[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අරුත් අලංකාර කරන උපමා උපමේය

අරුත් අලංකාර කරන උපමා උපමේය

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම විමුක්ති ඥාන දර්ශනය වන සම්බුදු දහම එය ශ්‍රවණය කරන්නන්ට වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවනු පිණිස උපයෝගි කර ගන්නා ලද ක්‍රමවේදයකි.

උපමා රූපක මඟින් කරුණු ඉදිරිපත් කිරීම.

සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරමින් අති දීර්ඝ භව ගමනක යෙදෙමින්, ජාති ජරා, ව්‍යාධි, මරණ ආදි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් සිට එදා ගයා හිස බෝ මැඩ දී සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු තමන්වහන්සේ විසින් අත්කර ගන්නා ලද විශිෂ්ට ජයග්‍රහණය ගැන උද්දාමයට පත් වූ තථාගතයන් වහන්සේ “අනේක ජාති සංසාරං......” යන උදාන වාක්‍යයෙන් ස්වකීය අසීමිත සතුට ප්‍රකාශ කළේ උපමා උපමේය රැසක් ඉදිරිපත් කරමිනි.

“යළි ඉපදීම දුකකි. එබැවින් ‘ආත්මභාව‘ නමැති ‘ගෙය’ තනන ‘තණ්හාව‘ නැමැති ‘වඩුවා’ කවරෙක්දැයි සොයමින් ඔහු දැකිය හැකි ‘සත්‍යාවබෝධ ඥානය’ නමැති ‘ඇස’ පහළ කර ගැනීමේ අපේක්ෂාව ඇතිව එහෙත් ඔහු දැකගත නොහැකි ව සිය දහස් ගණන් ඉපදීම් ඇති සංසාරය පුරා දිව ඇවිද්දෙමි. එම්බා වඩුව මම තා දිටිමි. මින්පසු නුඹ මට ආත්මභාවයන් නමැති ගෙය නො තනන්නෙහි ය. ගෙය තැනීමට උපයෝගි කර ගන්නා සකල ක්ලේශයන් නම් වූ පරාලය බිඳ දැමුවෙමි. අවිද්‍යාව නමැති කැණිමඩල සුණුවිසුණු කළෙමි. මා සිත නිර්වාණය වෙත යොමුවිය. තෘෂ්ණාව වැනසිණි. රහත්බව ලදිමි.”

කෙ තරම් අර්ථාන්විත, උචිත, අලංකාර, උපමා උපමේයයන් සමූහයක් ද?

පංච උපාදානස්කන්ධය

අයෝධ්‍යා නුවර ගංගා නම් නදිය අසබඩදී හිඳ දේශනා කරන ලද ඛන්ධ සංයුක්තයට අනුව පංච උපාදානස්කන්ධයට අයත් රූප උපාදානස්කන්ධය හිස් වූ, බොල් වූ, හරයක් නැති පෙණ පිඬකට ද, වේදනා උපාදානස්කන්ධය තදින් වැසි වසින කල හටගන්නා, ඒ විගසම නැසී යන දිය බුබුළකට ද, සංඥා උපාදානස්කන්ධය ගිම්හාන කාලයේ මධ්‍යහ්නයේ දැකිය හැකි මිරිඟුවකට ද, සංස්කාර උපාදානා ස්කන්ධය හරයක් නොමැති බඩයක් හට නො ගත් කෙසෙල් කඳකට ද, විඥාන උපාදානස්කන්ධය සිව්මංසලක සිට මායාවන් දක්වන විජ්ජාකරුවකුගේ ක්‍රියාවක් ලෙසට ද උපමා කොට ඇත.

සතිපට්ඨානය

සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාව වැඩීමේ දී සිත එකම අරමුණක රඳවා ගනිමින් සමාධිගත විය යුත්තේ කෙසේද යන්න තථාගතයන් වහන්සේ ලස්සන උපමාවකින් දක්වා ඇත. මහජනයා රැස්ව සිටින තැනක සුරූපී තරුණියක් මිහිරි හඬින් ගී ගයමින් චමත්කාර ලෙස නටමින් සිටී. එදෙසට පැමිණෙන ජීවත්වීමට කැමැති, සැපයට කැමති තරුණයකුට ගැටිය දක්වා තෙල් පිරුණු බඳුනක් හිස මතට දී එම තරුණිය වටා යන ලෙසත්, යම් හෙයකින් තෙල් බිඳක් හෝ වැගිරුණොත් පිටුපසින් යන තියුණු අවියක් දරා සිටින පුරුෂයකු විගසින් තමන් මරණයට පත් කරනු ඇති බවත් කිවහොත් එම තරුණයා තෙල් බඳුන ගැන මනා අවධානයෙන් යුතුව අවට නො බලමින් ගමනේ යෙදේ ද එපරිද්දෙන් කායානුපස්සනාව වැඩීමේ දී සිහිය පවත්වාගෙන යා යුතුයැ යි දේශනා කර ඇත.

