සම්මා කම්මන්න හා මිථ්‍යා කම්මන්ත

සම්මා කම්මන්න හා මිථ්‍යා කම්මන්ත

සකල ලෝක නායක අංගීරස ශාක්‍ය මුනීන්ද්‍ර දසබලධාරී තථාගත සර්වඥ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි වූ පතළ මහා කරුණාවෙන් වදාළ අන්තද්වයවර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙහි හතර වැනි මාර්ගාංගය නම් සම්මා කම්මන්තය යි.

ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහන් වන තැන සම්‍යග් කර්මාන්තය යැයි කියන්නේ කුමක් ද?

ප්‍රාණඝාතය, අදත්තාදානය යැයි කියන සොරකම, කාමයෙහි වරදවා හැසිරීම යන කයින් සිදුවන තෙවැදෑරුම් දුෂ්චරිත හා සමඟ, නො ඇලීමක් වේ ද සම්පත්ත, සමාදාන, සමුච්ඡේද යන ත්‍රිවිධාකාර වෙන් වීමක් වේ ද, සම්මා කම්මන්තය නමැති සීමාව වෙරළ බිඳ ඉක්ම නොයාමක් වේ ද, මිථ්‍යා කර්මාන්තය නමැති ඒදණ්ඩ, පාලම බිඳ, කඩා දමා ද යහපත් කර්මාන්තයෙහි හෙවත් ත්‍රිවිධ කාය සුචරිතයෙහි හැසිරෙත් ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හෙවත් ශාන්ත සීතල උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කිරීමට, දුක නැති කිරීමට යා යුතු මධ්‍යම ප්‍රතිපදාවෙහි අංගයක් වේ ද, එම දුක් ප්‍රහාණය කිරීමට පිළිපන් මාර්ගාංග සමඟ යෙදුණු අංගයක් වේ ද, එය සම්‍යග් කර්මාන්තය යි.

වේරමණී යන වැළැකීම සම්පත්ත, සමාදාන, සමුච්ඡේද යනුවෙන් තුන් ආකාර වේ.

සම්පත්ත විරති

සමාදන්වීමක් නැතිව තමන්ගේ ජාතිය, වයස, දැනමුතුකම, උසස් බව, බහුශ්‍රැත බව සලකා “මට මෙබඳු අයහපත් දෙයක් කිරීම නුසුදුසු යැයි සලකා වරදක් කිරීමට අවස්ථාවක් පැමිණි කල්හි එය නොකර හැරීම සම්පත්ත විරතිය යි.

මජ්ක්‍ධිම නිකාය අටුවාවේ සඳහන් ලක්දිව විසූ චක්කන නම් උපාසකයාගේ කතාව මීට මනා උදාහරණයකි.

සමාදාන විරති

සමාදාන විරති නම් සිකපද සමාදන් වීමේ දී හා ඉන්පසුව ද තමන්ගේ ජීවිතය ගැන ද නොසලකා පවින් වැළැකීමයි.

මජ්ක්‍ධිම නිකාය අටුවාවේ සඳහන් ලක්දිව උතුරු වඩුන්නාවේ ගොවියකුගේ කතාව මීට කදිම නිදසුනකි. අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්ඛිත මහා තෙරුන් වහන්සේගේ සමීපයෙහි පන්සිල් සමාදන් ව විසූ මෙම ගොවියා මහා සර්පයකු තමන් වෙළා ගත් අවස්ථාවක, අතැති තියුණු මුවහත් කැත්තෙන් සර්පයාගේ හිස සිඳ මරා දමා ගැලැවී යාමට සිතූ නමුත් “පිදිය යුතු උතුමකු සමීපයෙහි සමාදන් වූ සිකපද බි¼දීම මා වැන්නකුට නුසුදුසු වේ”යි සිතා එයින් වැළැකී කැත්ත කැලයට විසි කළේ ය.

එකෙනෙහි ම සර්පයා ද ඔහු හැර ගියේ ය.

සමුච්ඡේද විරති

සමුච්ඡේද විරති නම් ආර්ය මාර්ග සම්ප්‍රයුක්ත විරතිය යි. ආර්ය මාර්ග ඵල ප්‍රාප්ත උතුමන්ට ප්‍රාණඝාතාදී සිතිවිලි නැති කළ බැවින් එම සන්තානයේ ඇති එම විරති, ස්ථීර විරතියකි.

