[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දික්වැල්ලේ ශ්‍රී ඤාණවංස මහ නාහිමි ගුණ සැමරේ...

දික්වැල්ලේ ශ්‍රී ඤාණවංස මහ නාහිමි ගුණ සැමරේ...

ලෝ සසුන් වැඩ වඩන්නට උදාර මහඟු මෙහෙවරක් කළ හැකි විනයධර, ධර්මධර, ව්‍යක්ත, සංඝ සෝහන ගුණවලින් පිරිපුන් යතිවරයන් වහන්සේ නමක් වශයෙන් මීට වසර 18 කට පෙර අපවත් වී වදාළ දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සම්මාන මහා නායක රාජකීය පණ්ඩිත දික්වැල්ලේ ඤාණවංස මහා නායක මාහිමියන් හඳුන්වා දිය හැකි ය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බතීගම මධ්‍යම ග්‍රාමසේවා වසමේ පදිංචි ප්‍රසිද්ධ ඉඩම් වැවිලි ව්‍යාපාරික ඩී.එස්.වීරසිංහ මුදලාලි මහතා හා ඩී. නාවුරුන්නගේ මහ හාමිනේ උපාසිකාව යන දම්පතින් මහ නාහිමියන්ගේ මවුපියෝ වූහ.

මෙම පින්බර දම්පතීන්ට 1918 ජුනි මස 30 වැනි දින පින්බර පුත් රුවනක් ලැබිණි. එම දරුවා ඩී.කේ. වීරසිංහ විය.

බතීගම විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ අතර විටින් විට තම මෑණියන් සමඟ ගමේ පන්සල වූ දීඝවාළුකාරාම රාජමහා විහාරයට යාමෙන් පෙර පින් මතුව කුඩා කුමරුට පැවිදි වීමට අදහස් පහළ විය.

මේ අනුව වීරසිංහ දම්පතීහු තම පුතු පැවිදි කිරීම සඳහා දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ මහානායක දික්වැල්ලේ සිරි සංඝතිලක මහානායක මාහිමියන්ට භාර කර ඇත. පැවිදි දිවියට අවැසි බණ දහම් වත්පිළිවෙත් පුරා 1931. 3. 30 වැනි දින දික්වැල්ලේ සිරි සංඝතිලක මහ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරයේ දී දික්වැල්ලේ ඤාණවංස හිමි යන නමින් උතුම් පැවිදි දිවියට පත්විය.

ඤාණවංස පොඩි හාමුදුරුවන් වහන්සේ සාමණේර ජීවිතයට අවශ්‍ය මූලික වරනැඟිලි ශතක පොත් කට පාඩම් කිරීමේ කටයුතු සිය ගුරු දේවයන් වහන්සේගෙන් හදාරා මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා ගාල්ල රන්දොඹේ ශිෂ්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ අතර, එම විහාරාධිපති රාජගුරු වැලිතර සිරි සුදස්සන මහානායක උප සංඝ රාජයාණන් වහන්සේගේ පා සෙවණේ වෙසෙමින් ධර්ම විනය ඇතුළු ශබ්ද ශාස්ත්‍රයන් ඉගෙන ගත්හ.

1937 ජුනි 12 වැනි දින බළපිටිය මාදු නදී මහා සිංහල සමුද්‍රාරාම උදකුක්ඛේප සීමා මාලකයේදී දික්වැල්ලේ සිරි සංඝතිලක නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් වැලිතර සිරි සුදස්සන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සුපරිශුද්ධ උපසම්පදා පදවියට පත්ව ඇත.

ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන, මධ්‍යම යන විභාගවලින් සමත්ව ඇත.1951 දී විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන අවසාන විභාගයට ඉදිරිපත් වී උසස් අයුරින් සමත් වූ අතර, සිංහල සාහිත්‍ය ද්වාරය යන ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කොට පිළිගැන්වීමෙන් රාජකීය පණ්ඩිත උපාධිය දිනා ගැනීමට සමත් විය.

තම ගුරු දේවයන් වහන්සේගේ දැඩි අසනීප තත්ත්වය අසා 1960 දී සිය අරමට වැඩ තම ගුරු දේවයන් වහන්සේ ගෙන ගිය ශාසනික, ආගමික, සාමාජීය කටයුතුවල නිරත විය. සිය ගුරු දේවයන් වහන්සේ 1961.11.29 දින අපවත් වූයෙන් එහි විහාරාධිපති පදවිය තත් නිකාය මගින් මුන්වහන්සේ පත් කරන්නට යෙදිණි.

