[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී...

ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී...

 

ලොව පුරා විසිරී සිටින ථෙරවාද, මහායාන, වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායයන් ඒකරාශි කරමින් එකමුතුව වැඩ කරන ශක්තිමත් සංවිධානයක් වශයෙන් පිහිටුවීම සඳහා ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය ආරම්භ කෙරෙන්නේ 1966 වසරේ ලංකාවේ දී ය. ඒ, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමියන්ගේ සභාපතිත්වයෙනි. ලේකම් ධුරය හෙබවූයේ පිඹුරේ සෝරත නාහිමිපාණන් වහන්සේ ය.

බෝදාගම චන්දිම
නාහිමි

මාඉටිපේ විමලසාර
නාහිමි

ලාංකේය බෞද්ධ ජනයා අමන්දානන්දයට පත් කරමින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම එළඹෙන නොවැම්බර් මස 28 දා සිට දෙසැම්බර් 02 දා දක්වා ශ්‍රී ලංකාවේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය. ලාංකේය බෞද්ධ උරුමය ලෝකයට ම ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී අවස්ථාවට රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු, භික්ෂුණීන් වහන්සේ හා ගිහි නියෝජිතයන් 600කට ආසන්න පිරිසක් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය 500ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත ය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ වත්මන් මහ ලේකම් මාඉටිපේ විමලසාර මහ නා හිමියන් ය. උන්වහන්සේ පවසන්නේ ලෝකයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට නම්, පළමුව වැදගත් වන්නේ අනෝ‍යන්‍ය අවබෝධය සහ ඒ තුළින් ගොඩනැඟෙන සුහදත්වය වන බව ය.

“ලංකාව බෞද්ධ රටක් ලෙස ලෝකයේ අනෙක් බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේ අතර මුණගැසීම්, සාකච්ඡා කිරීම් අන්‍යොන්‍ය අවබෝධයට හරිම වැදගත්. මේ සම්මේලනය එයට හොඳ අවස්ථාවක්. අපට කොන්වෙලා ජීවත් වෙන්න බෑ. ලෝකයේ අනෙක් බෞද්ධ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෑ.

මෙවැනි සම්මේලනයක් ලංකාවේ සංවිධානය කිරීම අසීරු කාර්යයක්. එය කිහිප අවස්ථාවක ම ප්‍රතික්ෂේප වුණා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, හොංකොං, තායිලන්තය, ජර්මනිය වගේ රටවල් තමයි මීට පෙර මේ සම්මේලනය පවත්වා තිබෙන්නේ. ලෝකයේ ම අවධානය දිනා ගන්නා මෙවැනි සම්මේලනයක් ලංකාවේ පැවැත්වීමට ලැබීම ම අප ලද මහා භාග්‍යයක්.

එක් පැත්තකින් ලංකාව පිළිබඳ ඇතැම් රටවල වැරැදි චිත්‍ර තිබෙනවා. ඒවා මඟ හරින්නට මෙය සුවිශේෂී අවස්ථාවක්. අපේ රටේ බෞද්ධ සංචාරක ව්‍යාපෘතිය ඉතාම දුර්වලයි. විදෙස් බෞද්ධයන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඉතාම අඩුවෙන්. මේ සම්මේලනය ඒ සඳහා උත්තේජනයක් වන බව අපේ විශ්වාසයයි. ඒ වගේම මෙම සම්මේලනය සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය හා රාජ්‍ය පාර්ශ්වයෙන් ලබා දිය යුතු උපරිම සහයෝගය ලබා දීම අගය කළ යුතු යි” ද යැයි උන්වහන්සේ පැවසූහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංස්කෘතික අංශයේ සභාපති බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ ය.

“ථෙරවාද, මහායාන, වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායයන් තුනේම සම්බන්ධය ලංකාවට තිබෙනවා. අනුරාධපුර ජේතවනයේ දී අපට හමුවුණා රන්පත් ඉරුවල ලියා තැබූ මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය. එය මහායාන බෞද්ධයන්ගේ ප්‍රධාන සූත්‍රයක්. රන් අකුරින් ලියා තිබුණේ. ඒ වගේම මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය සහිත තඹ පත් ඉරු 91ක් කටුසෑයේ තැන්පත් කර තිබුණා.

