සුපසන් වදන් උපදින්නේ
සුවපත් සිතකයි
ශාස්ත්‍රපති
බොරලුගොඩ ඉන්දරතන හිමි
මිනිසුන් හොඳට මෙන්ම නරකට ද තම කට භාවිත කරති.
හොඳට නරකට දෙකට කටමය යැයි පැරැන්නෝ කීහ.
මහනෙල් සුවඳ ම ය
කුඩමසු පිළී ගඳ ම ය
දෙකට එක විල ම ය
කට අයහපතට යොදාගන්නා පුද්ගලයා එමඟින් බොරුව, පරුෂ වචන, කේලාම්, හිස් වචන සමාජගත
කරයි. එය ඔහුගේ පරිහානියටත්, සමාජයේ ව්‍යසනයටත් හේතු වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ
මිනිසා කටේ කෙටේරියක් ද සමඟ උපදින බවයි. (කුඨාරි ඡායතේ මුඛේ) කෙටේරිය භයානක
ආයුධයකි. එය භාවිත කරන්නේ මිනිසුන්ට සහ සතුන්ට පහර දීමට යි. නපුරු වචනය ද එම ආයුධය
මෙන් භයානක ය.
බොරු කියන්නෝ අනුන් රවටති, වංචා කරති. මුළාවේ දමා මහත් විපත්වලට ලක් කරති. නපුරු
වචන කතා කරන අය අනුන්ගේ සිත් දූෂ්‍ය කරති. ක්‍රෝධය, වෛරය සමාජය පුරා වපුරති. තමා ද
විනාශ වී අනුන් ද විනාශයට පත්කරති. කේලාම් කීම ද සමාජ ව්‍යසනයකි. තමාගේ රුචි
අරුචිකම් අනුව කේළාම් කියමින් සමාජය පුරා අසමඟිය පතුරවන අය එමඟින් මහත් සමාජ
ව්‍යසනයක් ඇති කරති. තමාටත් අන්‍යයන්ටත් කිසිදු ප්‍රයෝජනයක් නො වන හිස් වචන කතා කරන
පුද්ගලයා තමන්ගේත්, අන්‍යයන්ගේත් වටිනා කාලය විනාශ කර දමයි. ඔහු පෞද්ගලිකවත්,
සමාජමය වශයෙනුත් තම ජීවිතය පිරිහීමට පත්කර ගනී.
දුර්භාෂිත වදන් පවසන පුද්ගල මනස අතිශයින් අපවිත්‍ර ය, දූෂිත ය, කෙලෙස්වලින් යුක්ත
ය. ක්‍රෝධය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය වැනි අපවිත්‍ර මනසින් ඔහු සමාජය
ආමන්ත්‍රණය කරයි. එසේ නරක නපුරු වදනින් සිල්වත් ගුණවත් උතුමන්ට අපහාස කළ පුද්ගලයා
ප්‍රේත ලෝකවල ඉපිද බොහෝ අවාසනාවන්ත දුක් විඳී බවට නිදසුන් ප්‍රේත වස්තුවේ දක්නට ඇත.
මෙලොවදී ම ප්‍රතිවිපාක දෙන අවස්ථා ද නැතුවා නොවේ.
බුදුරජාණන් වහන්සේ දුර්භාෂිතය සපුරා ම ප්‍රතික්ෂේප කළහ. නිරන්තරයෙන් ම උපදෙස්
දුන්නේ සුභාෂිත වදනටය.
කනට මිහිරි, හෘදයාංගම මුදු වචන භාවිත කරන්නා සමාජයේ ගෞරවයට පාත්‍ර වෙයි. ඔහු ඇසුරු
කරන්නට බොහෝ දෙනා ප්‍රිය කරයි. ජනප්‍රිය පුද්ගලයෙක් වෙයි. බුදුරජාණන් වහන්සේ තම
ශ්‍රාවක පිරිසට දේශනා කළේ මෙලොව පරලොව දෙලොව ම ප්‍රයෝජනවත් වචන භාවිත කරන ලෙස ය.
දුර්භාෂිත පුද්ගලයා ගිහි වේවා
පැවිද්දෙක් වේවා සමාජයේ පිළිකුලට භාජනය වෙයි. යහපත් සදාචාර සම්පන්න මිනිසුන් වෙතින්
ඔවුහු ප්‍රතික්ෂේප වෙති. කිසිවෙක් එවැන්නන්ගේ ප්‍රකාශ විශ්වාස නො කරති.
අනුන් රවටන වදනක් හෝ අන් සිත් පාරවන වචනයක් හෝ අනුන්ගේ සබඳකම්, හිත මිතුරු සබඳතා
කඩා බිඳ දමන වදනක් හෝ තමාට හෝ අසන්නාට කිසිදු ප්‍රයෝජනයක් නැති නිෂ්ඵල වදන් හෝ
කිසිදු අවස්ථාවක මුවින් පිට නො කරන්නට වග බලා ගන්නේ නම් එය මහත් වූ සමාජ සත්කාරයකි.
තමන්ගේ ද මෙලොව පරලොව හිතසුව සඳහා ම වන්නේ ය. |