සසුන’ඹර එළිය කළ කනංකේ විමලඥාන මාහිමිපාණන් වහන්සේ
“පරත්ථං පටිපජ්ජථ” යන උතුම් සම්බුදු වදනට අනුව තම පැවිදි දිව මඟ අන් අයගේ යහපත
වෙනුවෙන් කැප කළ පරාර්ථකාමී ගුණයන්ගෙන් හෙබි මහා යතිවරයකු ලෙස කනංකේ රාජමහා විහාරය
ඇතුළු විහාර ගණයෙහි අධිපති විශ්‍රාමික
පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති අති ගෞරවනීය කනංකේ
විමලඥාන මාහිමියන් අවිවාදයෙන් තොරව හැඳින්විය හැකි ය.
එවැනි උතුම් ගුණ සමුදායකින් හෙබි ලොකු හාමුදුරුවන් වහන්සේ ඉකුත් පෙබරවාරි මස 13
වැනි දින වසර අනූවක් ආයු වළඳා සිහිනුවණින් අපවත් වී වදාළහ. මෙම ලිපිය උන්වහන්සේගේ
උතුම් ශාසනික සේවාවට උපහාරයක් ලෙසිනි.
ඓතිහාසික දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කයෙහි වැලිගම් කෝරළයට අයත් රමණීය සොබා
සෞන්දර්යයෙන් අනූන ගම්මානයක් ලෙස කනංකේ ග්‍රාමය හැඳින්විය හැකි ය.
මෙකී ගමෙහි පොල්හේන ප්‍රදේශයේ මාරගොඩ නිවෙස, ඉතා සම්භාවනීය පවුලක් වූ අතර, එහි
ජීවත්වූ ඌරුබොක්ක රත්නායකගේ නන්දියස් හා අමරකෝන් ආරච්චිගේ පැන්සිනා යන පින්වත්
මවුපිය දෙපළට දාව 1936 ඔක්තෝබර් මස 06 වැනි දින මෙලොව එළිය දුටු ඌරුබොක්ක ආරච්චිගේ
ගුණපාල නම් කුමරුවන් ඉතා පින්වත් විය.
කුඩා කල පටන් සහෝදරයන් දෙදෙනකුගෙන් හා සහෝදරියන් දෙදෙනකුගෙන් යුක්ත පවුලෙහි ආදරය,
රැකවරණය ලබමින් දිවි ගෙවන කාලය තුළ ගුණපාල කුමරුවන් නිසි වයස් එළඹීමෙන් පසු මූලික
අධ්‍යාපනය සඳහා පිවිසියේ කනංකේ ප්‍රාථමික විද්‍යාලයට ය.
මෙලෙස අධ්‍යාපනය හදාරන කාලය අතරතුර පුරා පුණ්‍යකෘත බලමහිමය නිසා ම පැවිදිවීමේ මහත්
ආශාවෙන් පසු වූ මෙම ගුණපාල කුල කුමරුවන් 1949 මාර්තු මස 10 වැනි දින සසුන්ගත වූයේ
කනංකේ විමලඥාන යන ශාසනික නාමයෙනි. එහිදී උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූයේ රාජකීය
පණ්ඩිත කනංකේ ඥානාලෝක හා පැනෑටියන සද්ධාතිස්ස යන නාහිමිවරුන් ය. මෙලෙස පැවිදි
දිවියට ඇතුළත් වූ විමලඥාන සාමණේරයන් වහන්සේ මූලික අධ්‍යාපනයට එළඹියේ අකුරැස්ස ජේතවන
මහා පිරිවෙනට ය. එහිදී කැකුණේවෙල පියරතන, සියඹලාගොඩ පඤ්ඤාතිස්ස හා කිරම රතනපාල යන
උගත් ධර්මධර, විනයධර මහා යතිවරයන් වහන්සේ ඇසුරින් මනාව අධ්‍යාපනය ලබන ලදී.
