[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුංචි හාමුදුරුවන්ටත් ආදරය සෙනෙහස ඕනෑ - කුඩාපානේ ආනන්ද හිමි

පුංචි හාමුදුරුවන්ටත් ආදරය සෙනෙහස ඕනෑ - කුඩාපානේ ආනන්ද හිමි

පුංචි කාලෙ හාමුදුරුවන් වහන්සේ නමක් දකින හැම වෙලාවෙ ම මටත් මහණ වෙන්න හිතුණා. උන්වහන්සේලාගේ තැන්පත්කම මගේ හිතේ ඇඳිලයි තිබුණේ. තාත්තට මොන තරම් කරදර කළත් මහණ වෙන්න නම් අවසර ලැබුණේ නෑ. ඒ කාලේ මම හරිම දඟයි. අකීකරුයි. නංගිත් එක්ක හැමදාම රණ්ඩු. පොතක පතක වැඩ කළේ නෑ. මොන වෙලාවක අනතුරක් කර ගනියි ද කියලා තාත්තා බයෙන් හිටියේ.

දවසක් තාත්තට පුංචි අනතුරක් වෙලා බෙහෙත් කරන්න අනුරාධපුරේ ගියා. ත්‍රීවිල් එක ළඟටවත් යන්න එපා කියලා ගියත් මම වයර් ටික එහාට මෙහාට කරලා ත්‍රීවිල් එක අරන් ගියා. තාත්තා ගෙදර ආවේ දවස් තුනකින්. කරපු වැරැද්ද ආරංචි වුණා. හොඳටම දොස් කීවා. දඬුවම් ලැබුණා.

“මට මේ ගෙදර ඉන්න බෑ. මහණ වෙන්න යන්න ඕනෑ.”

මමත් එකට එක කීව්වා. මම ගෙදර හිටියොත් මොනවා හරි විනාශයක් කර ගනියි කියන බය තාත්තට තිබුණා. මහණ වෙලා හරි හැදෙයි කියලයි පැවිද්දට අවසර දුන්නේ.

ඒ කාලේ අපේ පන්තිභාරව හිටියේ අරියබන්ධු හාමුදුරුවෝ. තාත්තට උන්වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මහණ වෙන්න හොඳ පන්සල් දෙකක් තෝරා දුන්නේ උන්වහන්සේ. එකක් නුවර. අනෙක හක්මන කිරින්දේ්. ඒ පන්සලට කුඩාපානේ සිට විනාඩි හතළිස් පහකින් විතර යන්න පුළුවන්. පන්සලේ නායක හාමුදුරුවෝත් තාත්තගේ ගමේ. ඒ නිසා එතැන තෝරා ගත්තා.

එදා 2018 ඔක්තෝබර් මාසේ 20 වැනි දා සෙනසුරාදා දවසක්. අපි පන්සලට ගියා. අම්මයි, තාත්තයි, මමයි, නංගියි. පන්සලට ගිය ගමන් ‘තාත්තා’ කියන සංකල්පය අමතක කරනවා කියලා හිතාගෙනයි මම ගෙදරින් පිටත් වුණේ. තාත්තා ඉන්නවා. ඒත් බැඳීම අමතක කරනවා කියන කාරණය. ‘උපාසක මහත්තයා’ වගේ හැඟීමක්. ඒ වගේ තැනකට හිත හදාගෙන ගියේ. කිරින්ද පුහුල්ඇල්ලේ ඉසිපතන පිරිවෙනට. ‘පුතේ මහණකම ලේසි නෑ. අම්මයි, තාත්තයි ගියාට පස්සේ දුක දරා ගන්න අමාරු වෙයි.”

ලොකු හාමුදුරුවෝ මට ඇත්ත අවබෝධ කළා. ඒත් මට ප්‍රශ්නයක් නෑ. මම හිත හදාගෙනයි හිටියේ.

මාව පන්සලට භාර දීලා අම්මයි තාත්තයි ආවාසයේ දොර ළඟින් එළියට ගියා. මම ඇතුලේ. වෙන්වීමේ වේදනාව දැනුණේ ඒ වෙලාවෙ. මගේ පපුව දාලා ගියා වගේ. දරා ගන්න බෑ. මගේ ජීවිතේ තැන් කීපයක මම ඒ දේ අත්විඳලා තියෙනවා.

