|

දෙව්දහ නුවර වැසියන්ගේ ආදරය ඇයට හිමි විය. ඇය කිඹුල්වත් පුරයට යෑම නිසා ඔවුහු ශෝක
වූහ. දෙව්දත් ඔවුන්ට සිනාසුණේ ය. ඔහු ඔවුන්ට මෙසේ කීය.
“සිද්ධාර්ථ වැඩිකල් නොගොස් පැවිදි වෙනවා. යශෝධරාට ආපසු මෙහාට එන්න වෙනවා.”
ඒ කතාව දේවදත්ත මව සමඟ ද නිතර කීවේ ය.
මව යශෝධරාට මෙසේ කීවා ය.
“දුව සිද්ධාර්ථ ගිහිගෙයි රැඳෙන ලෙස පරිසරයක් තැනුවා ඔහුගේ පියා. ඔබත් පියා සමඟ එක්ව
සිද්ධාර්ථ ගිහි ගෙයට ඇලෙන ලෙස කටයුතු කරන්න ඕනෑ. දන්නවනේ මායම් භාවිත කරන හැටි.”
යශෝධරා පිළිතුරු දුන්නේ දොම්නසිනි.
“මෑණියනි, ඔබගේ අවවාදය ගැන මට කනගාටුයි. සිද්ධාර්ථ ගිහිගෙයි රැඳිය යුත්තෙක් නොවෙයි.
විවාහයට පෙර සිට ම මා ඔහුගේ අදහස් දන්නවා. ඔහු මුළු ලොවට ම ආදරය කරන මහා කරුණා
නිධානයක්, මෛත්‍රී සාගරයක්. ඔහුට අවශ්‍ය ලෝක සත්ත්වයා දුකෙන් මුදා ගන්න. මහල්ලන්,
රෝගීන් සහ මළ සිරුර නොපෙනෙන පරිදි ඔහුගේ පියා ලෝකය වසා දැමුවත් ඔහු ඒ සියල්ල ම
දන්නවා. ඔහුගේ අශ්වයකු ලෙඩ වී මියගියා. මහලු වූ ඇතෙක් ද මියගියා. මියගිය සතුන් උයනේ
දී, පාරේදී දුටුවා. එය මිනිසුන්ට ද පොදුවන බව ඔහුට ඡන්න කීවා. ලොව ඉපදෙන සෑම
සත්ත්වයෙක් ම මහලු වන බවත්, රෝගී වන බව, මියයන බව, දැන් ඔහුට සඟවන්න බැහැ. සත්ත්වයා
දුකෙන් මුදාගැනීමට මඟක් ඇද්දැයි ඔහු සොයනවා. ශාක්‍ය දේශයට ආ ආගම් නායකයන්, වියතුන්,
පඬිවරුන් සමඟ ඔහු සාකච්ඡා කළා. ප්‍රශ්න කළා. ඔවුන්ට ඒ ප්‍රශ්නයට ප්‍රමාණවත්
පිළිතුරක් දෙන්නට බැහැ. ඉපදීම තමයි මේ දුකට හේතුව, ඉපදීම වළක්වන්නේ කෙසේද? එයට
පිළිතුරු ඔවුන් ළඟ නැහැ.” “පිළිතුරක් කොතැනක හෝ ඇති” ඔහු කියනවා. එය සොයා යෑමට ගිහි
ගෙයි රැඳී සිටීම බාධාවක් බව ඔහුට පෙනෙනවා.
ඉතින් මෑණියනි, සිද්ධාර්ථ ගිහිගෙයි රැඳවීමට මා වෑයම් කරන්නේ නැහැ. ඔහුගේ ගමන් මඟට
මා කැමතියි. මාත් ඔහු සමඟ යනවා.”
“දියණිය ඔබ ඒ තරම් අනුවණද? ඔබත් දුරදිග නොබලා ගිහිගෙය හැර යන්නට කල්පනා කරනවා. සැප
වෙනුවට ඔබ දුක තෝරා ගන්නවා. අවාසනාව තමයි.”
“මෑණියනි. සිද්ධාර්ථ කැමති නැහැ ඔහු සමඟ මා යනවාට. සත්‍යය සොයා යා යුත්තේ අඹු
සැමියන් වශයෙන් නොවෙයි. තනිවම බව ඔහු කියනවා. එය සොයා ගත් පසු ඒ මාර්ගයට ඔබටත්
පැමිණිය හැකියි කියා ඔහු මට අවවාද කරනවා.
