[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බහුශ්‍රැත ධර්මධරයන් වහන්සේ

බහුශ්‍රැත ධර්මධරයන් වහන්සේ

භික්ෂූන් වහන්සේ බහුශ්‍රැත වේ නම්, ධර්මධර වේ නම් උන් වහන්සේගේ භික්‍ෂුත්වය ඉතා අනර්ඝ වූවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධ සාවකං නෙක්ඛං ජම්බොනදස්සෙව - කො තං නින්දිතුමරහති දේවාපි නං පසංසන්ති - බ්‍රහ්මුණාපි පසංසිතො (අප්පස්සුත සූත්‍රය අං.නි.)

ධර්මය බොහෝ සේ උගත්, ධර්මය මතකයේ රඳවා ගෙන වෙසෙන, ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවකයා පිරිසුදු දඹරන් හා සමාන ය. ඔහු හෙළා දකින්නට කවුරු නම් සමත් වේ ද? දෙවියෝ ද ඔහු පසසති. බ්‍රහ්මයා විසින් ද හේ පසසන ලද්දේ ය.

බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ සංඝයා හොබවන බව සොභෙන්ති සූත්‍රයෙන් පැහැදිලි වේ. සංඝයා - භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සතරාකාර වේ. ඒ කවර සංඝයා අතර වුව ද, ව්‍යක්ත (දක්‍ෂ,නිපුණ) විනීත (හික්මුණු - සංවර) විසාරද (නොසැලෙන - එඩිතර නුවණැති) බහුශ්‍රැත (බොහෝ සෙයින් ධර්මය උගත්) ධර්මධර (උගත් ධර්මය මතකයේ ඇති) ධර්මානුධර්මප්‍රතිපන්න (ධර්මානුකූලව පිළිපදින) පුද්ගලයා එම සංඝතලය හොබවන්නේ ය.

ඒ අනුව බහුශ්‍රැත ධර්මධරයකු හඳුනා ගැනීමට උපකාර වන ලක්‍ෂණ පිළිබඳ ව විග්‍රහයක් අංගුත්තර නිකායෙහි ඛිප්පනිසන්ති සූත්‍රයෙන් පෙන්වා දේ.

ඛිප්පනිසන්ති - එක්වර ම අසා ගැනීමේ සමත් බව

සුග්ගහීතගාහී - ඒ ඇසූ දේ නොගිලිහී ග්‍රහණය කර ගන්නා බව

බහුං ච ගණ්හාති - එසේ බොහෝ දේ ග්‍රහණය කර ගැනීමෙහි සමත් බව

ගහිතං චස්ස නප්පමුස්සති - ඔහු ග්‍රහණය කරගත් දේ අමතක නොවන බව

යනාදී සුවිශේෂ ශක්තීන් කෙනකුට ලැබෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනය මඟිනි. එම

ඉගෙනීමේ දී ප්‍රගුණ කළ යුතු අංශ පහකි.

අත්ථ කුසලො හොති - අටුවා පෙරළා අරුත් සපයා ගැනීමටත්, අවශ්‍ය තැන අටුවා විවරණ සැපයීමටත්, අර්ථකථනයෙහිත් දක්‍ෂයකු විය යුතු ය.

ධම්ම කුසලො හොති - ත්‍රිපිටක පාලිය පෙරළා එහි ඇතුළත් නියම ධර්මය උකහා ගැනීමෙහි දක්‍ෂයකු විය යුතු ය.

නිරුත්ති කුසලො හොති - එකවර අර්ථය නොලැබෙන තැන දී ධාතු, ප්‍රකෘති, පද, ප්‍රභව, පද,සිද්ධි ඔස්සේ නිර්වචනය කිරීමේ දක්‍ෂයකු විය යුතු ය.

ව්‍යඤ්ජන කුසලො හොති - ව්‍යඤ්ජන යන්නේ අරුත් දෙකකි.

අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්නා අක්ෂර, පද, වාක්‍ය යන භාෂාමය මෙවලම ව්‍යඤ්ජන නම් වේ.

