[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දයා ගුණ කඳ පිරුණු හදවත් දෙවයි සැනසුම් සැමට ලෝසත්

දයා ගුණ කඳ පිරුණු හදවත් දෙවයි සැනසුම් සැමට ලෝසත්

බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් අමෙරිකාවේ සිදු කළ සාමයේ පා ගමන ලොව පුරා බෞද්ධයන්ගේ අවධානයට සහ කතාබහට ලක්ව තිබේ. එම ගමනේ නිරත වූ ආලෝක නම් සුනඛයා ගැන ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම පිළිපදින සෑම දෙනා ම උපදවා ගත යුතු ගුණාංගයක් ලෙස මෛත්‍රිය දැක්විය හැකි ය. මෛත්‍රිය යනු අන් අය කෙරෙහි පිරිසිදු සිතින් ම දයාව පතුරවමින් ඔවුන්ගේ යහපත ප්‍රාර්ථනා කිරීම යි. බුදු දහමට අනුව අපට මෛත්‍රිය වඩන්නට උගන්වා ඇත්තේ සියලු බෞද්ධයන් සුවපත් වේවා හෝ සියලු මනුෂ්‍යයන් සුවපත් වේවා ලෙස හෝ නොව, සියලු සත්වයෝ සුවපත් වේවා ලෙසයි. එලෙස අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සියලු සත්වයන් උදෙසා එක ලෙස සලකන, එක ලෙස සිතන්නට උගන්වන ධර්මයක් ලෙස බෞද්ධ ධර්මය හැඳීන්විය හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම්වල කියැවෙන පරිදි මිනිසා හැර අනෙකුත් සත්වයන් දෙවියන් විසින් මිනිසාගේ පරිභෝජනය (ආහාර) සහ ප්‍රයෝජනයට මවා ඇත. නමුත් එලෙස ගත් විට මිනිසා ද සතුන් සඳහා නිර්මාණය වී ඇති බව කෙනකුට කිව හැකි ය. ඒ සතුන් අතර ද මාංශ භක්ෂක (මිනිසුන් වුව ද ආහාරයට ගන්නා) සතුන් සිටිනා බැවිනි. බුද්ධිගෝචර දහමක් වන බුදු දහමේ අත්තුපනායික (අත්තු+උපනායික) ධර්ම පර්යාය හඳුන්වා දී ඇත්තේ කිසියම් ක්‍රියාවක දී යමකුට ඇතිවන වේදනාව, භය ආදී සිතුවිලි එයම තමාට සිදුවන්නේ නම් කෙසේදැයි ගලපා බලන (අත්තානං උපමංකත්වා) ක්‍රමවේදයක් ලෙස ය. බුදු දහම කිසිවිටෙක අන් සතුන් මනුෂ්‍යා වෙනුවෙන් මවා හෝ නිර්මාණය වී ඇතැයි පිළිගන්නේ නැත. බුදු දහම අපට උගන්වා ඇත්තේ සියලු සත්වයන්ට මෛත්‍රි කිරීමට ය. මෛත්‍රිය පැතිරවීම සීමා කරන ලෙස කිසිදු බුද්ධ දේශනාවක සඳහන් වී නොමැත.