මට වගේම මේ වයසේ දී සමහර ළමයින්ට හිතෙනවා ගෙදරින් ගියොත් නිදහසේ ඉන්න පුළුවන් කියලා. අම්මා තාත්තගේ අවවාද, උපදෙස් කරදරයක් වගේ දැනෙනවා.

අම්මා, තාත්තා ළඟ ඉන්නකොට ඒ වටිනාකම තේරෙන්නෙ නෑ. මෙතනින් ගියා නම් හොඳයි, එළියෙ ලස්සන ලෝකයක් ඇති, මට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඒත් එක සම්පූර්ණයෙන් ම වැරැදි කල්පනාවක්.

මහණ වෙන්න මොනතරම් ආසාවක් තිබුණත් පන්සලේ ජීවිතේට හුරු වෙන්න අමාරුයි කියලා මට හිතුණා. ගෙදර වගේ නෙවෙයි. කෑම කන්න, පාඩම් කරන්න, රූපවාහිනිය බලන්න නියමිත වෙලාවක් තියෙනවා. උදේ පාන්දරින් නැඟිටින්න ඕනෑ. තාත්තා, නංගී මතක් වෙනවා. දරා ගන්න බෑ.

මම වෙහෙර වහන්සේ ළඟට ගියා. ඇස්වලින් කඳුළු වැටෙනවා. ‘ඇයි මේ විදිහට දරුවො මහණ කරන්නේ. මගේ කැමැත්තෙන් තමයි ආවේ. ඒත් එහෙම එන්න බැරිවෙන විදිහට නීතියක් හදන්න තිබුණා නේද? අනේ බුදු සාධු මම ගෙදර අයගෙ ආදරය නැතිව, ඒ අය දකින්නේ නැතිව ඉන්නේ කොහොම ද? මම බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා.

නොදන්නාකමටයි, දුක වැඩිකම යි මම ඒ විදියට දොස් කීවේ. ඒක වරදක් කියලා ඒ වෙලාවේ මට දැනුණේ නෑ. වෙහෙර වහන්සේ දිහා බලාගෙන මම හුඟක් වෙලා ඇඬුවා. කළුවරත් වැටෙනවා. ආවාසය පැත්තට ආවා. අතරමඟ දී මගේ සහෝදර හාමුදුරු නමක් මුණ ගැහුණා. කණුකැට්ගොඩ සරණදස්සි හාමුදුරුවෝ. මගේ වයසෙමයි. ඒත් මට වඩා බොහොම කලින් පැවිදි වුණේ. උන්වහන්සේට තේරුණා, මම අඬනවා කියලා. මඟේ ළඟට ඇවිත් කරුණාවෙන් කතා කළා. පැවිදි ජීවිතයේ වටිනාකම කියලා දුන්නා. මේ චීවරය දරාගෙන යන්න පුළුවන් දුර, ජීවිතයට ගන්න පුළුවන් දේ, ගෙදර හිටියොත් නොලැබෙන දේ හරිම ලස්සනට තේරුම් කරලා දුන්නා. මුලින් දරා ගන්න අමාරු බව ඇත්ත. ඒත් අපේ අම්මට, තාත්තට අපෙන් නොලැබුණ දේ දෙන්න පුළුවන් විදිහ, ඒ අයට සතුටක් ගෙනෙන විදිහ උන්වහන්සේ මට කියලා දුන්නා.

ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසා මට පැවිද්දෙ වටිනාකම තේරුණා.

ඒ වෙනකොට මම තාත්තට දෙන්න ලියුමක් ලියලා තිබුණේ. ‘තාත්තේ, මට පන්සලේ ඉන්න බෑ. ගෙදර එන්න ඕනෑ. මේ ලියුම දැක්කොත්, මහණවෙලා හිටියේ නැතිනම් ඉක්මනින් මාව එක්ක යන්න.’ කියලා. මම ඒ ලියුම ඉරලා විසි කළා. හිත හදා ගත්තා.

2018 දෙසැම්බර් මාසේ පැවිදි වුණා. ඒ ආ ගමන් මඟේ තමයි අද වන විට උතුම් චීවරයත් දරමින් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ ඉගෙන ගන්නේ.

ගෙදරින් එනකොට මට විශ්වවිද්‍යාලය හීනයක්. කතා කරන්නවත් බැරි විදිහේ මාතෘකාවක්.