තම විහාරස්ථානය මුල් කරගෙන ජාතික, ආගමික, ශාසනික මෙහෙවර සුළු පිරිසකට ඉටු කිරීමට නොහැකි බව වටහාගෙන අප නාහිමියන් කුල දරුවන් පැවිදි දිවියට පත්කර එම දරුවන්ගේ නැණස දියුණු කිරීම පිණිස 1963 ජනවාරි 01 වැනි දින මාර/ විද්‍යාතිලක මහ පිරිවෙන නමින් ආරම්භ කරන ලදී. ඒ තුළින් අද වන විට දහස් ගණනක් පැවිදි ගිහි උගත් යහපත් පිරිසක් ඇති කර තිබේ. ඒ අතර මාර/ විද්‍යාතිලක මහ පිරිවෙන්පති ගුවන් විදුලි රූපවාහිනි උතුම් දහම් දේශක ගෞරව ශාස්ත්‍රවේදි අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි, සිරි සංඝතිලක දහම් පීඨාධිපති දික්වැල්ලේ සමථ මණ්ඩලයේ සභික සමස්ත ලංකා සාම විනිසුරු වෑකඳවල පදුමසිරි හිමි, ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක ශාස්ත්‍රවේදී අඹකොළවැවේ බුද්ධික හිමි, රත්ගම ශ්‍රී මණ්ඩලාරාමාධිපති, ශාස්ත්‍රපති ගිනිගත්හේනේ මනෝසිද්ධි හිමි සහ හිටපු දිසා විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඒ අතර වෙති.

ප්‍රදේශය තුළ යහපත් දැහැමි දරුවන් පිරිසක් ඇති කරනු වස් 1964 ජනවාරි මස 01 වැනි දින සිරි සංඝතිලක දහම් පාසල ආරම්භ කෙරිණි.

මෙම ශාසනික, ආගමික, අධ්‍යාපනික මෙහෙවර බොහෝ පසසමින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මා කාරක සභාව මගින් 1960 දී නිකායික කාරක සංඝ සභාවට පත් කරගත් අතර, ඒ තුළින් නිකායේ අභිවෘද්ධිය පිණිස විශාල මෙහෙවරක් කළ අතර 1984 අප්‍රේල් 16 වැනි දින එම සංඝ සභාවෙන් උන්වහන්සේට සිරි චූලපදුම සංඝතිලක වාසද්ධජ යන ගෞරවනාමය සහිතව මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

ශාසනයේ අභිවෘද්ධිය හා භික්ෂුන් වහන්සේ පිළිබඳ සොයා බලා ශාසනය දියුණු කිරීම පිළිබඳ ජීවිතය කැප කළ අප නාහිමියන්ට 1992.04.25 දින තත් නිකායේ අනුනායක ධුරය ද පිරිනමන ලදී.

මෙවන් උදාර ශාසනික, ආගමික. සාමාජික අධ්‍යාපනික මෙහෙවරක් ඇති කළ අප නාහිමියෝ 2007 අප්‍රේල් 02 වැනි දින යෙදුණු බක් පෝදා සීල භාවනා වැඩසටහන මෙහෙය වීමෙන් පසු සියල්ල අනිත්‍ය බව පසක් කරමින් සිහි නුවණින් අපවත් වූ සේක.

නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 19 ක් පිරීම නිමිති කර විශේෂ පින්කම් මාලාවක් ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල, රන්ගිරි උල්පත රජ මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ සිරි සුගත ශාසන වංසාලංකාර සිරි සද්ධම්ම වංසපාල ඝනාචරිය මහා මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි දික්වැල්ල දීඝවාළුකාරාම රජ මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිෂ්වර අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මාතර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සීනිපැල්ලේ රතනවංස නාහිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා දායක සභාවේ සභාපති හිටපු මියන්මාර් තානාපති එච්. ආර්.පියසිරි මහතා ප්‍රමුඛ දායක සභාව හා ඥාති පිරිස දායකත්වයෙන් අද (01) සහ හෙට (02) විශේෂ පින්කම් රැසක් සංවිධානය කර ඇත.

රාත්‍රී 7 ට විචිත්‍ර ධර්ම කථික කපුගම සුගතසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දහම් දේශනය ද, පසු දින 50 නමකට පිදෙන සංඝගත දක්ෂිණාව ද වේ.

මෙම උතුම් මහා පින් බලෙන් අප ඤාණවංස මහා නාහිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා යැයි පතමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]