|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 47 කොටස:
අනාත්මබවේ සත්‍යය දැකගන්න
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ඔබ, තිබෙන දේ නැති වීමෙන් ඇතිවන වේදනාව හා ශෝකය දකියි. ඔබගේ එදිනෙදා ජීවිතයේ දී
වේදනාත්මක සිද්ධීන්වලට හැඩ ගැසීමට ඔබ ඔබට ම බලපෑම් කරන අන්දම බලා සිටියි.
ජීවන ක්‍රියාවලියේ ස්වභාවික ගැටුම් හා ආතති සියැසින් දකින ඔබ, ඔබගේ ගැටලු මොන තරම්
කුඩා, ගණන් ගත යුතු නැති ඒවා ද කියා දකියි. වේදනාව වර්ධනය වීම, රෝග පීඩා, වයසට යෑම
හා මරණයට පත් වීම දෙස ඔබ බලා සිටියි. මේ දරුණු දේ කිසිසේත් බියකරු නොවන බව
විශ්මයෙන් යුතුව ඔබ දකියි. ඒවා හුදෙක් ම යථාර්ථය පමණි.
ඔබගේ පැවැත්මේ ඍණාත්මක පැතිකඩ පිළිබඳ ව මෙම දැඩි අධ්‍යයනය තුළින් ජීවිතයේ තිබෙන
අතෘප්තිමත් ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනු ඇත. යම් දෙයකට බැඳීමක් ඇතිකර ගත්
මොහොතේ ම නො වැළැක්විය හැකි අන්දමට දුක ඒ පිටුපස එන බව ඔබ දකියි. ආශාව ක්‍රියා කරන
අන්දම පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇතිකරගත් පසු ඔබ එයට සංවේදීතාවයක් දක්වයි. එය නැඟෙන
ස්ථානය, එය නැඟෙන වේලාව හා ඔබට එය බලපාන අන්දම ඔබ දකියි. සෑම ඉන්ද්‍රියයක් තුළින් ම
ප්‍රකාශ වෙමින් මනසේ පාලනය සියතට ගනිමින් හා විඥානය තමාගේ වහලකු කර ගනිමින් නැවත
නැවත එය ක්‍රියාකරන අන්දම ඔබ දකියි.
සෑම ආශ්වාදජනක අත්දැකීමක් මැද ඔබගේ තෘෂ්ණාව හා ඇලීම් හටගන්නා ආකාරය දෙස ඔබ බලා
සිටියි. අමිහිරි අත්දැකීම් මධ්‍යයේ ඉතා බලවත් විරෝධයක් හටගනු ඔබ දකියි. මේ කිසිම
සංසිද්ධියකට බාධා නො කරන ඔබ ඒ දෙස බලා සිටියි. මිනිස් සිතිවිල්ලක සැබෑ ලක්ෂණයක් ලෙස
ඔබ ඒවා දකියි. “මම” කියන දෙය සොයන ඔබට හමුවන්නේ කායික සිරුරක් හා ඔබගේ යැයි ඔබ
හඳුනාගෙන ඇති ඇට ගොඩකින් හා සමකින් වැසුණු මල්ලකි. තවදුරටත් ඔබගේ යැයි සිතා
සංවේදනා, සිතිවිලි රටා මතිමතාන්තර සමඟ සම්බන්ධවීමට ඔබ වෑයම් කරන සැටි ද මේවා කෙරෙහි
ඔබ තණ්හාවක් ඇති කර ගැනීම, ආරක්ෂා කිරීම හා ඒ වෙනුවෙන් සටන් වැදීම හා එය කොපමණ
උන්මත්තක ක්‍රියාවක් ද යන්න ඔබ දකියි. භෞතික දේ, ශාරීරික සංවේදනා, හැඟීම් හා ආවේග
අවුස්සමින් නිරතුරුව “ඔබ “මම” යන්නක්” සොයයි. ඒ අතර එය වේගයෙන් කැරකැවෙමින් නොනැවතී
ගමන් කරයි.
ඔබට කිසිවක් හමු නොවනු ඇත. ඒ සියලුම මානසික සංඝටක අතර හා නොනිමි, නිරතුරුවම වෙනස්වන
අත්දැකීම් ප්‍රවාහයේ දී ඔබට හමුවන එකම දෙය වන්නේ අසීමිත නිර්පුද්ගල ක්‍රියාවලියකි.
සිතිවිලි හමුවුණ ද සිතන්නකු හමුනොවේ. හැඟීම් හා ආශාවන් තිබුණ ද ඒවා කරන පුද්ගලයෙක්
නැත. නිවහන හිස් ව ඇත. එහි කිසිවෙක් නැත.
මේ අවස්ථාවේදී තමා පිළිබඳ ඔබගේ දැකීම මුළුමනින්ම වෙනස් වෙයි. පුවත්පතක තිබෙන
ඡායාරූපයක් ලෙස ඔබ ඔබව දකියි. පියවි ඇසින් බලන කළ ඡායාරූපයක් නිශ්චිත රූපයක් ලෙස
දකියි. නමුත්, විශාලකර දක්වන කාචයක් තුළින් දකින විට ඉතා සියුම් වූ එහි ආකෘතිය
තිත්වලට බිඳී ඇති සැටි පෙන්නුම් කරයි. මෙලෙස සිහියේ විනිවිද යන බැල්මට හසුවන
“තමා” හෝ “මම” යන්නෙහි ඝනත්වය නැති වී දියවී යයි.
මෙම අවස්ථාවේ දී විපස්සනා භාවනාවේ එන ජීවිතයේ ත්‍රිවිධ ලක්ෂණ වන අස්ථිර බව,
අතෘප්තිකර බව හා අනාත්ම බව යන සත්‍යයන් විශාල බලයකින් ඔබගේ සිත තුළට පිවිසෙයි.
ජීවිතයේ අනිත්‍ය බව, මිනිස් පැවැත්මේ තිබෙන අතෘප්තිය හා අනාත්ම බවේ සත්‍යය ඔබ
පැහැදිලිව දැක ගනියි. මෙය සිතට කාවදින ලෙස අත්දකින ඔබ එකවිටම තෘෂ්ණාව, ඇලීම හා
ගැටීම යන ප්‍රතික්‍රියාවල නිශ්ඵලත්වයට අවදි වෙයි. මෙම ප්‍රබල මොහොතේ පැහැදිලි බව හා
නිර්මලත්වය ඔබගේ දැනීම කරයි. තමා යන වස්තුව අතුරුදන් වෙයි. එකිනෙක හා බැඳුණු
නිර්පුද්ගල සංසිද්ධීන් සමුදායක් පමණක් ඉතිරිව තිබේ. තෘෂ්ණාව ඉවත් වී විශාල බරකින්
නිදහස් වී ඇත. ඉතිරිව ඇත්තේ ආතිතය හෝ ප්‍රතිරෝධය අංශු මාත්‍රයක් හෝ නැති පහසු
ගලායෑමකි. සාමය පමණකි. උත්තරීතර, අසංඛත නිර්වාණ ධාතුව අවබෝධ වී ඇත. |