[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දිවි ගමනේ බර සැහැල්ලු කරනට...

දිවි ගමනේ බර සැහැල්ලු කරනට...

තථාගතයන් වහන්සේ අපට මඟ පෙන්වූයේ වැරැදි අඩුපාඩු හදා ගනිමින් ඒවා නිවැරැදි කර ගැනීමටයි. අපගේ ජීවන පිළිවෙතට එය අත්‍යවශ්‍ය වේ. පවුලක, සමාජයක සාමය රැකෙන්නේ සමඟියෙන් කටයුතු කරන විටයි. ඒ වගේ ම ජීවිතය කළමනාකරණය කර ගත් විටයි.

එහෙත් සමහරු රැල්ලට යටවී ඵලදායී නොවන, යුක්තියක් සාධාරණයක් නැති, අර්ථ විරහිත බොහෝ වියදම්වලට හුරුවී සිටී. අත්‍යවශ්‍ය ම වියදම් ලෙස සලකමින් ජීවත්වීමට වගේ ම මරණයටත්, විවාහයටත් අනවශ්‍ය ලෙස වියදම් කිරීමට මුදල් සොයා ගැනීමට ණය ගැනීමටත්, ඉඩකඩම් විකිණීමටත් පෙළඹේ. එසේ ගන්නා ණය ගෙවන්නටත් අසීමිත කාලයක් වැය කිරීමට සිදු වේ. මෙලෙස ගන්නා තීරණවල අවසන් ප්‍රතිඵලය විවාහය වගේ ම, ජීවිතයත් අසතුටින් ගත කිරීම ය. එනිසා චාම්, සරල ජීවිතයකට හුරු විය යුතු ම ය.

මුදල් මත ගොඩනැඟෙන සම්බන්ධතා ව්‍යාජ ය. එම සම්බන්ධතා අතුරුදන් වන්නට ගත වන්නේ ද නිමේෂයකි. මෙය නොදියුණු සංස්කෘතියක ලකුණකි.

එහෙත් අව්‍යාජ ලෙස ගොඩනැඟෙන සම්බන්ධතා තුළින් ඇති වන්නේ ගැඹුරු බැ¼දීමකි. එනිසා පවතින සම්බන්ධතා මෙන් ම, ගොඩනැඟෙන සම්බන්ධතා බොහොම සොඳුරු, ගැඹුරු, ගෞරවනීය, විශ්වාසනීය ස්වරූපයකින් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

අතමිට යහමින් පවතින පිරිස කරන දේ අනුකරණය කිරීමට යෑමෙන් නොසිතූ කරදරවලට වගේ ම, ගැටලුවට මුහුණදීමට අපට සිදු වේ. එනිසා අපි, අපට දැරිය හැකි ජීවන රටාවකට හුරු විය යුතු ම යි.

වර්තමානයේ විවාහ මංගල උත්සවයක් කියන්නේ ම තමන්ගේ මාන්නය, ආඩම්බරය, ප්‍රදර්ශනය කරන්නකි. මේ නිසා තරුණ කාලය නිරපරාදේ ගෙවමින් තරුණ හැඟීම් වැරැදි මාර්ගවලින් දිය කර හරිමින් සිටී. මේ තත්ත්වයේ වෙනසක් දකින්නට නම්, අනාගතය යහපත් කර ගන්නට නම්, අපේ සමාජයේ විවාහ පිළිබඳ ඇති නිසරු ආකල්ප වෙනස් කළ යුතු ය. එසේ සිදු වන ආකල්ප වෙනස පෞද්ගලික ව වගේ ම, ජාතියේ ප්‍රගමනයට ද ඉවහල් වේ.

විවාහය, නව සංස්කෘතියකට අනුව සැලසුම් කළ යුතු ය. ඒ තුළින් ආකල්පවල පැතිරුණු වෙනසක් වගේ ම සිතිවිලිවල ගැඹුරු වෙනසක් ඇති වේ. මෙහි අග්‍ර පලය වන්නේ මුළු විවාහ ජීවිතය ම ව්‍යාකූල බවින් තොර, පීඩනයෙන් තොර, සාමය සුරැකි සුන්දර, විචිත්‍රවත් දෙයක් වීමයි. එවැනි විවාහයක පලයක් ලෙස ලැබෙන දරුවන් බුද්ධිමත්, ඉවසිලිවන්ත, දක්ෂකම් බහුල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී ගුණ පිරුණු වටිනා පිරිසකි. අපේ රටේ අනාගතය සුන්දර කරන්නේ මෙවැනි දරුවන් ය.

ජීවිතය සරල, සංවර වන විට අපේ සිතිවිලි, ආකල්ප, ඇවතුම් පැවතුම් වගේම පුරුදුත් වෙනස් වේ. මනුෂ්‍යයන් වන අප සතු වන පුරුදු බොහෝ ය. මේ පුරුදු වෙනස් වූ විට ඊට සමානුපාතික ව අපගේ ආර්ථිකය ද වෙනස් වීමට පටන් ගනී. එතුළින් අපේ ආධ්‍යාත්මයත් සංවර්ධනය වේ. මේ නිසා අපි අලුත් විදියට සිතන්න පටන් ගනිමු. හරි දේ හරි පිළිවෙළට හඳුනා ගනිමින්, වැරැදි දේ නිවැරැදි ව හඳුනා ගනිමින්, හරි වැරැද්ද හඳුනා ගන්නට ඉගෙන ගනිමු.

අපි හේතුඵලවාදී විය යුතු ය. එවිට අපට සැබෑ බෞද්ධයන් වීමට හැකියාව ලැබේ. දරන්න බැරි වියදම්වලින් මිදෙන්න. ඒ සඳහා අපි අපේ වැරැදි පුරුදු එසේත් නැතිනම් අබ්බැහිවීම් අතහැර ගැනීම අත්‍යවශ්‍ය ය. අපේ හිස් තැන් හොඳ පුරුදුවලින් පුරවා ගැනීමට මේ සුදුසු ම කාලය බව සිතට ඒත්තු ගන්වමු. පරිහානිය නවතින්නේ එවිටයි. එමඟින් ශාරීරික වගේ ම මානසික සෞඛ්‍ය පිරිහීම, ධනය පිරිහීම, සමාජ පිරිහීම, ආධ්‍යාත්මික පිරිහීම නවතී. අනෙකාට ඇඟිල්ල දිගු කර මෙය කළ හැකි දෙයක් නොවන අතර, තමන් ගැන තමන් හඳුනා ගත යුතු ය. ඒ තුළ ජීවිතයේ නිවැරැදි බව නිතැතින් ම ගොඩනැඟෙනු ඇත. තමන් සමඟ ජීවිතය බෙදා ගන්නා අයගේ ද ජීවිතය යහපත් වනු ඇත.

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]