[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හික්මීම සොඳුරු ධර්මයකි

හික්මීම සොඳුරු ධර්මයකි

ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහිගෙයි ජීවත් වන යම් කෙනෙක් ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්, ඒ වගේ ම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි උතුමෝ සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත් ය.

සීල සංවරය පිණිස උපදවා ගත යුතු ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳ ව අපි නොයෙක් වර කතා කොට තිබෙනවා. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පුරුදු කර ගැනීමට “සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙන බව අප දන්නවා. සේඛියා කියන්නේ පැවිදි ජීවිතයේ ඇවතුම් පැවතුම් තුළ හික්මීම පිණිස පැනවූ සිල් පදවලට යි.

ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතයේ සීලය පුරුදු කරන ක්‍රමය පිළිබඳ නිරවද්‍ය වැටහීමක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පැනවූ සීල සංවරය ගැන ශ්‍රාවකයන් අතර නොයෙකුත් මතවාද පැතිර යනවා නම්, සීල දෘෂ්ටි ඇති වෙනවා නම්, ඔහුට සංසාර දුකෙන් නිදහස් වන පිළිවෙළ සිතේ නොවැඩීම නිසා, නැවතත් සසරේ ඉපදි ඉපදී යන්න සිදු වෙනවා. මේ අනතුරින් අත්මිදෙන්නට නම් අප විසින් කළ යුත්තේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් ආකාරයට ම සීලය පුරුදු කර ගැනීමයි.

අපි සාමාන්‍යයෙන් ජීවිතය පවත්වා ගන්නට ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය තමයි භාවිත කරන්නේ. අන්න ඒ භාවිත කරන දෑ උපයා ගැනීම සඳහා අපි වීරියක් කළ යුතුයි. වීරියෙන් යුතු ව අපි රැකී රක්ෂා කරලා වෙළහෙළඳාම් කරලා මුදල් උපයලා තමයි ඔය කියන පහසුකම් භාවිත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මේ විදිහට කියා දෙනවා.

ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහිගෙයි ජීවත් වන යම් කෙනෙක් ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්, ඒ වගේ ම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත් ය.

පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගන්න තියෙන වීර්යයන් දෙක. පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් අත්හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීර්යයක් ඇද්ද? මේ වීර්යයන් දෙක අතරින් වඩාත් ම අග්‍ර වෙන්නෙ මෙයයි.”

බලන්න, හැමදාමත් දවස ගත කරමින් මුදල් උපයන්න අපි වීර්යය කරනවා. ඒ අපට හුරු පුරුදු වෙච්ච රටාවක් නේද? එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය දෑ ලබා ගන්න වීරිය කරන්න වන නිසා, මේ සද්ධර්මය සිතේ දියුණුූ වන ආකාරයේ දින චර්යාවක් පවත්වන්න අපට සිහි කල්පනාවක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ ආකාරයේ ඇවතුම් පැවතුම් සංවර වන ආකාරයට අපි හික්මෙන්න ඕනෑ. එදිනෙදා කරන කියන කටයුතු තුළ හිත පිරිසිදු වන රටාවක් නේද?, මේ සිල්පද තුළ හික්මෙන කොට අපට ඇති වන්නේ?

ඒ ආකාරයෙන් සිත පිරිසිදු වීම නිසා අපේ නීවරණ සන්සිඳෙන්න ගන්නවා. ඒ ඒ කි‍්‍රයාවේ කුසලය, අකුසලය හඳුනා ගැනීමේ හැකියාව අපට උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් සේඛියා සිල්පද මේ ආකාරයට පැවිදි ශ්‍රාවකයන් උදෙසා පෙන්වා දෙනවා.

පිරිමඬුලු කොට සිවුරු අඳින්නෙමි යි හික්මිය යුතු ය.

පිරිමඬුලූ කොට සිවුරු පොරවන්නෙමි යි හික්මිය යුතු ය.

හොඳට සිවුරු පොරවා ගෙන සංවර ව ඇතුළු ගමට යන්නෙමි යි හික්මිය යුතු ය.

හොඳට සිවුරු පොරවා ගෙන සංවර ව ඇතුළු ගමෙහි හිඳින්නෙමි යි හික්මිය යුතු ය.

ගිහිගෙයි ජීවත් වෙන යම් කෙනෙක් ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස, ගිලන්පස, බෙහෙත් ඖෂධ ආදිය ලබා ගැනීම සඳහා මහා වීරියක් කරනවා මෙන් ම, ලබා ගත් දෑ පරිහරණය කරන්නේ ලෝභ සිත් ඇතිවයි. සොර, ගිනි, ජල උවදුරුවලින් හානි වේදෝ යි බිය ඇතිවයි. නමුත් තමා පරිහරණය කරන දෑ සිත පිරිසිදු වන ආකාරයට භාවිත කරන්නට හැකි ක්‍රමයක් තිබෙනවා කියලවත් අපි අහලා තිබුණාද? නැහැ නේද?

