[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසළොස්වක පෝ දා 2026-04-01

සුවඳවත් ජීවිතය


බුද්ධ කාලීන භාරතයේ මාගන්ධියා නම් තරුණියක් විය. ඇය අතිශය සුරූපී ය. රූපය නිසා ම උඩඟු සිත් ඇත්තී ය. පිය බමුණා තම දියණියට සුදුසු ස්වාමිපුරුෂයකු සෙවීමේ වෙහෙසුණේ ය. දිනක් සම්බුදු සිරිපා සටහන් දැක ඒ අනුව පැමිණ සම්බුද්ධ රශ්මි මාලාවෙන් බබළන අප තථාගතයන් වහන්සේ දුටුවහ. මාගන්ධියා දියණිය ද සමඟ උන්වහන්සේ වෙත පැමිණ ඇය විවාහ කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

“බමුණ, පිටත අලංකාර සිතුවමින් ඔප කළ වර්ණවත් කළයක් තිබේ. එය අතිශයින් සිත්ගන්නා සුළු ය. එහෙත් ඇතුළ අසූචියෙන් පිරී තිබේ. යම් කෙනෙක් එය පිළිගන්වන්නේ නම් ඔබ එය භාර ගන්නවා ද?” යි බුදුරජාණන් වහන්සේ විමසූහ.

“ස්වාමීන් වහන්ස, නොවේ ම ය. කිසිසේත් භාරගත නොහැකි ය.” බමුණා කීවේ ය. “එසේ නම් බමුණ, මැටියෙන් තැනූ කළයක් ද තිබේ. එහි ඇතුළත රනින් පුරවා ඇත. එය භාර ගන්නේද?” බුදු හිමියෝ නැවත විමසූහ.

“එසේ ය ස්වාමීන් වහන්ස, සතුටින් පිළිගනිමි.” බමුණා කීවේ ය.

“ඉතින් බමුණ, ඔබගේ රූමත් දියණියත් පෙර කී අසූචි කළය වගේ ය. ඔබ අසූචි පිරවූ කළය භාර ගන්නට අකැමැති ය. එසේනම් පිටතින් ලස්සන, අභ්‍යන්තරයෙන් දුර්ගන්ධය හමන ඔබගේ දූ කුමරිය භාරගන්නේ කෙසේදැයි තථාගතයන් වහන්සේ බමුණාගෙන් විමසූහ.

මෙහිදී මාගන්ධිය බමුණාත්, බැමිණියත් සත්‍ය ධර්මය අවබෝධ කොට ගත්හ. එහෙත් රූප මදයෙන් මත් වූ මාගන්ධියා තරුණිය සිය රූපයට නින්දා අපහාස කළේ යැයි තථාගතයන් වහන්සේට වෛර බැන්දාය. උන්වහන්සේට බොහෝ නින්දා අපහාස කළා ය. අනුන් ලවා ද එසේ කරන්නට කටයුතු කළා ය.

මේ අසූචි කළ සහ රන් කළ පිළිබඳ කතාව දුසිල්වත්කම සහ සුසිල්වත්කම පිළිබඳ සංකේතයකි. දුසිල්වතා යනු කාය, වාග් සංවරය නොමැත්තා ය. හේ අසූචි කළයක් වැනි ය. සුසිල්වතා කාය, වාග් සංවරයෙන් පොහොසත් ය. රන් පිරවූ කළයක් වැනි ය. එදා බුද්ධ කාලීන භාරතයේ සේ ම අද අප ජීවත්වන සමාජ පරිසරයේ ද මේ අසූචි පිරවූ කළ සහ රන් පිරවූ කළ දකින්නට ලැබේ.

සමාජය පිරිහෙන්නේ දුරාචාරය නිසා ය. දියුණුවට, සුවපත් භාවයට පත්වන්නේ ශීලාචාරය නිසා ය. අද අපි මුහුණ දෙමින් සිටින්නේ කවර සමාජ පරිසරයකට ද, එය මේ ශීලාචාර බවේ සහ අශීලාචාර බවේ ප්‍රමාණය අනුව තීරණය වූවක් බව පුංචි දරුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ම සිතට ගත යුතු ව තිබේ. එය වර්තමානය සේ ම අනාගතය ද ඉහළින් ඔසවා තැබීමේ එක ම මඟ ය.

පළමුව සියල්ල අනියත බව පිළිගත යුතු ය. ඕනෑම බලවතකුට, ධනවතකුට සේ ම ඕනෑම අසරණයකුට ද මේ ජීවිතය කවර මොහොතක හෝ හැර යන්නට සිදුවනු ඇත. එය කිසිවකුටත් මඟ හැර යා නොහැකි ය. එවැනි අස්ථිර ජීවිතයක ගෙවන ස්වල්ප මොහොත ලෝභය, ද්වේෂය, මෝහය වර්ධනය කරමින් යන ගමන දුර්ගන්ධවත් ම ය. පිළිකුල් ය. කිසිවෙක් අගය නො කරන්නේ ය. තරහව, වෛරය, බල ලෝභය, ධන තණ්හාව වැඩෙන තරමට ඒ පුද්ගලයා වෙතින් හමන්නේ දුර්ගන්ධය යි. මාන්නය, උඩඟුකම, ඊර්ෂ්‍යාව, පළිගැනීම, පරුෂ වචන, කේළම ආදී මේ සියලු අවගුණ දුර්ගන්ධවත් ය. ඒ තුළ කිසිවකුට පංචශීලය හෝ ආරක්ෂා කළ නොහැකි ය. එය බෞද්ධයාගේ ස්වභාවය නොවේ. සැබෑ බෞද්ධයා යහගුණයෙන් සුගන්ධවත් ය. රන් පිරවූ කළයක් සේ ය. අද සමාජයට ඇවැසි එවැනි සත්පුරුෂයෝ ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]