වචනයක ඇති ප්‍රකාශන ශක්තිය ද ව්‍යඤ්ජන ශක්තිය නම් වේ.

මේ අනුව අක්‍ෂර, ප්‍රභේද, පද බෙදීම් ආදිය පිළිබද දක්‍ෂ බව මෙන් ම තැනට උචිත වචනය තෝරා ගැනීම ද යෙදී ඇති වචනයක සුවිශේෂත්වය වටහා ගැනීම ද ව්‍යඤ්ජන කුසල නම් වේ.

පුබ්බාපර කුසලො හොති - පසුව කියන දෙය පෙර කී දේ හා ගැලපේ ද කියා, ධර්මයේ ඒ තැන්වල එන කරුණු හා සසඳා බැලීමෙහි දක්‍ෂයකු විය යුතුය. බහුශ්‍රැත බව සංවර්ධනය කර ගන්නා ආකාරය බහුශ්‍රැත ධර්මධරයකු ගේ මූලික ලක්‍ෂණ මෙන් ම මූලික දැනුම යට කියන ලදී.

මීළඟට බහුශ්‍රැත ධර්මධරභාවය සංවර්ධනය සඳහා අවශ්‍ය කරුණු සහ ඊට අනුගමනය කළ යුතු පිළිවෙත ද දහමෙහි සඳහන් ව තිබේ. සංවර්ධනය සඳහා අවශ්‍ය කරුණු සතරකි.

අස්සුතං ච ධම්මං සුණාති - නො ඇසූ දහම් අසා ගනී.

සුතාචස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති - ඇසූ දහම් අමතක ව නොය යි.

යෙචස්ස ධම්මා පුබ්බෙ සම්පුට්ඨ පුබ්බා තෙ ච සමුදාචරන්ති - පෙර අසා හුරු පුරුදු දහම් අවශ්‍ය විට සිහියට නැඟී එයි.

අවිඤ්ඤාතඤ්ච විජානාති -

මෙතෙක් නොදත් දේ දැන ගනී.

මෙකී කරුණු සපුරා ගැනීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙත් හයක් පිළිබඳව අං. නිකායෙහි ආනන්ද සූත්‍රයෙහි සඳහන් වේ. වරක් සැරියුත් තෙරණුවෝ ආනන්ද තෙරුන් වෙතින් බහුශ්‍රැත බව සඳහා උපකාර වන කරුණු විමසා සිටීමේදී අනඳ තෙරුන් විසින් මෙසේ පෙන්වා දේ.

ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති - මේ සසුනේ භික්‍ෂුව ධර්මය ප්‍රගුණ කරයි.

යථා සුතං යථා පරියත්තං ධම්මං - විත්ථාරෙන පරෙසං දෙසෙති

අසා ප්‍රගුණ කරගත් ධර්මය ඒ අයුරින් ම සවිස්තර ව අනුන්ට දේශනා කරයි.

යථා සුතං යථා පරියත්තං ධම්මං - විත්ථාරෙන පරෙසං වාචෙති

ප්‍රගුණ කරගත් පරිද්දෙන් ම සවිස්තර ව අනුන්ට පාඩම් කරවයි.

යථා සුතං යථා පරියත්තං ධම්මං - විත්ථාරෙන සජ්ඣායං කරොති

ධර්මය අසා ප්‍රගුණ කළ පරිද්දෙන් ම සවිස්තර ව සජ්ඣායනා කරයි.

යථා සුතං යථා පරියත්තං ධම්මං චෙතසා අනුචිතක්කෙති අනුවිචාරෙති

මනසානුපෙක්ඛති - අසා ප්‍රගුණ කළ ධර්මය සිතින් සිතා බලයි, සිතින් සලකා බලයි,

සිතින් විමසා බලයි.