තමා පරිහරණය කරන ඇඳුම් පැළඳුම් නිසා තමාගේ ජීවිතයේ සංවරයක් ඇති වන බව අපි අත්දැකීමෙන් දන්නවා නේද? පාසල් යන්න, රැකියා ස්ථානයට යන්න ‘නිල ඇඳුමක්’ තිබෙනවා නේද? ඒ නිල ඇඳුම නිසා යම් සංවරයක් ඒ ස්ථානයේ දී අපට ඇති කර ගන්න පුළුවන්. ඒ වගේ ම, ආගමික සිද්ධස්ථානයකට යනවිට, උසාවියට යන විට, මළ ගෙදරකට, මඟුල් ගෙදරකට යන විට ඇඳුමක සංවරය ගැන අපි සැලකිල්ලක් දක්වනවා. අන්න ඒ ඇඳුමේ සංවරය සිතේ සංවරයට බොහෝ උපකාරී වන දෙයක්.

අසංවර වූ, අපිළිවෙළ වූ ඇඳුමක් අඳින කෙනාට අපහදින ස්වභාවයකුත් ලෝකයේ තිබෙනවා. ඇඳුමකින් උපදවන සංවරය ගැන මේ යුගයේ එතරම් සැලකිල්ලක් නැහැ. නමුත් ඇඳුමේ සංවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට නම් සිතේ මහා දියුණුවක් ඇති කිරීමට හේතු වනවා.

අපි මඟ තොටේ යන විට නිදහසේ ඇවිද යන්න කැමතියි. නමුත් ඒ නිදහස අන් අයගේ අපහසුවට කරුණක් නම්.....ගැරහීමට කරුණක් නම්...අන්න ඒ කාරණය සිත් අපිරිසිදු කරන කාරණයක් වෙනවා. මඟ තොටේ අනුන්ගේ අපහාසයට ලක් වෙන අයුරින් ගියොත්, අනුන්ට හිරිහැර වන ආකාරයෙන් ගියොත්, අනුන්ට අකුසල් උපදවන ආකාරයෙන් ගියොත් ඒක තමාගේත්, අනුන්ගේත් හිත අපිරිසිදු කරන කාරණයක් නේද? ශ්‍රාවකයා කියන්නෙ අනුන්ගේ ගැරහීමට ලක් නොවන චරිතයක්. ධර්මය තුළින් ගොඩනැඟුණු සංවරයක් ඇති චරිතයක්.

බලන්න, බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝ රත්නයට ගමේ හැසිරෙන ආකාරය මෙසේ පෙන්වා දෙනවා.

සංවර ව, බිමට යොමු කළ ඇස් ඇති ව, සිවුරු ඔසවා නො ගත් කයින්, මහ හඬින් හිනා නොවී, නිශ්ශබ්ද ව, නො සෙල්වෙන කයින්, අත් නො පද්දවා, හිස නො පද්දවා, උකුළෙහි අත් නොතබා ගෙන, හිස වසා පොරවා නොගෙන, ඇතුළු ගමෙහි යෑම හෝ ඉඳගෙන සිටීම හෝ කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් සේඛියා සිල්පද පනවනු ලැබුවා. ඒ වාගේ ම ගමේ වඩින විට ඇඟිලි තුඩුවලින් හා විළුඹෙන් ඇවිදිමින් නො යන ලෙසටත්, ඇතුළු ගමේ දී දෙඅත් පා වටා බැඳගෙන හෝ රෙදිවලින් දෙපා එතෙන ලෙස වාඩි නොවන ලෙසටත් අනුදැන වදාළා.

ඒ වාගේ ම තමන් ආහාර ගන්නා විට නුසුදුසු චර්යා අනුගමනය කිරීම ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව පිරිහෙන කාරණයක් ම යි. පිළිවෙළට ආහාර ගැනීම යනු තමාටත් පහසු දෙයක්. ඇවතුම් පැවතුම් සංවර වන කාරණයක්. දානය වැළඳීම පිළිබඳ සිල්පද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළා.

