උදාර සංස්කෘතියක අසිරිමත් මංගල්‍යය
ඌරුගමුවේ අස්සජී හිමි
අදින් ඇරැඹෙන බක් මාසය සෞභාග්‍යයෙන් සහ සශ්‍රීකත්වයෙන් යුතු සමාජ වටපිටාවක් නිරූපණය
කරයි. එබැවින් උදා වන්නේ භාග්‍යවන්ත කාලයකි. බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි.
සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයන් අවුරුදු උදාව සැමරීමට එක් වන්නේ් ඉමහත් උනන්දුවෙන්
සහ ඇල්මකිනි. අලුත් අවුරුද්ද සූර්යයා මුල් කරගෙන පවත්වන උලෙළක් වන හෙයින් ‘සූර්ය
මංගල්‍යය’ ලෙස ද හඳුන්වයි. අපගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙන්නේ චන්ද්‍ර මාස
ක්‍රමය අනුව යි. සූර්යයා මුල් කරගෙන පවත්වන එකම උලෙළ බක්මහ උලෙළ යි. මෙහි ඇති තවත්
විශේෂත්වයක් වන්නේ සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත් මුළු සමාජය ම වෙනසකට මුල පුරන
උත්සවයක් වීමයි.
ලක්දිව සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙහි ඉතිහාසය පණ්ඩුකාභය රාජ්‍ය සමය දක්වා දිව
යයි. සතියක් පුරාම පැවැත්වෙන චාරිත්‍රානුකූල අවස්ථා සමූහයට සමගාමීව කෙරෙන නව සඳ
බැලීම, පරණ අවුරුද්දට ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ
ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යන
සංස්කෘතික අංග ප්‍රධාන තැනක් ගනී.
බෞද්ධ සංස්කෘතියට ගැළපෙන චාරිත්‍ර මුසු වූ උත්සවයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.
අලුත් අවුරුද්දේ සංස්කෘතික වටිනාකම් සහිත ක්‍රියාකාරකම් දෙස විමසිලිමත් ව බැලීමෙන්
එය මනාව පැහැදිලි වෙයි.
කාර්යබහුල ජීවන රටාවෙන් මොහොතකට මිදී පවුලේ අය හා අවට ඥාති හිතවතුන් සමඟ සතුටින්
කාලය ගත කිරීමට මෙම අවුරුදු චාරිත්‍ර මහෝපකාරී වනු ඇත. තව ද අසල්වාසීන් සමඟ පවතින
අසමඟි, අමනාපකම් දුරුකර සුහදතාව ගොඩනඟා ගැනීම මෙහි තවත් විශේෂත්වයකි.
අද වන විට මෙම අවුරුදු උත්සවයට බටහිර අංග එකතු වී ඒවා යම් පමණකට කෙලෙසී ඇති බවක්
පෙනෙන්නට තිබේ. සුරාව, සූදුව වැනි දුරාචාර බහුල ලෙස අවුරුදු උත්සවය හා යොදාගෙන ඇති
නිසා අවුරුදු චාරිත්‍ර ජනතාව වෙතින් ඈත්වෙමින් පවතී. රබන් ගැසීම, ඔළිඳ කෙළිය හා
අනෙකුත් අවුරුදු ජන ක්‍රීඩා වෙනුවට මුදල් පදනම් කරගත්, සූදු ගණයට වැටෙන ක්‍රියාවල
නිරත වීමත්, සුරාවත් නිසා එකිනෙකා කලකෝලාහල කර ගැනීමත් වාර්තා වෙයි.
සමාජ විද්‍යාත්මක ව විමසා බැලීමේ දී අවුරුද්ද වෙනුවෙන් නැකතට එකාවන් ව එක්සිත්ව
සිදු කරන කණ්ඩායම් ක්‍රියාකාරකම් වටිනා චාරිත්‍ර ලෙස පෙන්වාදිය හැකි ය. මුළු රටම
එකාමෙන් එකමුතුව වැඩ කළොත් එය රටවැසියාට ද, රටට ද මහත් ආශිර්වාදයකි. එසේ නොමැතිව
මෙම චාරිත්‍ර අවතක්සේරු කරමින් අනවබෝධයෙන් කටයුතු කිරීම රටක්, ජාතියක් වශයෙන්
ඉදිරියට යෑමට බාධාවකි. ඉදිරියේ උදාවන අලුත් අවුරුදු උලෙළ ආගමික වටපිටාවක් තුළ,
ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන ධාර්මිකව විනෝදයෙන් ගත කිරීමට සැවොම අදිටන් කරගත යුතු ය. |