යස්මිං අවාසෙ ථෙරා භික්ඛු විහරන්ති - බහුස්සුතා, ආගතාගමා, ධම්මධරා, විනයධරා,

මාතිකාධරා තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ කාලෙන කාලං උපසංකමිත්වා

පරිපුච්ඡති - පරිපඤ්හති ඉදං භන්තෙ කථං ? ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ

ආසස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානී කරොන්ති, අනෙක විහිතෙසු ච කංඛාඨානියෙසු ධම්මෙසු කංඛං පටිවිනෝදෙන්ති.

යම් ආවාසයක නිකාය ග්‍රන්ථාවබෝධය ඇති, බහුශ්‍රැත, ධර්මධර, විනයධර, ප්‍රාතිමෝක්‍ෂධර වැඩිහිටි භික්‍ෂූහු වෙසෙත් නම්, ඒ ආවාසයක වස් වසයි. වරින්වර උන්වහන්සේ වෙත එළඹ, ස්වාමීනි, මෙය කෙසේ ද? මෙහි අර්ථය කුමක්ද? යි ප්‍රශ්න කරයි. විමසයි. එවිට උන්වහන්සේට ඒ තෙරවරු හෙළි නොවූ දේ හෙළි කරති. පැහැදිලි නොවූ දේ පැහැදිලි කර දෙති. නොයෙක් සැක තැන් පිළිබඳ සැක දුරු කරති.

සෑම භික්‍ෂූන් වහන්සේ නමකට ම බහුශ්‍රැත, ධර්මධර හෝ විනයධර විය නොහැකි ය. අතීතයේ ද එසේ වී නැත. එහෙත් මීට දශක දෙක තුනකට තරම් පෙර අවධිය වන තුරු ලංකාවේ ඇති තරම් බහුශ්‍රැත, ධර්මධර තෙරවරු වැඩසිටියහ. අද තත්වය එය නොවේ. පිරිසක් විභාග සහතික ලැබෙන තුරු පමණක් ඉගෙන ගෙන විවිධ දේ කරමින් පසුවෙති. තවත් පිරිසක් ඉගෙන ගත්තත් ඉගෙන ගන්නේ ධර්මය නොව වෙනත් විෂයයන් ය. ධර්ම විනය හදාරන කෙනෙක් නැති තරම් ය.

සෑම විෂයයක් ම ඉගෙනීමට ලංකාවේ පහසුකම් සපයා තිබේ. එහෙත් ධර්ම විනය පර්යේෂණාත්මක ව ගැඹුරින් හැදෑරීමට ඇති අවස්ථා අල්ප ය. සුලබ ද නොවේ. එහෙත් වෙන කවරදාටත් වඩා පුළුල් මාධ්‍ය ජාලයක් තුළ ධර්ම දේශනා, සෙත් පිරිත්, ධර්ම චින්තා දී ධර්ම ප්‍රචාරණ අවස්ථා බහුල වී ඇත. ඒ අතරිනුත් ධර්ම සාකච්ඡා ඉතා දුර්ලභ ය. වැඩ සටහන්වලට ඉදිරිපත් වන අයගෙන් 90%ක් ම පාලිභාෂා ඥානය හෝ ධර්ම ඥානය අතින් හෝ ඉතා දුර්වල ය. මේ

අද පවතින පාලි භාෂා සහ ත්‍රිපිටක ධර්ම අධ්‍යයනයේ බිඳ වැටීමේ ප්‍රතිඵලය යි. මෙසේ පැවතීගෙන ගියහොත් නුදුරු අනාගතයේ භික්‍ෂූන් වහන්සේ නුවර යුගයේ ගණින්නාන්සේ මෙන් නිසි දැනුමක් නැති, ආගමික කටයුතු පමණක් සපුරමින් පන්සල් වෙහෙර විහාර බලා කියාගන්නා පිරිසක් ලෙස සමාජයෙන් කොන්ව යෑමට ඉඩ ඇත. ඊළඟ අවධානම නම් නුවර යුගයේ සිදුවුණා සේ ම ශාසනය ද ඇදවැටීම ය.