කුඩා කල පටන් බොහෝ හැකියාවන්ගෙන් පිරිපුන් හිමිනමක් වූ උන් වහන්සේ උගත යුතු බණදහම්
මනාව හදාරා නිසි විසි වයස් එළැඹීමෙන් පසු 1957 ජූනි මස 05 වැනි දින ඓතිහාසික මහනුවර
මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ. එහිදී
උන්වහන්සේට හිමි වූයේ දුර්ලභ වූ වාහල්නාග උපසම්පදාව යි.
මේ අයුරින් තරුණ වියට පත්වූ විමලඥාන හිමියන් මුලින්ම ගුරු සේවයට එළඹියේ රජයේ පාසල්
සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගයෙන් සමත් ව, අහංගම නාපිරිත්තාගොඩ සමාගම් පාසල
තුළිනි. පසුව කටුකුරුන්ද ගුරු විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහි දී ම ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලය මඟින් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති යන උපාධිය ද පසුව කොළඹ
විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගැනීමට සමත් වී ඇත. මෙලෙස තිස්
වසරක් පුරාවට දැයේ බොහෝ දුවාදරුවන්ගේ නැණස පෑදීම උදෙසා තම දිවිය කැප කළ විමලඥාන
හිමියන්, අම්පාර මහා විදුහල කොළඹ ලුම්බිණි විදුහල හා ඉමදුව, බටේමුල්ල ජාතික පාසල
ඇසුරු කොටගෙන සිදුකර ඇති මෙහෙය ඉතා උදාර ය.
තම ගුරුදේවයන් වහන්සේ වූ ගෞරවනීය කනංකේ ඥානාලෝක නාහිමියන් අපවත් වීමෙන් පසු එනම්
1981 වසරේ පටන් කනංකේ රාජ මහා විහාරය, නිමලව විජයාරාමය හා පැනෑටියන ශ්‍රී
චේතියාරාමය යන විහාරස්ථාන සඳහා නායකත්වය ලබා දුන් විමලඥාන මහා යතිවරයන් වහන්සේ
අපවත් වන තුරුම සසුන්කෙත ආලෝකවත් කිරීම උදෙසා සිදු කළ මෙහෙය ඉතා උදාර ය. ඓතිහාසික
කනංකේ රාජමහා විහාරය ඇතුළු සෙසු විහාරස්ථාන අලංකාර ලෙස ගොඩනංවා බොහෝ උගත් ශිෂ්‍ය
බාලාදීන් ද උන්වහන්සේ විසින් තනා ඇත. විමලඥාන මාහිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම
ආදර්ශවත් මහා සංඝ පීතෘවරයෙකි. භික්ෂුවක් සතු විය යුතු ඍජු ගුණය තම චරිතය තුළ
ගොඩනංවා ගත් උන්වහන්සේ ඕනෑම අයකුට වරද වරදක් ලෙස පෙන්වාදීමට තරම් එඩිතර වූ ශ්‍රේෂ්ඨ
යතිවරයන් වහන්සේ නමකි. එවැනි ගුණාංගයන්ගෙන් පිරිපුන් යතිවරයන් වහන්සේ නූතනයෙහි බොහෝ
සෙයින් විරල ය . කිව යුතු දේ ඍජු ලෙස කියූ, කළ යුතු දේ නිසි ලෙස කළ උන්වහන්සේ සියලු
දෙනාට බෙහෙවින් ආදර්ශයකි.
උදාර සංඝ පීතාවරයෙක් ලෙස වසර 90ක පමණ කාලයක් ආගමික, අධ්‍යාපනික හා සාමාජීය සේවාවක
නිරත වූ කනංකේ විමලඥාන මාහිමියෝ ඉකුත් පෙබරවාරි මස 13 වැනි දින අලුයම සිහිනුවණින්
අපවත් වී වදාළහ. බොහෝ කලකට අමතක නොවන උදාර ගුණාංගයන්ගෙන් හෙබි, ඍජු
ප්‍රතිපත්තිවලින් පිරිපුන් කනංකේ ඥානාලෝක නාහිමියන්ට අජරාමර නිවන් සුවය ම අවබෝධ
වේවා!
- දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි |