|
උඳුවප් අමාවක
පෝ දා 2025-12-19
විපතින් රැකෙන්නට
මහ වනයක මං මුළා වූ වක් මඟ සොයමින් ඇවිදින්නේ, තව තවත් මහ
වන මැදට ම ගමන් කරන්නා සේ ජීවිතය ගැන නිවැරැදි අවබෝධයක් නොවූ
සත්වයෝ මේ ඝෝර සසරේ මැරෙමින්, ඉපදෙමින් නොනැවතී ඇවිද යති.
අතරමඟ ලැබෙන්නා වූ අල්ප සැපය මහා සැපයක් යැයි සිත සිතා ඒවා
අනුභව කරමින් තව තවත් එහි ම ඇලෙමින් විපතට ම වැටෙති. එහෙත්
බොහෝ දෙනෙක් එයින් පාඩමක් ඉගෙන ගන්නා බවක් නොපෙනේ.
ජීවිතයේ මේ දුක්ඛිත බවට අනේක නිදර්ශන අපි දිවි ගෙවන මේ
වටපිටාවෙන් ම දිනෙන් දින දෑසින් දකිමු. විපත් හමුවේ හඬා වැළපෙන
හැටි, සිය දිවි තොර කර ගන්නා සැටි දකිමු. දුක දරා ගන්නට තරම්
ශක්තිමත් නොවූවෝ මානසික රෝගීන් බවට පත්ව සිටින සැටි දකිමු.
එහෙත් දහම් අවබෝධ කරගත් පුද්ගලයා මේ ලෝක ස්වභාවය දරා ගනිමින් ඒ
ඒ අවස්ථාවන්ට ශක්තිමත් ව මුහුණ දෙන්නට සමත් වේ.
සම්බුද්ධ දේශනාවේ පැහැදිලි කරන්නේ ජීවිතයේ අල්ප සැපය නම් වූ
මුළාවෙන් බේරී සිටින්නට උත්සාහ ගන්නා ලෙසයි. ඒ සඳහා හඳුන්වා
දෙන්නේ ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවරය නම් සීලයයි. සරලව ම
කියනවා නම් කය, වචනය හික්මවා ගැනීමයි. ඒ සමඟ ම සැප යැයි අල්ලා
ගන්නා, බැඳීම් ඇති කර ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදී
අරමුණුවල මුළාව හඳුනාගැනීම සහ ඒ මුළාවෙන් බේරී ලෝක ධර්මතාවන්ට
මුහුණ දෙන්නට වීර්යය කළ යුතු ය.
ජීවිතයේ විවිධ අභාග්‍ය සම්පන්න අවස්ථා අපි කොතෙකුත් දකිමු.
ඒ දුක් විපත්වලින් රැකවරණය පිණිස විවිධ පුද්ගලයින්ගෙන් පිහිට
පතමු. එහෙත් ඒ ආරක්ෂාව ඇත්තේ තමන් තුළ ම බව දන්නේ අල්ප
පිරිසකි. දුක්, ව්‍යසන ඉදිරියේ නිසි රැකවරණය ලැබෙන එකම මඟ
සිල්වත්කම ය. සම්බුදු දහම අනුශාසනා කරන්නේ සීලයේ පිහිටා
සිටින්නේ, එය ආරක්ෂිත ස්ථානයක් බව ය. සීලයෙහි අරමුණ රකින්නාට
පිහිට ලබා දීම බව ය. එය මෙලොවට සේ ම පරලොවට ද හිමි ය.
සිව්වණක් පිරිස අතර උපාසක උපාසිකා යන ගිහි පිරිසට අනුදැන
වදාළ පංච ශීල ප්‍රතිපදාවේ පළමු සිල්පදයට පමණක් අවධානය යොමු කළේ
නම් ප්‍රාණඝාතයෙන් වැළකීම සේ ම අනුන් ප්‍රාණඝාතයෙන් වළක්වාලීම
තමන්ගේ දීර්ඝායුෂ වැඩෙන පින්කමකි. මෙලෙස සියලු සිල් පද තුළ
සුරැකෙන්නේ තමන්ගේ රැකවරණයයි. එය සෙවිය යුතු අනුන් තුළ නොව
තමන් වෙතින් ම ය. |