සැලකිල්ලෙන්, තමාගේ අතේ පාත්‍රය තිබේ ය යන අදහසින්, බතට සරිලන වෑංජන සහිත ව, පාත්‍රය සම කොට පිණ්ඩපාතය බෙදා ගෙන පිණ්ඩපාතය පිළිගන්නා ලෙසට අනුදැන වදාළා. ඒ වාගේ ම සැලකිල්ලෙන් සකස් කොට, තමන් පාත්‍රයේ වළඳන බව සිත තබා ගෙන, පාත්‍රයේ ඇති ආහාර දානය තමා දෙස පටන් වළඳන ලෙස අනුදැන වදාළා. බතට සරිලන වෑංජන ඇති ව, පාත්‍රයේ ඇති දාන කොටසේ මුදුනින් අනා නො වළඳමින්, වැඩිපුර ගැනීමේ අදහසින් ලැබුණු ව්‍යංජන බතින් නො වසමින්, නො ගිලන් ව සිටිය දී තමා උදෙසා ආහාර සකස් නො කර ගනිමින්, උසුළු විසුළු කරන අදහසින් ලැබුණු ව්‍යංජන බතින් නො වසමින්, උසුළු විසුළු කරන අදහසින් අනුන්ගේ පාත්‍රය දෙස නො බලමින්, ඉතා ලොකුවට බත් ගුළි නොකරමින්, වටකුරු ව බත් පිඬු හදමින්, වැළඳිය යුතු බවයි අනුදැන වදාළේ.

බත් පිඬු ළං නොකර තිබියදී මුඛය විවර නො කරමින්, වළඳන විට මුළු අත ම මුඛයේ නො බහාලමින්, බත් පිඬු මුඛයේ ඇති ව කතා බස් නො කරමින්, බත් පිඬු මුව තුළට දමා නො ගසමින්, අතට ගත් බත් පිඬ කඩ කඩා නො වළඳන්න යැයි අනුදැන වදාළා.

ඒ වගේම හක්ක පුරවා ගෙන නො වළඳමින්, අතේ තැවරුණු ඉඳුල් ගස ගසා නො වළඳමින්, ඉඳුල් විසුරුවමින් නො වළඳමින්, දිව එළියට දම දමා නො වළඳමින්, චපු චපු ශබ්දයෙන් නො වළඳමින්, සුරු සුරු ශබ්දයෙන් නො වළඳමින්, අත ලෙවකමින් නො වළඳමින්, පාත්‍රය ලෙව කමින් නො වළඳමින්, තොල් ලෙව කමින් නො වළඳමින්, ඉඳුල් අතින් පැන් බඳුන නො පිළිගෙන, පාත්‍රය සේදූ ඉඳුල් වතුර ඇතුළු ගමේ නො දමා, ඇවතුම් පැවතුම් තුළ සංවර වන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළා.

බලන්න, පැවිදි ශ්‍රාවකයාට ලබා දුන් සංවරය ලෝකයට ම ආදර්ශවත්. පැවිදි දිවිය තුළ සංවර වීම සඳහාත්, හික්මීම සඳහාත් ඒකාන්ත උපකාරයක්. එසේ නම් වැඩ කටයුතු අධික ගිහි උපාසක උපාසිකා පිරිසක් ලෙස ඔබත් මේ අවවාද ගෞරවයෙන් අසන්න ඕනෑ. අවවාද අසා තමාගේ ශ්‍රාවක ජීවිතයේත්, ඇවතුම් පැවතුම් ගිහි ජීවිතයට ගැළපෙන පරිදි සංවර කර ගන්නට උනන්දු වෙන්න ඕනෑ.

ආහාර ගැනීම පිළිවෙළකට සිදු කරන විට එය දකින පිරිසට කොච්චර සුන්දර දෙයක් ද? තමාගේ හික්මීමට ඒක කොච්චර උපකාරයක් ද? සිත පිරිසිදු වන, සිතේ පිළිවෙළට ධර්මයන් පුරුදු කිරීමට උපකාර වන ඒ මනා හික්මීම අපිත් හොඳින් හිතා බලා පුරුදු කර ගන්න ඕනෑ. කාර්ය බහුල ජීවිතයේ කලබලයට ආහාර ගැනීමක් තමයි අපට හුරු වෙලා තියෙන්නෙ. ඒත් අපිළිවෙළට ආහාර ගැනීම තමාගේ සිතටත්, කයටත් අපහසුවක් ම යි ඇති කරන්නේ.

අපි සියලු දෙනාට ම එදිනෙදා ගත කරන සෑම ක්‍රියාවක් ම ධර්මයක් පුරුදු කිරීමක් මඟහැරෙන දෙයක් වෙනවා නම්, කෙතරම් දුක් සහිත ද? නමුත් තමාගේ ජීවිතයේ, හැම මොහොතක් ම සන්සිඳෙන්නේ ඒ ඒ මොහොතේ ධර්මයක් දැන ගැනීමෙන්, එමෙන් ම දැක ගැනීමෙන්. අප සියලු දෙනාට ඇවතුම් පැවතුම් සංවර කර ගැනීම පිණිසත්, ඒ තුළින් නිවන් මඟ විවර කර ගැනීම පිණිසත් මේ දහම් කරුණු හේතු වේවා.

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]