බෞද්ධයාගේ අත්පොත ලෙස සලකන ධම්මපදයේ දණ්ඩවග්ගයේ එන පළමු ගාථාව වන “සබ්බේ

තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ” යන ගාථාවෙන් සියලු සත්වයන් දඬුවමට බිය බවත්, මරණයට බිය බවත්, එය තමාට උපමා කොට සිතා තමන් විසින් හෝ අනුන් ලවා හෝ සත්වයන්ට හිරිහැර කිරීම හෝ මැරීම හෝ සිදු නොකළ යුතු බවත් දක්වා තිබේ. එමෙන්ම “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේසං ජීවිතං පියං” යන දෙවැනි ගාථාවෙන් ද අරුත් දක්වා ඇත්තේ සියලු සත්වයන්ට ජීවිතය එක ලෙස පි‍්‍රය බවත්, ඒ බව තමන්ට උපමා කොට සිතා පරපණ නැසීමෙන් වැළකිය යුතු බවත් ය.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය නම් සියලු සත්වයන්ට ජීවත්වීමේ අයිතියක් ඇති බව යි. ඒ අනුව යම්කිසි ප්‍රයෝජනයක් සඳහා හෝ වෙනත් සත්වයකුගේ ජීවිතය හානි කිරීම බුදු දහමේ අනුමත කරන්නේ නැත. මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ට ද බය හා වේදනාව දැනෙන්නේ ය. එබැවින් යම් අවස්ථාවල තිරිසන් සතුන්ගෙන් අපට කරදර බාධා පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විනාශ කිරීමට බුද්ධිය හා ශක්තිය යෙදවීම අනුමත කළ නොහැකි ය. ඇතැම් මිනිසුන් උපතින්ම තිරිසන් සතුන් මහත් පිළිකෙව් කර කටයුතු කරති. මෙය මනුෂ්‍යත්වයේ දෝෂයකි. තිරිසන් සතුන් කෙරෙහි සානුකම්පිත වීම, එම ගතිගුණ නැති අය විසින් ඇති කර ගත යුතු මානුෂීය ගුණාංගයකි. මජ්ම නිකායේ චුල්ලකම්මවිභංග සූත්‍රයේ හා මහාකම්මවිභංග සූත්‍රයේ ප්‍රාණඝාතය කරන්නෝ මරණින් මතු අපාගත වන බව ද, නැවත උපදින භවවල අල්පායුෂ සහිතව ශරීරාංගවල අඩුපාඩුකම් සහිතව උපදින බව ද, අභයදානය දෙන, සත්වයන්ට කරුණාව දක්වන අය සුගතියෙහි උපදින බව ද, දීර්ඝායුෂ හා නීරෝගී බව ලබන බව ද විස්තර කර ඇත. බෞද්ධ පිරිත් දේශනා වන මෙත්ත සූත්‍රයේ හා ඛන්ධ පරිත්තයේ ද සත්ව හිංසාවෙන් වැළකීම හා එහි ගුණ ගැන සඳහන් වී ඇත. යමකුට ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැතිනම් එම තැනැත්තා වසලයකු බව වසල සූත්‍රයේ දක්වා ඇත.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තපස් රකින සමයේ විශාලා මහනුවර දෙසට යමින් සිටින කල ගොපල්ලකු බැටළු රංචුවක් දක්කාගෙන රජගහ නුවර දෙසට එමින් සිටි අතර, එම රංචුවේ සිටි අමාරුවෙන් ඇවිදින බැටළු පැටවකු දුටුවේ ය. ඒ පැටවාට නොනවත්වා පහර දෙන ගොපල්ලාගෙන් බැටළු රංචුව රැගෙන කොහේ යන්නේ දැයි තොරතුරු විමසීමේ දී කීවේ බිලි පූජාවට දේවාලයට රැගෙන යන බවයි. එය දැන තමන් වහන්සේ එම බැටළු පැටවා වඩාගෙන දේවාලයට පැමිණියහ. එම අවස්ථාවේ පූජාසනය මත බැටළුවකුගේ ගෙල සිඳීන්නට සූදානම් වන පූජකයකු අතින් අල්ලා නැවැත්වූ උන්වහන්සේ, එතැන සිටි බිම්බිසාර රජු අමතා අසරණ සතුන් බිලි දී තමන්ගේ කරදර නැති කරගන්නට සිතීමෙන් බොහෝ පව් සිදු වන බවත්, එයින් විපත් ඇතිවීම මිස නැතිවීමක් නොවන බවත් කියා සිටියේය. සතුන්ගේ ප්‍රාණඝාතයෙන් සතුටු වන තැනැත්තා දෙවියකු නොව හීන ගති ඇති රකුසකු විය යුතු බව පහදා දී මහා බිලි පූජාවක් නවත්වන්නට කටයුතු කළේ ය. එයින් පසු බිම්බිසාර රජු මුළු රටෙහිම බිලි පූජා තහනම් කළ බවත්, බුද්ධත්වයට පත්වූ පසු යළි තම නුවරට වඩිනා ලෙස බෝසතාණන් වහන්සේට ආරාධනා කළ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ.

බොහෝ දැනුම් පද්ධතිවලට අනුව තිරිසන් සතුන් තුළ ඇත්තේ වර්තමානය පිළිබඳ සිහිය පමණක් බවත්, අතීතය හෝ අනාගතය ගැන හෝ සිතීමක් ඔවුන්ට නොමැති බවත් කියැවෙයි. මිනිසා වුව ද, ළදරු අවදියේ දී තර්කන හා සංකල්පමය හැකියාවලින් තොර ජීවියකු වේ. එකී හැකියාවන් වයසින් මුහුකුරා යන විට සංවර්ධනය වනු ඇත. එලෙස පැවසුව ද, යම්

අවස්ථාවලදී ස්මරණ ශක්තියෙන් යුතු ව කටයුතු කරන සුනඛාදී සතුන් ගැන ද, සිය අනාගත කාරණ ගැන සැලසුම් සහගතව කටයුතු කර කැදලි තනන කුරුල්ලන් ආදී සතුන්, ආහාර එක්රැස් කරන කුහුඹුවන්, මී මැස්සන් ආදී සතුන් ගැන ද අප අසා ඇත. ‍

තිරිසන් සත්වයන්ට එක්තරා අව ප්‍රමාණයක සිතීමේ සහ ස්මරණය කිරීමේ ශක්තියක් ඇති බව බෞද්ධයෝ පිළිගනිති. තිරිසන් සතුන්ගේ සමහර ඉන්ද්‍රිය ගුණයන් මනුෂ්‍යයන්ට වඩා උසස් වේ.

අද වන විට ලෝභාදී විවිධ අරමුණු තකා අන් සතුන්ගේ ජීවිත හා ස්වභාවික අයිතිවාසිකම් උදුරා ගනිමින් ස්වභාවික පරිසරයේ අයිතිය අපේ අතට ගෙන, අපගේ පහසුවට අස්වාභාවික පරිසරය පුළුල් කරන්නට දයා විරහිත ව කටයුතු කරමින් සිටී. එම ආත්මාර්ථකාමී ක්‍රියාවලට පිළිතුරු ලෙස විවිධ පාරිසරික විපත්වලට ගොදුරු වීමට අපට සිදු වී ඇත. බෞද්ධයන් ලෙස අප යම් ක්‍රියාවක යෙදීමට ප්‍රථම, සෑම විටම එයට අදාළ වන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ සිත් යොමා කටයුතු කළ යුතු ය. බුදු දහම මිනිසා, තිරිසන් සතුන් වැනි සජීවී වස්තු පමණක් නොව ගහකොළ වැනි ස්වභාවික අජීවී වස්තු කෙරෙහි ද එක ලෙස දයාව දක්වා කටයුතු කළ යුතු බවට උගන්වන දහමකි.

ලෝකයේ වාසය කරන බුද්ධිමත් ම ජීවියා ලෙස සලකන මිනිසකු ලෙස ද, ලොවට සත්‍ය දේශනා කළ උතුම් ම ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් ලෙස ද, තිරිසන් සතකු දුටු විට එම සතුන්ට හැකි පමණ දයාවෙන් හා කරුණාවෙන් කටයුතු කිරීම උතුම් මානුෂීය ගුණයක් බව සැම දෙනාම සිතට ගත යුතු ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]