[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පනානේ සද්ධාතිස්ස නාහිමියෝ අනුනායක පදවි ලබති

පනානේ සද්ධාතිස්ස නාහිමියෝ අනුනායක පදවි ලබති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංස විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පනානේ සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ ස්වකීය නිකාය පාර්ශ්වය විසින් පත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනාන ගමේ විසූ පින්වත් මවු පිය දෙපළකට 1942 වර්ෂයේ දෙසැම්බර් මස 14 වැනි දින උපන් මෙම පින්වන්ත කුල දරුවා පනාන කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

පාසල් අධ්‍යාපනය ලබන කාලයේ දී ම පනාන විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති කිරිමැටිතැන්නේ විමලවංස නාහිමියන් වෙතින් පැවිද්දට අවශ්‍ය මූලික අධ්‍යාපනය ලබා ගත්හ.

1955 නොවැම්බර් මස 10 වැනි දින පනාන ශශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී අග්ග මහා පණ්ඩිත අභිධජ මහා රට්ඨ ගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පනාන ඉලුක්කුඹුර ඉසිපතනාරාමාධිපති වැල්කෙනියායේ විමලතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පනානේ සද්ධාතිස්ස යන ශාසනික නාමයෙන් ප්‍රවෘජ්ජා භූමියට පත්විය.

පැවිද්දට අවශ්‍ය මූලික බණ දහම් ස්වකීය පැවිදි ආචාර්යයන් වහන්සේ වෙතින් ලබාගෙන පිරිවෙන් අධ්‍යාපනය සඳහා 1959 වසරේ දී දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී උන්වහන්සේට අතිපූජ්‍ය දුනුකේවල ධම්මාරාම මාහිමියන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහය ලැබුණි. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, ඉතිහාසය යන විෂයයන් හදාරා ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාගවලින් සාමාර්ථය ලබා ගත් අප කතානායකයාණන් වහන්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය 1965 වර්ෂයේ දී සමත් වූහ. එකල විද්‍යාලංකාර පිරිවෙන (අද කැලණිය විශ්ව විද්‍යාලය) ශශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කළ අතර, පසු කලෙක ශාසනය බැබළවූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය මාදුළුවාවේ සෝභිත හිමි යන කීර්තීමත් සංඝ පීතෘවරයන් වහන්සේ සමඟ සමකාලීන ව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා විය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ඕපනායක ශශ්‍රී විජයරාමස්ථ අභයරාජ පිරිවෙනෙහි ද, පසුව ගොඩකවෙල කොස්නාතොට සිරි දම්රජ පිරිවෙනෙහි ද ආචාර්යවරයකු සහ පරිවේණාධිපතිවරයකු ලෙස උන්වහන්සේ ඉටු කළ සේවය අනභිභවනිය ය. උන්වහන්සේගේ ජීවීතයේ අතිශයින්ම ආදර්ශවත් පරිච්ඡේදය වන්නේ 1976 සිට 1984 දක්වා වූ කාලයයි. සිය ගුරුදේවයාණන් වහන්සේ වූ වැල්කෙනියායේ විමලතිස්ස නාහිමියන් රෝගාතුර වූ කල්හි සියලු ශාස්ත්‍රීය සහ පරිපාලනමය කටයුතු පසෙක ලා උන්වහන්සේට උපස්ථාන කිරීම සඳහා කැප වූයේ ය. 1980 වර්ෂයේ දී ගුරු හිමියන් අපවත් වීමෙන් පසුව සිය ශාසනික පැවිදි සහෝදර බුළුවානේ විමලධීර හිමියන් රෝගාතුර වූයෙන් උන්වහන්සේට ද උපස්ථාන කරමින් වසර අටක පමණ කාලයක් කළ ගුණ සැලකීමේ මහා පින්කම සිදු කර ගත්හ.

1980 වර්ෂයේ දී ස්වකීය ගුරුදේවයාණන් වහන්සේ අපවත් වූ පසු පනාන ඉසිපතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත් වූ සද්ධාතිස්ස හිමියන් පා ගමනින් වැඩම කරමින් ඉටු කළ ශාසනික සේවාව ඉතා විශාල ය. එකල වාහන පහසුකම් නොමැති ව ඕපනායක සිට අකරැල්ල හරහා ඉලුක්කුඹුරට වැඩම කරමින් ජනතාවගේ ආගමික අවශ්‍යතා කැපවීමෙන් යුතුව ඉටු කළහ.

1985 වර්ෂයේ දී රක්වාන කැන්දේපොල ශශ්‍රී ගංගාරාම විහාරස්ථානය භාරව එහි වැඩම කොට විහාරාරාංග ඉදිකරමින් ගම්මාන 06ක පවුල් 600ක් පමණ ජනතාවගේ ආගමික අවශ්‍යතා කැපවීමෙන් ඉටු කළහ.

ගොඩකවෙල දම්රජ පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් සේවය කරන සමයේ උන්වහන්සේ වෙතින් අධ්‍යාපනය ලබා දැනට ශශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධූරයක් දරන පනහඩුවේ යසස්සි හිමියන් ද වෙති. මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන පින්නගල පඤ්ඤාතිස්ස හිමි, අලවත්තැන්නේ සුගුණතිස්ස හිමි, අත්තනකැටියේ සුනන්ද හිමි ඇතුළු ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කර ඇත.

2012 වර්ෂයේ දී ශශ්‍රී ලංකා අමරපුර වජිරවංස පාර්ශ්වයේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක පදවිය ද, පසු කාලීනව මහෝපාධ්‍යාය ධූරයෙන් ද පිදුම් ලැබූහ.

2024 ජූනි මස නෙල්ලිවල විමලජෝති මහා නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි ස්වකීය විහාර පාර්ශවයේ මහානායක පදවියට පත් වූහ. එයින් පුරප්පාඩූ වූ අනු නායක පදවියට අප පනානේ සද්ධාතිස්ස නා හිමි පත් වූයේ “සිරි සුගත ශාසනාලංකාර” යන ගෞරව නාමයත් සමඟ ය.

ගොඩකවෙල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති වශයෙන් වසර 27 සේවය කර ඇත. පසු ගියදා අභිනව අනුනාහිමි පදවියට හිමි අක්තපත්‍රය පල්ලේකන්දේ රතනසාර මහා නාහිමියන් වෙතින් ද, විජිනිපත අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී දර්ශනපති බලපිටියේ සීවලී නාහිමියන් වෙතින් ද, ලබා ගන්නා ලදී.

ආදර්ශයෙන් උපදේශනයෙන් සමස්ත භික්‍ෂු ශාසනයට මඟ පෙන්වන සීලයෙන් ගුණයෙන් තපසින් සොබමන් අනුනාහිමියන්ට දිගාසිරි ලැබේවා...!

උඳුවප් අමාවක

දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]