මේ භයානක විපත මුලදී ම දුටු බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට එය තේරුම් ගෙන මේ තත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය අනාගත භය සූත්‍රයේ දී මෙසේ වදාරති.

“මහණෙනි, අනාගත කාලයෙහි දියුණු නොකළ කාය සංවර ඇති, දියුණු නොකළ ශීල සංවර ඇති, දියුණු නොකළ මනස් ඇති, දියුණු නොකළ නුවණ ඇති භික්‍ෂූහු පහළ වෙති. එබඳු වූ ඔවුහු තථාගත දේශිත ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලොව්තුරා දහම් පැවසෙන, ශුන්‍යතාවයට (නිවනට) අයත් සූත්‍ර ධර්ම දෙසන විට ඒවා අසන්නට රුචි නො වෙති. ඊට කන් යොමු නො කරති. ඒවා දැන ගැනීමට සිත නො යොදති. ඒ දහම් උගත යුතු යැයි, ප්‍රගුණ කළ යුතු යැයි නො සිතති.

ඒ වෙනුවට කවියන් විසින් ගොතන ලද, කාව්‍යාත්මක, විසිතුරු අක්‍ෂර - පද පිහිටුවා රචිත, විසිතුරු වාක්‍ය ඇති, මේ සසුනෙන් බාහිර වූ, බාහිර ශ්‍රාවකයන් විසින් ප්‍රකාශිත සූත්‍ර ධර්ම ආදිය ඇසීමට ප්‍රිය කරති. ඒවාට කන් යොමු කරති. දැන ගැනීමට සිත යොමු කරති. ඒවා උගත යුතු ය, ප්‍රගුණ කළ යුතු ය, යැයි සිතති. මහණෙනි, මෙසේ ධර්මය දූෂණය වීමෙන් විනය දූෂණය වේ. විනය දූෂණය වීමෙන් ධර්මය දූෂණය වේ.

“ඉදං භික්ඛවේ චතුත්ථං අනාගත භයං එතරති අසමුප්පන්නං, ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣ්තබ්බං, පටිබුජ්ඣ්ත්වා ච තස්ස පහාණාය වායමිතබ්බං”

මහණෙනි, මේ සතරවැනි අනාගත භය යි. එය දැන් පහළ වී නැත. අනාගතයෙහි පහළ වන්නේ ය. එය ඔබ වටහාගත යුතු ය. එය වටහාගෙන එය වැළැක්වීමට උත්සුක විය යුතු ය. යනු එම පාඨයේ අදහස යි.

මේ තත්වය වැළැක්වීමට මේ දක්වා වැඩ විසූ සඟ පරපුර සෑහෙන වෙහෙසක් දැරුව ද එය මෑත කාලයේ අඩාල වී ගොස් ඇති බව පෙනේ. ඒ නිසා ම ඉහත සූත්‍රයේ සඳහන් තත්ත්වය අද ඉස්මතු වෙමින් පවතී. භික්‍ෂූන් වහන්සේ ධර්මය හැර වෙනත් විෂයයන් ප්‍රධාන විෂය ධාරාව ලෙස තෝරා ගැනීම මෙයට එක් නිදසුනකි. බාහිර සූත්‍ර ආදියට නැඹුරු වීම ගැන හොඳ ම නිදසුන නම් සෙත් පිරිත් කියා, යන්ත්‍ර මන්ත්‍ර දේශනා කිරීමට පුරුදු වීම ය. මෙම තත්වයෙන් නවක, මධ්‍යම, ථෙර යන කිසි අංශයක් ගැලවී නැත. ධර්මධර, විනයධර, ආගතාගාම (නිකාය ග්‍රන්ථවල හසල) භික්‍ෂූන් කෙතරම් හිඟවී ඇත් ද යන්නට මේ නිදසුන් හැරුණු විට දිනපතා ඇසෙන ධර්ම දේශනාවල තත්වය සලකා බැලීමෙන් ද වටහාගත හැකි ය.

උඳුවප් අමාවක

දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]