“මා නුඹට තවත් මේ ගැන කියන්නේ නැහැ. නුඹේ පියා මට බල කළා සිද්ධාර්ථව ගිහිගෙය හැර
නොයන ලෙස වැඩ කරන්නැයි නුඹට කියන්න කියා.”
යශෝධරා නිහඬ වූවා ය.
“දුව දීර්ඝ කාලයක් ගතවෙලත් නුඹලාට තාම දරුවන් නැහැ. නුඹේ පියාත් ඒ ගැන නිතර කතා
කරනවා. දුක් වෙනවා. ගිහිගෙය හැර යන නිසා ද දරුවන් නැතිව ඉන්නේ? දරුවකු ලැබුණොත්
සිද්ධාර්ථ ඔය ගමන නතර කරනු ඇති”
“මා එහෙම හිතන්නේ නැහැ මෑණියනි, කායික වශයෙන් ලබන සතුට පිළිබඳ සිද්ධාර්ථ වගේම මටත්
කිසිම හැඟීමක් නැහැ. සිද්ධාර්ථගේ පියාත්, සුළු මවත් දරුවන් ගැන කතා කරනවා.”
“ඔබ සිද්ධාර්ථ සමඟ එකට භාවනා කරන බව මට අසන්නට ලැබුණා ඇත්තද?”
“ඇත්ත. උයනට ගියාම අපි තුරු සෙවණක හිඳගන්නවා. අපට ඇසෙනවා සුළඟ සමඟ රඟන තුරුලතාවල
හඬ. අසලින් ගලා යන දිය පාරක හඬ. ඒ හඬවල් සමඟ අපේ සිත් එක්වෙනවා. සඳලුතලයේ දී වැස්සේ
හඬ සමඟ අප ඒකාත්මික වෙනවා. අපගේ සිත් සමාධිගත වෙනවා. සිද්ධාර්ථ නිතරම ආනාපාන සති
භාවනාවේ යෙදෙනවා. මාත් එහෙමයි. ඉස්සර අසිත ඍෂිවරයාගෙන් මෑණියන් භාවනාව ඉගෙනගත් හැටි
මට කියා තිබෙනවානේ. මට ඒවා මතකයි. ඒවා සිහි කරමින් මා භාවනා කරනවා. සමාධිගත සිත
හරිම සුවදායකයි. ඒ සුවය තුළ පැය ගණන් ඉන්නවා.”
“මට පෙනෙනවා නුඹත් ගලවා ගන්න බැහැ. නුඹලා දෙදෙනාම පැවිදි වීමට උපන් අය වගෙයි.”
කියමින් අමිතා දේවි නැඟිට ප්‍රජාපතීගේ කුටියට ගියා ය.
සිද්ධාර්ථ උයනට යෑමට සැරසී යශෝධරා ළඟට ආවේ ය.
“ඔබ අද නොයන්නද?” ඇය ඒ සඳහා නොසැරසී සිටිනු දුටු සිද්ධාර්ථ ඇසීය.
“අද මට අමුත්තක් දැනෙනවා. එය සුළුමවට කියමු”
“මොකක්ද අමුත්ත?”
“කුසට දරුවෙක් ඇවිල්ල වගේ”
සිදුහත් අසුනෙක හිඳ ගත්තේ ය. ඔහුගේ දෑස පුළුල් වී ඇගේ මුහුණේ රැඳුණේ ය. මොහොතකට පසු
ඔහුගේ දෙතොල සෙලවිණි.
“සේවිකාව යවා සුළුමව ගෙන්වමු”.
සේවිකාව ඉවතට ගිය පසු යශෝධරා මෙසේ ඇසුවා ය.
“ඒක එහෙම වෙනවා නම් ඔබ සතුටු වන්නේ නැද්ද?”
“සතුටු වෙනවා. සුළුමවට, මගේ පියාට, ඔබේ මවට, පියාට රටවැසියන්ට එයින් සතුටක්
ලැබෙනවා.”
“ඔබ පියෙක් වීම ගැන සතුටු වෙනවාද.”
“ඔව්’
“ඒක බන්ධනයක් ලෙස සලකන්නේ නැද්ද?”
මතු සම්බන්ධයි |