පැවිදි ජීවිතේ පහසු නෑ. විවිධ ප්‍රශ්න එනවා. විශේෂයෙන් තරුණ හාමුදුරුවන්ට. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා තියෙන හාමුදුරුවරු ඉන්නවා. ඒත් දක්ෂතා එළියට දෙන්න බයයි. කවදා හෝ සිවුරු හැර යන්නට වුණොත් සමාජයට මුහුණ දෙන්නේ කොහොම ද කියලා.

මම ඉගෙන ගත්ත පිරිවෙනේ ආර්ථික අපහසුතා තියෙන පොඩි හාමුදුරුවරු බොහෝ දෙනෙක් හිටියා. දරුවෙක් පන්සලට එවන අදහස එන්නේ ආර්ථික ප්‍රශ්න සමඟ නම්, අම්මා තාත්තා එයට විසඳුමක් හොයනවා මිසක් දරුවගේ අනාගතය ගැන හිතනවා අඩුයි. එතැන දී තමයි මහණ කරවන්න ලොකුම පන්සල හොයන්නේ. පිළිවෙළක් නැති තැනකට යොමු කළොත් ඒ දරුවාට මහණකමේ අගය තේරෙන්නේ නෑ.

පුංචි හාමුදුරුවරු ආදරය ලබන්න කැමැතියි. උපාසක අම්මලා සෙල්ලම් බඩුවක්, චොක්ලට් එකක් දෙනකම් බලාගෙන ඉන්නේ. අවුරුදු 15 - 16 වෙන කොටත් ඒ ආදරේ හොයනවා වෙනස් විදිහට. ඇයි? චීවරයට ආවේ අනවබෝධයෙන් නිසා. නිවන ගැන අරමුණක් නැති නිසා. විශේෂයෙන් හොඳ ගුරු හාමුදුරුවන් වහන්සේ නමකගේ ඇසුරක් නොලැබීම නිසා.

මේ වගේ විවිධ ප්‍රශ්න නිසා ඉදිරිය ගැන යම් සැක සංකා මතු වෙනවා. මටත් ඒ වගේ සැකයක් තිබුණා. දවසක් ලොකු හාමුදුරුවෝ මට කතා කළා.

‘ආනන්ද, ඔබ අද ඉන්නේ සිවුරේ. දැන් ඔබ හාමුදුරු කෙනෙක්. සිවුරු හැර යනවා ද? සිවුරේ ඉන්නවා ද කියන එක අනාගතයේ තීරණය කරන දෙයක්. මේ වෙලාවේ හාමුදුරු කෙනෙක් විදිහට කරන්න පුළුවන් උපරිමය කරන්න. දෙන්න පුළුවන් උපරිමය දෙන්න.’ කියලා මගේ ලොකු හාමුදුරුවෝ මට අවවාද කළා.

අද මට ධර්ම දේශනාවක් නැති දවසක් නෑ. මම ඒ සියල්ල කරන්නේ අධ්‍යාපන කටයුතු කරන අතරෙමයි. අමාරුයි තමයි. ඒත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, සසර මඟ අසරණ මිනිසුන් වෙනුවෙන් මම මගේ උපරිමය කරනවා. ඒ තැනට මම ආවේ, මගේ ලොකු හාමුදුරුවෝ ඒ මඟ පෙන්වූ නිසයි. වර්තමානයේ හැම තරුණ හාමුදුරුවන් වහන්සේ නමකට ම එදා ලොකු හාමුදුරුවෝ මට දුන්න අවවාදය ඉතාම වටිනා සදූපදේශයක් කර ගන්නට පුළුවන්.

ඒ වගේ ම සිවුරට ගැළපෙන විදිහට ඉන්න බැරි නම්, විනයානුකූල ව කටයුතු කරන්න බැරි නම් චීවරය දැරීම සම්බුද්ධ ශාසනයට පිළිලයක්. විනයවත්, පැවැත්මක් ගෙන යන්න බැරි හාමුදුරුවරු ලක්ෂ ගණනක් හිටියත් වැඩක් නෑ. ධර්මය පිළිපදින සුළු පිරිසක් හිටියත් ඇති. මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අවුරුදු පන්දහසක් කල් පවතිනවා. එකිනෙකා විවේචනය කර ගනිමින් අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන්න. තමන් දරාගත් චීවරයේ ගෞරවය රැක ගන්න. මේ මොහොතේ තමන්ට පුළුවන් උපරිමය කරගන්න. එහෙම වුණොත් නරක ප්‍රවෘත්ති අහන්න, දකින්න, ලැබෙන්නේ නැති වෙයි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]