කසීභාරද්වාජ නම් ගොවිතැනෙහි නිරත බ්‍රාහ්මණයා සමඟ වාදයේ යෙදුණු බුදු හිමියන්

‘බ්‍රාහ්මණය, මමත් ගොවියෙක් තමයි. මාත් කෙතක් සකසා ජීවත් වෙනවා. මෙන්න මගේ ගොවි උපකරණ. නිවන මගේ කෙත යි. මම එහි ශ්‍රද්ධාව නමැති වී වපුරමි. එහි ජලය තපස යි. නගුල නුවණ යි. ලජ්ජාව නගුලිස යි. ගොනුන් බඳින යොත මනස යි. ගොනුන් දක්කන කෙවිට සිහිය යි. මම යැපෙන පමණට අහර ගනිමි. කෙතේ වල්පැළ සත්‍යය නමැති බෙහෙතින් වනසමි. නගුල අදිනු ලබන්නේ නො පසුබස්නා වීර්ය නමැති ගොනුන් විසිනි. සියලු දුක්වලින් මිදීම මෙම කෘෂිකාර්මික කාර්යයේ එකම පරමාර්ථය යි.’

මෙහිදී සිත් ඇද ගන්නා උපමා උපමේයයන් යොදා ගැනීමට අමතරව ගොවියා හුරු පුරුදු ඔහුගේ වෘත්තිය භාෂාවෙන් ම කරුණු පැහැදිලි කිරීම කො තරම් අගනේ ද?

මජ්ක්‍ධිම නිකායේ චූල මාලුංක්‍ය සූත්‍රයේ දී තමන් වහන්සේට යොමු වූ ප්‍රශ්න 10කට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන භාග්‍යවතුන් වහන්සේ එම ප්‍රශ්න හා පිළිතුරු කිසිසේත් ම කළකිරීමට, අභිඥාවට, සම්බෝධියට, නිර්වාණයට හේතු නො වන බැවින් නො වැදගත් ප්‍රශ්න බව අලංකාර උපමාවකින් පැහැදිලි කරන සේක. පින්වත් මහණෙනි, විෂ පොවන ලද ඊතලයකින් පහර කෑ කෙනෙක් වෛද්‍යවරයෙක් වෙතට ගෙන ගිය කල ඊතලයෙන් තමාට විදි තැනැත්තා කවර ජාතියකට, කුලයකට, ගෝත්‍රයකට අයත් ද, සුදු ද, කළු ද, උස ද, මිටි ද, විදපු දුන්න කොයි වගේ ද, ඊතලය හදල තියෙන්නෙ මොනවයින් ද යනාදී ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු නො සපයන්නේ නම් ඊතලය ගැලවීමට හෝ ප්‍රතිකාර කිරීමට ඉඩ නො දෙන්නේ මැයි පැවසීමකට සමාන වේ.

දිනක එක්තරා බ්‍රාහ්මණයෙක් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනා ම නිර්වාණය අවබෝධ කර ගන්නේ දැයි විමසා සිටි විට ඔහු වෙතට ප්‍රශ්නයක් යොමු කරන උන්වහන්සේ කෙනකු සැවැත්නුවර සිට රජගහනුවරට යන මාර්ගය තමාගෙන් විචාළ අවස්ථාවක දී ඔහුට නිවැරැදි මාර්ගය කියාදුන් නමුත් එම තැනැත්තා වැරැදි මාර්ගයක ගොස් අතරමං වීම ඔබට වළක්වාලිය හැකි දැයි සුදුසු උපමාවක් යොදා ගනිමින් බ්‍රාහ්මණයාගෙන් ප්‍රශ්න කරයි.

උන්වහන්සේ බෝධිසත්ව සමයේ දී පවා උපමා උපමේයන් භාවිත කළ ආකාරය නොයෙකුත් ජාතක කතාවල අන්තර්ගත ය.

මවුපිය උපස්ථානය

සාලිකේදර ජාතක කතාවට අනුව ගිරවකු හැල් කෙතක ධාන්‍ය අනුභව කිරීමට අමතරව වී කරල් කීපයක් තුඩින් රැගෙන යයි. තොණ්ඩුවක් සාදා ගිරවා අල්ලාගත් කුඹුරු හිමියා වී කරල් රැගෙන යාමට හේතු විමසයි. තමන් එසේ කරනුයේ පෙර ලබාගත් ණය පියවීම, අලුතෙන් ණය දීම හා ආයෝජනය කිරීම සඳහා යැ යි පිළිතුරු දෙන ගිරවා ඉන් අනතුරුව එම උපමාවන් පහදා දෙයි.

