේ කටුක සසර මඟ නවතා උතුම් නිරවාණාවබෝධය ලබන මාවතට ගමන් කරන්නේ ඒ ජීවිතාවබෝධය ඇති පුද්ගලයා ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ,

‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ’

පුද්ගලයා සීලයෙහි හික්මිය යුතු බවය.

චිත්තං පඤ්ඤංච භාවයං

සිත සහ ප්‍රඥාව දියුණු කර ගත යුතු බව ය.

බෞද්ධයා යන්නේ ඒ මඟ ය. ඔහු නිර්මාණය කරන්නේ අභ්‍යන්තරයේ දැවෙන ප්‍රශ්නවලට, බාහිර සමාජයේ ප්‍රශ්නවලට, සිතට කරදර පීඩාගෙන දෙන ගැටලුවලට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මයන් ය. අද අපට ඇවැසි එවැනි මාහැඟි ඖෂධයකි. ඒ ඖෂධය අන් කවරක් හෝ නොව ශ්‍රී සද්ධර්මය වන්නේ ය. එහි ආලෝකය ලැබීම තම තමන්ගේ කාර්යයකි. එහි අනලස් වෙමු.

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]