|
චෝදනා හමුවේ නොසැලෙන බෞද්ධ ප්‍රතිපදාව
සද්ධර්මකීර්ති
ශ්‍රී ශාසනමාමක ශාසනතිලක
එම්.ඒ. විශ්ව වංශනාත
වර්තමාන සමාජයීය වටපිටාව තුළ භික්ෂූන් වහන්සේ විවිධ චෝදනාවලට ලක්වීම සහ සිවිල්
නීතිය හමුවේ වැරැදිකරුවන් බවට පත්වීම අසන්නට ලැබෙන කරුණකි. මෙය බුද්ධ ශාසනයේ
චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන ගිහි සහ පැවිදි දෙපක්ෂය තුළම බුදුසමය කෙරෙහි දැඩි
කම්පනයක් ඇති කරවන සුළු ය. විවිධ ගිහි සහ පැවිදි පාර්ශ්ව කණ්ඩායම් සෑදී තම තමන්ගේ
මත සමාජගත කරමින් චෝදනාවලට ලක් වූ පාර්ශ්ව හා වින්දිත පාර්ශ්ව උදෙසා පෙනී සිටිනු
පෙනේ.
ශාසනය රැක ගැනීම යනු පුද්ගලයන් රැක ගැනීම නොව, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්මය
සහ විනය ආරක්ෂා කර ගැනීමයි. බුදු දහම යනු හුදෙක් ආගමක් පමණක් නොව, එය පුද්ගල විනය
සහ සමාජ පාලනය පිළිබඳ ගැඹුරින් විස්තර කර ඇති දේශනාවකි.
බුදු දහම අනුව නීතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. පළමුවැන්න ධර්ම
නීතිය (කර්ම නියමය) යි. මෙය ධර්මානුකූල ව ක්‍රියාත්මක වන ස්වාභාව ධර්මයේ නීතිය යි.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුදු වදනට අනුව පුද්ගලයකු කරන හොඳ හෝ නරක හෝ
ක්‍රියාවල ප්‍රතිඵලය නියත වශයෙන් ම ඔහු පසුපස හඹා එන බව මෙම ධර්මතා නීතිය යි.
දෙවැන්න විනය නීතිය ප්‍රඥප්ති යි. මෙය භික්ෂු සමාජයේ පැවැත්ම උදෙසා බුදුරජාණන්
වහන්සේ විසින් පනවන ලද නීති පද්ධතිය යි. බුද්ධ ශාසනය තුළ ප්‍රවෘජාව ලබන්නකු මේ කියන
විනය නීති පද්ධතියට ද, රටේ පවතින රාජ්‍ය නීතියට ද යටත් වේ.
බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් රාජ්‍ය නීතියට ඉහළින් කටයුතු කිරීමට භික්ෂූන්
වහන්සේට අවසර දුන්නේ නැත. මහා වග්ග පාලියේ සඳහන් වන පරිදි, “අනුජානාමි භික්ඛවේ
රාජූනං අනුවත්තිතුං”
මහණෙනි, රජුන්ගේ නීතියට අනුකූල ව කටයුතු කිරීමට මම අනුදනිමි. යනුවෙන් බුදුරජාණන්
වහන්සේ වදාරා ඇත. මෙයින් පැහැදිලි වන්නේ භික්ෂුවක් වුව ද රටේ පොදු නීතියට යටත් විය
යුතු බවයි. බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ “විනයෝ නාම සාසනස්ස ආයු” විනය යනු
ශාසනයේ ආයුෂ යැයි යන පදනම මත ය.
භික්ෂූන් වහන්සේ සඳහා පනවා ඇති ප්‍රධාන විනය නීති කොටස් තුනක් ඔස්සේ වෙන්කර හඳුනාගත
හැකි ය. පාරාජිකා ලෙස හඳුන්වන්නේ මින් පළමු කොටස යි. මෙහි ප්‍රධාන විනය විරෝධී
කාරණා හතරක් සඳහන් කර ඇති අතර, එම වැරැදි හතරෙන් එකක් හෝ සිදුකිරීම භික්ෂුභාවය
අහෝසි වීමට හේතු වේ. මෙම සතර පාරාජිකාව නම් මෛථුන සේවනය, සොරකම, මිනිස් ඝාතනය සහ
තමන් තුළ නොමැති ධ්‍යාන, මාර්ගඵල ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇති බවට බොරු කීමයි.
දෙවැනි කොටස සංඝාදිසේස නම් වේ. නිවැරැදි කරගත හැකි නමුත් දැඩි දඬුවම් විඳීය යුතු
වැරැදි දහතුනක් (තෙළෙසක්) මෙහි ඇතුළත් ව ඇත. තුන්වන කොටස පාචිත්තිය හා සෙඛියා සික
පද වේ. මෙම පචිති ඇවැත් සිදු වූ විට එම වරද ප්‍රකාශ කිරීමෙන් හා යළි සමාදන් වීමෙන්
පිරිසිදු වීමට හැකි බව විනය තුළ දේශනා කර ඇත. බොරු කීම, මත්පැන් පානය, අනුන්ගේ දේ
සොරකම් කිරීම, සුදුසු නොවන ආකාරයට හැසිරීම වැනි වැරැදි මීට අයත් වේ.
දෛනික පැවැත්මේ දී භික්ෂූන් කටයුතු කළ යුතු ආකාරය අයත් සිකපද සේඛියා ගණයට අයත් වේ.
සේඛියා භික්ෂුවගේ බාහිර හැසිරීම හා විනය සකස් කර ගැනීමට උදව් වන මූලික ශික්ෂාවක්
ලෙස හැඳීන්වේ.
