ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ මිහින්තලාව, අනුරාධපුර නගරයේ සිට ඊසාන දිසාවෙන් කිලෝමීටර 11ක් පමණ දුර ප්‍රමාණයක් ගිය කල මුහුදු මට්ටමින් මීටර් 309.27ක් උසින් යුක්ත වේ. ඓතිහාසික ශේෂ කන්ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති ඉතිහාසයක් පවතින්නා වූ පූජනීය ස්ථානයකි. වංශ කතාවලට අනුව සම්බුද්ධ පාදස්පර්ශයෙන් සුපූජිත පුදබිමක් සේ සැලකෙන මිස්සකපව්ව හා බැඳුණු නටබුන් අක්කර 450ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත ව පවතින බව හඳුනාගත හැකි ය. වංශ කතා සාහිත්‍ය සාධකවලට අනුව කියැවෙන සේල චෛත්‍ය, සිංහ පොකුණ, නාග පොකුණ, කණ්ඨක චේතිය, මිහිඳු සෑය, අම්බස්තල දාගැබ, ආරාධනා ගල, ඉදිකටු සෑය, කළුදිය පොකුණ, දාන ශාලාව, මහා සෑය, සන්නිපාත ශාලාව, ඇත් වෙහෙර මෙන් ම ඒ හා තදාසන්න ව පිහිටි ආරාමික නටබුන් විශාල ප්‍රමාණයක් ද, සංඝයා වහන්සේ සඳහා දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා කරන ලද ලෙන් 68ක නටබුන් වර්තමානයේ වුව ද දැකගත හැකිවීම විශේෂයකි. මෙම පුදබිමේ සෑම කඳු මුදුනක ම පාහේ දාගැබ් වහන්සේ ඉදි කිරීම නිසා චේතියගිරිය යන නම් ලැබීය. මිහින්තලා පුදබිමෙහි විසිරී ඇති නටබුන් අතර දාගැබ් 360ක පමණ නටබුන් හමු වෙයි. මිහින්තලා පුදබිමෙහි පිහිටි දාගැබ් අතරින් සැදැහැවතුන් අතර වඩාත් සම්භාවනාවට පත් වන්නේ සේල චෛත්‍යය යි. අනාගත කාලයේ සේල චෛත්‍ය පිහිටන බිම බුදුරජාණන් වහන්සේ තුන් වන ලංකාගමනයේ දී මද වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බව මහා වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කෘතිවල සඳහන් වෙයි. එමතු නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේ ම මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බැව් සැලකේ. එසේම මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා සම්මුඛ වී සුප්‍රකට අඹ ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විමසා ඉනික්බිති අනුබුදු මිහිඳු හිමියන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරන ලද ස්ථානය ද මෙම ස්ථානය වශයෙන් හඳුනා ගනී.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]