මගේ මවුපියන් මා කුඩා කල දී මා පෝෂණය කළා. ණය පියවීම සඳහා වියපත් ව බැහැරට යා නොහැකි ව සිටින ඔවුන්ට මා ආහාර රැගෙන යනවා.

මාගේ කුඩා පැටවුන්ගේ පියාපත් තවම වැඩී නැහැ. මා ඔවුන්ට ආහාර රැගෙන යාම ණය දීමක්. මා මහලු වූ කල ඔවුන් ණය ආපසු ගෙවීම් වශයෙන් මා පෝෂණය කරාවි. ඊට අමතරව අසරණව දුබල ව සිටින නෑදෑයින්ටත් මම ධාන්‍ය රැගෙන යනවා. එය පුණ්‍යකර්මයක්. ඉදිරි භවයන් සඳහා කරන ආයෝජනයක්.

බුදුරජාණන් වහන්සේ පමණක් නොව, සැරියුත් මහ රහතන් වහන්සේ ද ඇතැම් අවස්ථාවල දී කරුණු පැහැදිලි කිරීමට බෙහෙවින් උචිත උපමාවන් භාවිත කර ඇත.

උන්වහන්සේ නළකලාප සූත්‍රයේ නාම රූප නැති ව විඥානය ඇති නොවන බවත් විඥානය නොමැති ව නාම රූප ඇති නොවන බවත් (විඥාන පච්චයා නාම රූපං - නාම රූප පච්චයා විඥානං) දැක්වීමට ඒ දෙක එකිනෙකට හේතු කොට ඇති බට මිටි දෙකකට උපමා කර එකක පැවැත්ම අනෙක මත රඳා පවතින බව පෙන්නුම් කර ඇත.

එසේම මහා කොට්ඨිත සූත්‍රයේ දී රූපයට ඇස බැඳී නොමැති අතර ඇස රූපයට බැඳී නොමැති බවත් ලෝකයේ ඇති ආශ්වාදනීය දේ මත මනඞකල්පීය වශයෙන් ඡන්ද රාගයෙන් බැලීමෙන් කාම සිතිවිලි පහළකරගෙන ඇලීමක් ඇති කර ගන්නා බවත් දැක්වීමට සුදු ගොනකුත් කළු ගොනකුත් කඹයකින් බැන්ද කල ඒ දෙන්නා එකට යන බවට වූ උපමාව දක්වයි.

මන්තානිපුත්ත පුණ්ණ තෙරුන් හා සැරියුත් හිමියන් අතර ඇති වන ධර්ම සංවාදය ද අපූරු උපමාවක් ඉදිරිපත් කරන්නකි. නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා සීල, චිත්ත, දිට්ඨි, කාංඛාවිතරණ, මහා මග්ගඥාණ දර්ශන, පටිපදා ඥාන දර්ශනය හා ඥාන දර්ශන යන සප්ත විශුද්ධීන් වැඩීම එකකට අනතුරුව එය උපයෝගී කර ගනිමින් අනෙකක් වැඩීම, කෝසල රජු සැවැත් නුවර සිට ඉක්මනින් සාකේත නුවරට යාම සඳහා නොයෙකුත් තැන්වල ස්ථානගත කර ඇති අශ්ව කරත්ත හතකට එකිනෙකට මාරුවෙමින් ගමන් කිරීමකට උපමා කර ඇත.

බුදුහිමියන් පැවැත්වූ ධර්ම දේශනාවන්ට සවන් දුන් ඇතැම් ශ්‍රාවකයින් ද දේශනාව අවසානයේ දී උන්වහන්සේ මැනවින් කරුණු පැහැදිලි කර දුන් බව විදහා දැක්වීමට රසවත් උපමා ඉදිරිපත් කළ අවස්ථා දැන ගැනීමට ඇත.

සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණයා ද උපාලි නම් ගෘහපතියා ද තවත් නොයෙකුත් ශ්‍රාවකයන් ද විසින් පහත සඳහන් උපමා භාවිතා කර ඇත.

“පින්වත් භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ දම් දෙසුම යටිකුරුකර තිබූ භාජනයක් උඩුකුරු කළා වැනි ය. වටිනා වස්තු බහා ඇති බඳුනක පියන විවෘත කළා වැනි ය.

මං මුළාවකට ලක්වූවකුට නිවැරැදි මාර්ගය කියා දුන්නා වැනි ය. ඇස් ඇත්තෝ රූප දකිත්වා යැයි අඳුරෙහි තෙල් පහනක් දැල්වූවා වැනි ය.

උඳුවප් අමාවක

දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]