යම් භික්ෂුවක් රටේ සිවිල් නීතිය කඩ කරන්නේ නම්, උන්වහන්සේ බොහෝ විට බුදුරජාණන්
වහන්සේ පැනවූ විනය නීති ද උල්ලංඝනය කර අවසාන ය. උදාහරණයක් ලෙස, සොරකමක් හෝ
මිනීමැරුමක් හෝ සම්බන්ධයෙන් ලෞකික නීතියෙන් දඬුවම් ලබන භික්ෂුව, ශාසනික නීතියට අනුව
ඒ මොහොතේ ම පාරාජිකා වී අවසන් ය.
වර්තමානයේ පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ පුද්ගලයකු කරන වරදක් සමස්ත ශාසනයේ වරදක්
ලෙස දැකීමයි. නීතිය ද, ශාසනය ද යන දෙක ම නො දන්නා ඇතැම් අය මේ දෙක පටලවා ගනිමින්
කටයුතු කරනා ආකාරය ද, සමහරු නූගත්කම හෝ ශාසනයට හෝ යම් හානියක් කිරීම අරමුණු කරගෙන
හෝ ඕනෑකමින් ම මෙය සිදුකරනු ද දැකිය හැකි ය. මෙය වළක්වා ගැනීමට බෞද්ධ සමාජය
ප්‍රඥාගෝචර ව ක්‍රියා කළ යුතු ය.
වරදක් කරන්නේ පුද්ගලයෙකි. එම පුද්ගලයා බුද්ධ ශාසනය තුළ සිවුරක් දරා සිටිය ද, ඔහු
කරනු ලබන වැරැදි ක්‍රියාව බුද්ධ ශාසනය තුළ අනුමැතිය ලත් දෙයක් නොවේ. එබැවින්
වරදකරුට දඬුවම් දීම හෝ විවේචනය හෝ ශාසනයට කරන අපහාසයක් ලෙස නොදැකිය යුතු ය.
භික්ෂුවක් වුව ද වරදක් කළ විට, එය විනයානුකූල ව සංඝ සභා මඟින් මෙන් ම , සිවිල්
නීතියට අනුව අධිකරණය මඟින් ද විමර්ශනය විය යුතු ය. “සිවුර” දඬුවමින් බේරීමට
පාවිච්චි කරන පලිහක් ලෙස බෞද්ධ සමාජය විසින් ම හුවා නොදැක්විය යුතු ය. බුදු දහමට
අනුව ඕනෑම ප්‍රශ්නයක දී මධ්‍යස්ථ ව (උපේක්ෂාවෙන්) බැලීම වැදගත් ය. ආවේගශීලී නොවී,
කරුණු විමසා බලා සත්‍ය තේරුම් ගැනීම බෞද්ධයාගේ ලක්ෂණය යි.
සමාජ මාධ්‍ය සහ අනෙකුත් නාලිකා ඔස්සේ භික්ෂූන් වහන්සේට සහ ශාසනයට එල්ල වන ප්‍රහාර
හමුවේ බෞද්ධයන් ලෙස අප කටයුතු කළයුත්තේ ඉතා බුද්ධිමත් ලෙසයි. “අක්කෝධේන ජිනේ කෝධං -
අසාධුං සාධුනා ජිනේ”
ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද දිනිය යුතු ය. ලෙස
ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ සඳහන් ව ඇත. බුදුරජාණන් වහන්සේට “මාගන්දියා” වැනි අය අපහාස
කළ අවස්ථාවේ උන්වහන්සේ දැක්වූයේ අසීමිත ඉවසීමකි. නිරපරාදේ කරන චෝදනා හමුවේ කලබල
නොවී, සත්‍ය හෙළිවන තෙක් ඉවසීම උතුම් ගුණයකි. ශාසනයට වන අපහාස වැළැක්වීමට ඇති හොඳම
ක්‍රමය නම්, ගිහි අප දැහැමි ජීවිත ගත කරමින් සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේට ඇප
උපස්ථාන කිරීමයි. දුසිල්වත් භික්ෂූන් පිළිබඳ කළකිරී මුළු ශාසනය ම ප්‍රතික්ෂේප
කිරීම, ස්නානය කළ පසු අපිරිසිදු ජලය සමඟ දරුවා විසි කිරීම වැනි අනුවණ ක්‍රියාවකි.
එමෙන් ම වැරැදි තොරතුරු පතුරුවන අවස්ථාවල දී, සත්‍ය කුමක්දැයි මූලාශ්‍ර සහිත ව
පෙන්වා දීම බෞද්ධයාගේ වගකීමකි.
බුද්ධ ශාසනය පවතින්නේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම ගුණධර්ම මත ය. භික්ෂූන් වහන්සේ
නීතිය හමුවේ වරදකරුවන් හෝ සැකකරුවන් වීම හෝ ශාසනික පිරිහීමක ලක්ෂණයක් වුව ද, එය
සමස්ත දහමේ වරදක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි “ධම්මෝ හවේ රක්ඛති
ධම්මචාරී“ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම රකිනු ලබන්නේ ය. එබැවින්, පුද්ගල
දුබලතා දෙස උපේක්ෂාවෙන් බලා, නීතියට එහි කාර්යය කිරීමට ඉඩ දී, බුදු දහමේ සැබෑ හරය
ආරක්ෂා කර ගැනීමට සැම දෙනා ම අත්වැල් බැඳගත යුතු ය. චෝදනා හමුවේ කම්පා නොවී, විනය
ගරුක ශාසනයක් උදෙසා ගිහි පාර්ශවය ලෙස දිය හැකි උපරිම සහයෝගය ලබා දීම කාලීන
අවශ්‍යතාවයකි. |