වජ්‍රයානිකයන් දෙවැනි බුදුහාමුදුරුවෝ හැටියට සලකන මහා පද්ම සම්භව කියන රහතන් වහන්සේ තුන්වරක් ශ්‍රී පාදස්ථානයට වැඩම කොට තිබෙනවා. ඒ නිසා මේ සම්මේලනය මඟින් ලෝකයේ බෞද්ධ ජනතාවට ලංකාවේ බුදුදහම කුමක් ද?

අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායයන් සමඟ තිබෙන සම්බන්ධය මොන වගේ ද යන්න පිළිබඳ අවබෝධයකට එන්න පුළුවන්.

මේ සම්මේලනයට කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සමාරම්භය දෙන්නට සුවිශේෂී හේතුවක් තිබෙනවා. මීට වසර බොහෝ ගණනකට පෙර ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය අපට අහිමි වුණා. ඒ අඩුව පුරවන්නට තරම් විශිෂ්ට ආයතනයක් බිහිවුණේ නෑ. එදා ඒ නාලන්දා විශ්ව විද්‍යාලයෙන් තමයි ථෙරවාද, මහායාන, වජ්‍රයාන සම්ප්‍රදායයන් ත්‍රිත්වයේ ම පඬිවරු බිහි වුණේ. මම කැලණිය ජාත්‍යන්තර “නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ ඒ නාලන්දාව නැවත බිහි කරන්නටයි. ඊට ආදේශකයක් ලෙසයි. අපිට අවශ්‍ය ලෝකයේ ඉන්න බෞද්ධයන් එකමුතු කරන්නටයි. බෙදන්නට නොවෙයි. මගේ සංකල්පයක් අනුව බිහිවුණ මේ විශ්ව විද්‍යාලයෙත්, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේත් පරමාර්ථය ඒ එකතු කිරීමයි. ඒ තුළින් ගොඩනැඟෙන සාකච්ඡා, තොරතුරු හුවමාරුව හා අන්‍යෝන්‍ය අවබෝධය තුළ නිර්මාණය වන සාමගි‍්‍රය යි. ඒ සමඟිය, එකමුතුබව, සම්බුදු දහම නිරතුරුව ම අගය කළ උතුම් සංකල්පයක්.” යැයි උන්වහන්සේ බුදුසරණට පැවසූහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය සඳහා විදේශීය රටවල බෞද්ධ නියෝජිතයින් නොවැම්බර් මස 27 දින මෙරටට පැමිණීමට නියමිත ය. 28 දා සමාරම්භක උළෙලින් පසු එදින සවස 11 වැනි මහා සභාවේ දෙවැනි විධායක සභාව පැවැත්වෙන අතර, 29දා කැලණිය රාජ මහා විහාරයේ දි පිළිගැනීමේ උත්සවයකි. එදිනම නාගානන්ද විශ්ව විද්‍යාලයේ දී ප්‍රධාන සම්මන්ත්‍රණය පැවැත්වේ. 30දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී සහ දෙසැම්බර් 01දා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දී ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් සියලු විදෙස් අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විශේෂ පූජා පින්කම් පැවැත්වේ.

මෙවර ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සාකච්ඡාවට බඳුන්වන ප්‍රධාන මාතෘකාව ‘කෘත්‍රිම බුද්ධිය සහ බුදුදහම’ යි. ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීමේ ලා කාලීන මාතෘකාවක් ලෙස එය ඇගයීමට ලක් වේ. මේ සමඟම ලෝකයේ සම්බුදු දහමේ ව්‍යාප්තියට අප මව්බිමෙන් එදා මෙදා තුර සිදු වූ මෙහෙවර පිළිබඳ සාකච්ඡා කෙරෙන අතර එහි සාධනීය ගුණ ද ශ්‍රී ලංකාව බොදු රටවල් අතර ඉහළින් ඔසවා තැබීමට හා ගෞරවණීයත්වයට පත් කිරීමට සමත් වනු ඇත.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]