[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අසිරිමත් බුදු බණ අසා පහන් විය හෙළ දනන් හද

අසිරිමත් බුදු බණ අසා පහන් විය හෙළ දනන් හද

ලක්දිව යුගයෙන් යුගය නොයෙක් නම්වලින් හැඳින්විණි. මේ මහා භද්‍ර කල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ බුදුන් කල මේ රට ‘ඕජදීප’ නම් විය. එකල මෙහි මිනිස් වාසය තිබිණි. දෙවනුව පහළ වූ කෝණාගමන බුදුන් සමයෙහි ලක්දිව හැඳින්වූයේ ‘වරදීප’ නමිනි. එකල ද මෙය මිනිස් වාසයෙකි.

තුන්වැනිව පහළ වූ කාශ්‍යප බුදුන් දවස ද මිනිස් වාසයක් ව පැවති මෙරට ‘මණ්ඩදීප’ නම් විය. ‘ලංකාදීප’ යන නමින් මෙරට හැඳින්වූයේ අප ගෞතම බුදුන් දවස ය. එකල මෙය බිහිසුණු යකුන්ගේ වාස භූමියෙකි.

බුදුබව පතා පෙරුම් පිරූ අප මහ බෝසත් එක්තරා අවදියක වළාහක නම් අහස් ගමන් ඇති අසෙකු ව හිමවතෙහි ඉපිද සිටියේ ය. එකල ලක්දිවට කීවේ ‘තම්බපණ්ණි’ යන නාමය ය. තම්බපණ්ණි ද්වීපයෙහි තම්බපණ්ණි විල්තෙර සරුවට වැවී තිබූ හැල් වී අනුභවයට බෝසත් අශ්වයා වරින් වර පැමිණේ. වෙළෙඳාම් පිණිස මුහුදු ගමන් යන්නවුන්ගේ නැව් මෙරට ආසන්නයේ ආපදාවට ලක්වූ විට එහි මිනිස්සු ද මෙරටට වරින් වර ගොඩබැස්සෝ ය. වළාහක අශ්වයාත් එසේ ගොඩබට මිනිසුන් මෙහි යකුන්ට බොජුන් වීමට පෙර හැකිතාක් දෙනා සිය පිට මතින් යළි මිනිස් පියසෙකට රැගෙන යාමට අමතක නොකළේ ය.

අපගේ ශාස්තෘවර ගෞතම බුදුන් දවස ලක්දිව නමැති මෙරට මිනී මස් අනුභව කරන බිහිසුණු යකුන්ගෙන් පිරීගිය යක් බිමක් බව මැනවින් දුටු සේක. අනාගතයෙහි මේ ද්වීපය මිනිසුන්ට වාසභූමි කරනු වස් අප භාග්‍යවතුන් වහන්සේ පළමුව මෙහි වැඩම කොට පෙළහර දක්වා ඒ අති බිහිසුණු මනුෂ්‍ය ඝාතක යකුන් මෙරටින් බැහැර කොට මුහුද මැද පිහිටි වෙසමුණි දෙව්රජුට අයත් ‘ගිරි’ නම් දිවයිනෙහි රැඳවූ සේක. එසේම මෙරටෙහි වෙරළබඩ උතුරු බටහිර පෙදෙස්හි විමන් තනා වාසභූමි කරගත් භූත නාගයන් ද බුදුන් කෙරෙහි පැහැදවිය යුතු විය. එය ද අනාගත මිනිස් වාසයට පහසුව සදනු පිණිස ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දෙවනුව ද, තෙවනුව ද මෙරට වැඩම කොට මුළුමනින් ම මිනිස් වාසයට හිතකර පරිසරයක් ගොඩනැඟූ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සිදු වූ දා මෙරට ස්ථිර මිනිස් වාසයක ආරම්භය සිදු විය. විජය නම් රජ කුමරකු සත්සියයක පිරිවර සමඟ මෙරටට ගොඩබට දා සක් දෙවිඳුගේ අණින් ඔවුන්ට උපුල්වන් දෙවියන්ගේ රැකවල් නොලැබුණි නම් ඔවුන් ද කුවේණිය ඇතුළු යකුන්ට ගොදුරු වනු නිසැක ය. අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි විජය රජ කුමරා යක් උවදුර දුරුකොට මහාකාලසේන යක් රජුහුගේ යක් පළඳනා පැළඳ මෙලක්දිවෙහි ප්‍රථම නරදේවයා වීමට සමත් විය.

මිනිස් වාසය ක්‍රමයෙන් පැතිර ගොස් ලක්දිව පුරා තැන තැන අභිනව ජනපද පිහිටවිණි. කකුසඳ බුදුන් දවස ‘අභයපුර’ නම් වූ, කෝණාගමන බුදුන් සමයෙහි ‘වඩ්ඨමානකපුර’ නම් වූ, කසුප් බුදුන් සමයෙහි ‘විසල්පුර’ නම් වූ මේ අගනගරය අභිනව මිනිස් වාසයෙන් පසු ‘අනුරපුර’ නම් විය.

අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවනින් දෙසිය සතිස් වසක් ගත වූ එක් පොසොන් පොහෝ දිනෙක අනුරපුරට පෙරදිගින් දිස්වන මිස්සක පව්වට අලුතින් රජ පත් තිස්ස නම් නිරිඳා සිය පිරිවර හා දඩයමේ ගියේ ය. මිස්්සක පව්වට නැඟී නිරිඳාගේ නෙත් හමුවේ දිස්වූයේ තණ බුදිමින් සිටින මුවෙකි. නිරිඳා දුනුදිය පොළා මුවා කලබලයට පත් කැරවීය. වන වදුල අතරින් මුවා කඳු මුදුනට දිව යන කල්හි හඹාගියේ ය. සැණෙකින් මුවා ආගිය අතක් නොපෙනිණි. කවුදෝ කෙනකු ‘තිස්ස.. තිස්ස...’ යි තමාට නමින් අමතනු ඇසී රජ විස්මයට පත්විය.