මිථ්‍යා කම්මන්තය

මිථ්‍යා කර්මාන්ත නම් ත්‍රිවිධ කාය දුෂ්චරිත වේ. එනම් ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාම මිථ්‍යාචාරය යි.

ප්‍රාණඝාතය

ප්‍රාණියකුගේ ප්‍රාණය හෙළීම පාණාතිපාතය යි. එයට ප්‍රාණවධය, ප්‍රාණඝාතය යැයි ද කියනු ලැබේ.

ප්‍රාණඝාතයක් වීමට අංග පසක් සම්පුර්ණ විය යුතුයි.

මෙහිදී ප්‍රාණඝාතය අකුසලය වීමට,

ප්‍රාණියෙක් වීම. (පණ ඇති සතකු වීම) ප්‍රාණියෙක් බව තමා දැන සිටීම, එම ප්‍රාණය නැති කිරීමට ඕනෑ ය යැයි සිතීම, ඒ සඳහා කරන උපක්‍රමය, එම උපක්‍රමාදියෙන් එම ප්‍රාණය නැති කිරීම, යන අංග පස පූරණය විය යුතුයි.

ප්‍රාණඝාතයේ විපාක ලෙස, ප්‍රතිසන්ධි දීම් ලෙස නරකයෙහි උපදවයි. තිරිසන් සත්ත්වයන් බවට පමුණුවයි. ප්‍රේත බවට පමුණුවයි. ප්‍රවෘත්ති විපාක හෙවත් ඉපදුණ පසු මරණය තෙක් රෝගාදී අන්තරායන් ඇති කරයි. අඩු ආයුෂ ඇත්තෙක් වෙයි.

සත්ත්ව ඝාතනයෙන් වෙන් වීමේ අනුසස්

මනාව පිහිටි අඟපසඟ ඇත්තකු වීම, ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්ත බව, ජවසම්පත්තියෙන් යුක්ත බව, මනාව පොළොවෙහි පිහිටන යටිපතුල් සහිත පාද, රන්වන් පාට සිරුරක් ඇත්තකු වීම, මෘදු මොළොක් සිරුරක් ඇත්තකු වීම, නිර්මල පිරිසිදු පැවැතුම් ඇත්තකු වීම, සූර ගති ඇත්තකු වීම, මහත් බල ඇත්තකු වීම, නොපැකිළ කිව හැකි වචන ඇත්තකු වීම, ලෝක සත්ත්වයන්ට ප්‍රියමනාප පුද්ගලයකු වීම, පහ කළ දොස් ඇත්තකු වීම, කෙනකුට කේලාම් කියා බිඳවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම, තැති නොගත් අයකු වීම, විනාශ කළ නොහැකි උතුමකු වීම, පරඋපක්‍රමවලින් අකල් මරණයට පත් නොවන බව, ප්‍රමාණ කළ නොහැකි පරිවාර සම්පත් ඇති බව, සුරූපී පුද්ගලයකු වීම, මනා සටහන් ඇත්තකු වීම, අල්ප ආබාධ ඇත්තකු වීම, ශෝක නොකරන්නකු වීම, ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන් වීමට සිදු නොවීම, දීර්ඝායුෂ ලබන්නකු වීම.

අදින්නාදානය

නුදුන් දෙය සොර සිතින් ගැනීම අදින්නාදානය යි. පරසන්නතක දෙය සොරා ගැනීම, සඟවා ගැනීම සොරකම් කිරීම යැයි ද කියනු ලැබේ. මෙහි අදින්න යනු නො දුන් වස්තුවයි.

අදත්තාදාන දුෂ්චරිතය සම්පුර්ණ වීමට ද අංග පහක් සම්පූර්ණ විය යුතු ය.

මෙහි අදත්තාදානය අකුසලය වීමට, අනුන් සතු වස්තුවක් වීම, එම වස්තුව අනුන්ගේ බව තමා දැන සිටීම, සොරකම් කරමි යි යන සිත, ඒ සඳහා උපක්‍රමය, එයින් නුදුන් දෙය පැහැර ගැනීම.

