[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක පෝ දා 2026-06-21

සිත පිරිසිදු කරමු

 

මේ ජීවිතයේ පමණක් නොව සසර පුරා ද අප විඳින අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ඇතුළු ප්‍රශ්න ගැටලු සියල්ල තීරණය වන්නේ අන් කෙනකු මත නොවේ. තමන්ගේ ම සිතිවිලි හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අනුව ය. සිත රැක ගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය. සියලු සම්බුදුවරුන් වහන්සේගේ අනුශාසනාව වන්නේ,

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානු සාසනං”

සියලු අකුසල් දුරු කරන්න. කුසල් සම්පාදනය කරන්න. සිත පිරිසුදු කරන්න යන්නයි. අප සම්බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් ගිහියන්ට දේශනා කොට වදාළ පංචශීල ප්‍රතිපදාව තුළ පදනම දෙන්නේ කුසල සම්පාදනයට යි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතිවිල්ල ම පිරිසිදු ය. තවත් ජීවියකුගේ ප්‍රාණය උදුරා නොගැනීම, ජීවිතය ආරක්ෂා කිරීම, සමස්ත සත්ත්ව ප්‍රජාව කෙරෙහි සිතෙහි උපදින මෛත්‍රිය, කරුණාව, දයාව සිත ම සුවපත් කරයි. අනුන්ගේ දෙයට ආශා නොකිරීම, අන්‍ය වස්තූන් සොර සිතින් නොගැනීම තුළ සිදුවන්නේ කාගේ හෝ දේපළ වස්තුව සුරක්ෂිත වීමයි. අන්‍ය වස්තූන් තමන් සතු කර ගැනීමට සිත් පහළවන්නේ තෘෂ්ණාව නිසයි. ආශාව, ලෝභය නැති සිත පිරිසුදු ය.

රාගී සිතිවිලි පාලනය කර ගත නොහී කාමය වරදවා හැසිරීම තුළ තමන්ට සේ ම සමාජයට ම ඇති කරන බලපෑම නින්දා සහගත ය. රාගය පහකළ සිත පිරිසිදු ය.

බොරුව තුළ වන විනාශය ඇතැම් විටෙක කාගේ හෝ ජීවිතයක් අහිමි කරන්නට වුව ද දුරදිග යා හැකි ය. අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස පාරමී දම් පිරූ සසර මඟ කිසිදාක බොරුවක් නොකී බව උන්වහන්සේ ම දේශනා කොට වදාළහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ බොරු කියන්නාට නොකළ හැකි පාපයක් නැති බව ය. බෞද්ධයන් ලෙස කෙනකුට බොරුවක් නොකියා ආරක්ෂා විය හැකි නම් ඒ චරිතයට ලැබෙන පිරිසිදු බව මහත් ය.

මදයට, ප්‍රමාදයට හේතු වන සුරාව නිසා අපවිත්‍ර වූ සිතින් කෙනකු සිදුකර ගන්නා විනාශය තමන්ට, පවුලේ සාමාජිකයන්ට පමණක් නොව සමස්ත සමාජයට ම බලපාන්නකි.

මෙසේ පංචශීල ප්‍රතිපදාව ජීවිතය රකින, සිත රකින අපූර්ව ශික්ෂා මාර්ගයකි. මේ සිල්පද ආරක්ෂා කර ගත නොහැකි නම් කෙනකුට නිවන් මඟට පිවිසිය නොහැකි ය.

ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූල ප්‍රධාන කොටගත් සියලු පාපී අකුසල දුරුකිරීම, අලෝභ, අද්වේෂ, අමෝහ කුසල මූල ප්‍රධාන කොටගත් කුසල සම්පාදනය කිරීම ජීවිතය ආධ්‍යාත්මික ගුණධර්ම තුළ ඔසවා තබයි.

අප අතින් බොහෝ වැරැදි, අයහපත් දේ, පව්, අකුසල සිදුවන්නේ සිත මනාකොට පිහිටුවා නොගැනීම නිසා ය. බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය විය යුතු උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමයි. පිහිටුවා නොගත් සිතට ඒ උතුම් පරමාර්ථයට ළඟාවිය නොහැකි ය. සිත දමනය කර ගැනීම, සිහිය පුරුදු කිරීම අත්‍යවශ්‍ය ය. සම්බුද්ධ දේශනාව අනුව යමින්, ඒ උතුම් තැනට පත්වීමට සිත පුරුදු කරමු.

පොසොන් පුර අටවක

ජුනි 21 ඉරිදා අ.භා. 03.28න්
පුර අටවක ලබා 22 සඳුදා
අ.භා. 03.46න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]