‘ඕ... මේ ලක් දෙරණේ අධිපති රාජයා වන මා නමින් අමතන්ට තරම් ඔද තෙද ඇත්තා කවරෙක් දැයි සිතා වටපිට බැලීය. ඉදුණු නුගඵලයක පැහැය ගත් වතක් පොරවාගත්, හිස මුඩුකළ අයෙක් ගල මත සිටී. කවරෙක් ද මොහු? රන් පැහැගත් මනස්කාන්ත යොවුන් සිරුරක් ඇත්තෙකි. බබළන සුවිසල් නෙත් සඟල ය. අමුත්තා නිරිඳු දෙස දයාර්ද්‍ර බැල්මකින් යුතුව මෙසේ තෙපළේ ය.

‘මහරජුනි, ශ්‍රමණයෝ වෙමු

දම්රජහුගේ සව්වෝ ය.

තොප කෙරෙහි මැ වූ කරුණායෙන්

දඹදිව් සිට ආමු මෙහි’

මෙවදන් ඇසූ සැණින් තිස්ස නිරිඳුට සිහිපත් වූයේ සිය නුදුටු මිත්‍ර දඹදිව ධර්මාශෝක මහනිරිඳුන් විසින් තමාට එවන ලද හසුන්පත ය. එහි මෙසේ ලියා තිබුණි.

තිස්ස නරදේවයන්ට මෙය සිතුණි. ‘එසේ නම් මේ වනාහී දඹදිව දම්සෝ නිරිඳුන් කියූ දම්රජහුගේ සව්වෝ යැ. අපට ආගන්තුක පැවිදි උතුමෝ වනැ’ යි එකෙණෙහි දුනු හී බැහැර කොට තෙරිඳුන්ට ළංවැ වැඳ එකත්පස් වැ හිඳ පිළිසඳර දොඩන්ට වන. රාජපුරුෂයෝ ද වහා දිව අවුත් රජු පිරිවැරූහ. එසඳ මිහිඳු තෙරණුවෝ තමා හා කැටුව ආ අනෙක් සදෙනා ද දක්වාලූහ. මේ ශ්‍රමණවරු වැඩියෝ මෙහි කවදා ද?’

‘මහරජ, මා සමඟ ය.’

‘නුඹ වහන්සේ දඹදිව් සිට මෙහි වැඩියෝ කෙසේ ද?’

‘නරදේවයෙනි, දියෙනුත් නොවේ. ගොඩිනුත් නොවේ.’

‘හිමියනි, දඹදිව මෙවන් ශ්‍රමණවරු සිටිත් ද තව?’

‘එසේය නරදේවයෙනි, තව බොහෝ යැ. මෙකල දඹදිව කසාවතින් දිලේ.

ඉක්බිති භගවත් මුනිඳුගේ අසිරිමත් බුදුබණ වටහා ගැනුමට තිස්ස නිරිඳා සමත් වේ දැයි විමසා බලනු වස් මිහිඳු තෙරණුවෝ අසල තිබූ අඹ ගස පෙන්වා අඹ පැන විමසූහ. නිරිඳා බුහුටි ලෙස එය විසඳලීය. යළි නෑයන් ගැන ඇසූ කල්හි එය ද විසඳාලීය. ‘හෝ.... නරදේවයෙනි, තෙපි වහා වැටහෙන නැණැතියෙකි’යි පැසසූ මිහිඳු තෙරණුවෝ අප බුදුන් විසින් ලෝසත කෙරෙහි ළෙහි උපන් මහකුළුණින් වදාරන ලද සුවාසූ දහසක් මහ දම් කඳින් සුඟක් නගා ‘සුළු ඇත්පිය උවව‘ නම් සුතුර පහදා සොඳුරු ව බුදු බණ වදාළෝ. තිස්ස නිරිඳුහුගේ සිත බුදුන් කෙරෙහි ද, දහම කෙරෙහි ද, සව්වන් කෙරෙහි ද පහන් විය. පහන් වැ සිය පුරුෂයන් හා එක් වැ මිහිඳු තෙරුන් අබියස තෙරුවන් සරණ ගියෝ ය. එදා පටන් ලක්වැසි රජුන්ගේත්, ලක් දනන්ගේත්, මෙලොව පරලොව අභිවෘද්ධිදායක, මුල් මැ ගුරුදෙවි වූවෝ අප මහ මිහිඳු තෙරණුවෝ ය.

මෙතෙක් කල් යකුන් යකිනියන් උදෙසා දොළ පිදේනි බලි බිළි කෙළි පුද දෙමින් ආ යක් ඇදහිලි නැතිව ගොස් සුසිල්වත් භික්ෂු, භික්ෂුණීයන්ගෙන් ද උවසු, උවැසියන්ගෙන් ද මෙසිරිලක බැබළිණි. මහබෝ, දාගැබ් ඉදිවිනි. දනන් තුඩ තුඩ බුදුගුණ, දම්ගුණ, සඟගුණ රැව්දිනි. කසාවතින් බැබළිණි. මිහිඳු තෙරුන් රන් බඳුනක් වන් සිය ළයෙහි රුවාගෙන ආ සිංහතෙල් බඳු අසිරිමත් බුදු බණ ලක්බිම උපන් සිහල පුතුන්ගේ ළයෙහි රැඳැවිණි. ඔවුහු දහම වන පොත් කළහ. එදහම්හි හැසිර නිකෙලෙස් වූවෝ ලක්දිව රහතුන්ගෙන් පිරිණි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]