අදත්තාදානයේ විපාක වශයෙන් නරකය, තිරිසන්, ප්‍රේත බවට පමුණුවයි. සොරකම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා දඬුමුගුරු ආයුධවලින් පහර ලබති.

අදත්තාදානයෙන් වෙන් වීමේ අනුසස්

මහා ධනවතකු වීම, බොහෝ ධන ධාන්‍ය (ලබන්නකු වීම), අනන්ත අපරිමාණ භෝග සම්පත් ඇත්තකු වීම, නූපන් වස්තුව උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තකු වීම, ඇත්තා වූ භෝග රැක ගැනීමේ වාසනාව, කැමති යම් වස්තුවක් වේ ද, එය වහා ලබා ගන්නකු වීම, රජ සොර ගිනි ජල අප්‍රිය දරුවන්ට සාධාරණ නොවූ විනාශ කළ නොහැකි වස්තුව ඇති වීම, අන් අයට සාධාරණ නොවූ ධනය ලැබීම, ලෝකයේ උත්තමයකු බවට පත් වීම, නැත යන වචනය නො අසන්නකු වීම, සැප විහරණ ඇත්තකු වීම.

කාම මිථ්‍යාචාරය

කාමෙසු මිච්ඡාචාර යන්නෙහි කාමෙසු යනු මෛථුන සමාචාරය යි. එනම් ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්ව කාමයෙහි හැසිරීමයි. ඒකාන්තයෙන් නින්දිත වූ, ලාමක, පහත් හැසිරීම කාම මිථ්‍යාචාරය යි.

මෙම කාමයෙහි වරදවා හැසිරීම අකුසලය සම්පුර්ණ වීමට අංග සතරක් සම්පුර්ණ විය යුතුයි.

නොයෑ යුතු වස්තුවක් වීම, ඔවුන් කෙරෙහි කාම සේවන සිත, කාමසේවනයට කරන ප්‍රයෝග, සේවනය ඉවසීම.

කාම මිථ්‍යාචාරයේ විපාක ලෙස මෙලොව දී නින්දාවට භාජනය වෙයි, සිරගෙයි වැටීමට ද සිදු වෙයි. මරණින් මතු නරකය තිරිසන් ප්‍රේත බවට ද පමුණුවයි. මිනිසත් බව ලැබූ කල්හි නපුංසක බවට පැමිණේ. ජනයාට අප්‍රිය වෙති. රෝගීහු වෙති.

බ්‍රහ්මචරියාවේ අනුසස්

සතුරන් නැත්තකු වීම, සියලු ජනතාව ප්‍රිය කරන්නකු වීම, ආහාරපාන, ඇඳුම් පැළැඳුම් ඇඳ පුටු, ඉඳුම් හිටුම් කිසි, අඩුපාඩුවක් නැතිව ලැබීම, සැප සේ නින්ද යාම, සැප සේ අවදි වීම, අපාය බිය නැත්තකු වීම, ස්ත්‍රී බව හෝ නපුංසක බව ආදී අභව්‍ය තත්ත්වයන්ට කිසි කලෙක පත් නොවේ.

ක්‍රෝධය අඩු පුද්ගලයකු වීම, ඒ ඒ දෙය පරීක්ෂා කරන්නකු වීම, සැක බිය නිසා බිම බලා ගෙන සිටින්නකු නොවීම, ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇති බව, පිරිපුන් ලක්ෂණ ඇති බව, සැක නැති පුද්ගලයකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය සැප විහරණ ඇත්තකු වීම, කුමන දෙයක් නිසා වත් කිසි තැනක දී බිය නොවන්නකු වීම, ප්‍රියයන්ගෙන් වෙන් නො වන්නකු වීම කරුණු මෙසේ හෙයින් මිථ්‍යා කර්මාන්තයෙන් වෙන්ව සම්මා කර්මාන්තයෙහි යෙදීී මෙලොව සැප, පරලොව සුගතිය හා ආර්ය මාර්ගාවබෝධය කර ගැනීමේ අදහසින් යහපත් කර්ම සපුරා උතුම් ලොවුතුරා සැපය වන ශාන්ති ලක්ෂණ නිර්වාණාවබෝධය සලසා ගනිමු යැයි අපි අධිෂ්ඨාන කර ගනිමු.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]