[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුනේ රැකවරණයට පිළිපැදිය යුතු ගුණාංග

දිනක් සැරියුත්, මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම දහසක් වූ භික්ෂු පිරිසක් කැටුව රජගහ නුවර දින කිහිපයක් වැඩ හිඳ ජනයාට ධර්මාවබෝධය ලබා දෙමින් කල්ගත කළ සේක්හ.

දිනක්, රජගහනුවර වැසියන් සැරියුත් හිමියන් ප්‍රමුඛ එම දහසක් වූ භික්ෂු පිරිවර උදෙසා දානයක් සූදානම් කරමින් සිටි අතර, එහි පැමිණි එක් වෙළෙන්දෙක් දානය සූදානම් කරන ජනයා වෙත ගොස් “දානෝපකරණවල අඩුපාඩුවක් වූ විට මෙය විකුණා ලැබෙන මුදලින් අඩුපාඩු පිරිමසා ගන්න. අඩුපාඩුවක් නො වුණහොත් කැමැති භික්ෂුවකට පූජා කරන්න.” යි පවසා කහවණු ලක්ෂයක් වටිනා කාෂාය වස්ත්‍රයක් දී ගියේ ය.

දානය සඳහා කිසිදු අඩුවක් නො වූයෙන් එම වස්ත්‍රය භික්ෂුවකට පූජා කිරීමට තීරණය කළ අතර, බොහෝ දෙනාගේ එකඟතාව පරිදි එය පූජා කරන ලද්දේ එක් කාලයකට පමණක් රජගහනුවරට වැඩම කරන සැරියුත් හිමියන් වෙත නොව, රජගහනුවර සමීපයෙහි ම වාසය කරන බැවින් ජනයා වෙත කුළුපඟ වූ දෙව්දත් තෙරණුවන් වෙත ය.

සැදැහැයෙන් පිළිගන්වන ලද කාෂාය වස්ත්‍රය ද හැඳ පෙරව දුසිල්වත් භික්ෂු පිරිසක් සමඟ නුවර හැසිරෙන දෙව්දත් තෙරණුවන් දුටු එනුවර වැසියෝ දෙව්දත් තෙරුන්ගේ ගුණගරුක බවින් තොර හැසිරීමෙන් කළකිරීමට පත් ව “තුම් වූ වැඳුම් පිදුම් ලබන කාෂාය වස්ත්‍රයක් දැරීමට සුදුසු වන්නේ ගුණයෙන් පිරි සැරියුත් තෙරණුවන් වැනි භික්ෂුවක මිස ගුණයෙන් හීන දෙව්දත් තෙර වැනි භික්ෂුවක නොවේ” යි දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපයට නිග්‍රහ කළහ.

බුදුරජාණන් වහන්සේ ද දෙව්දත් තෙරුන්ගේ මෙම ක්‍රියා කලාපය ගර්හාවට ලක් කරමින් දේවදත්ත පෙර භවයක දී ද මෙසේ නිර්වාණාවබෝධය හැර වෙනත් අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ උපායක් ලෙස කසාවත් දැරූ ආකාරය දැක්වෙන කතා ප්‍රවෘත්තියක් දක්වා වදාළ සේක.

දේවදත්ත අතීත භවයක ඇතුන් මරා දළ, මස් ආදිය විකුණා ජීවත්වන්නකු ව සිටියදී අප බෝධිසත්වයන් වහන්සේ ඇතුන් පිරිසකට නායක ව ඇත් රජකු ව වෙසෙති. මෙම ඇත් රජු ප්‍රමුඛ ඇත් පන්තිය තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා ඇති අතර, එම ප්‍රදේශයෙහි වැඩ වාසය කළ පසේ බුදුරජාණන් වහන්සේ නම වනයෙහි දී සම්මුඛ වූ විටෙක උන්වහන්සේට දණ නමා වැඳ ආචාර කර යති.

පසේ බුදුරදුන් හමුවෙහි සන්සුන් වන ඇතුන් දුටු ඇත් මරන්නා, මින්පසු ඇතුන් පිටුපස හඹාගෙන ගොස් වෙහෙස වී ඇතුන් මරා ගැනීමට වඩා පසේ බුදුවරයකු සේ පෙනීසිට ඇතුන් සෙමින් ගමන් කරවීමට සලස්වා පසුපසින් ම එන ඇතා මරාගෙන යාම හොඳ උපක්‍රමයකි’යි සිතා, එක්තරා පසේබුදුනමක ගංගාවක ස්නානය කරන අතරතුර ඉවුරෙහි තබා තිබුණු සිවුර සොරකම් කරගෙන ගොස්, තම ආයුධත් ආවරණය වන පරිදි එය පෙරවාගෙන ඇතුන් යනෙන ගමන් මඟ පෙනී සිටිමින් බොහෝ ඇතුන් ප්‍රමාණයක් මරා දමමින් ජීවිකාව කරගෙන ගියේ ය.

තම ගණයේ පිරිවර අඩුවීමට හේතුව පැවිදි වෙසින් සිටින ඇත්මරුවකුදෝ’යි සැක සිතූ බෝසත් ඇත් රජ තෙමෙ දිනක් සියල්ලන්ට පසුපසින් පැමිණ ඇත්මරුවා තමාට පහරදීමට එළඹෙනවාත් සමඟ ම ඔහු වෙත කඩා පැන ඔහු සොඬින් අල්වාගත්තේ ය. බියපත් වූ ඇත්මරුවා තම ජීවිතය බේරාගනු පිණිස එකී සිවුර ගෙනහැර පෑවේ ය.

“ඉතින් මම මූට ද්වේෂ කළොත් නොයෙක් දහස් ගණන් පසේ බුදුවරයන් කෙරෙහි මගේ පවත්නා සැදැහැය සහ ලජ්ජාභය දෙක බිඳගත්තා වන්නේ ය” යි

සිතූ බෝසත් ඇත් රජ තෙමෙ තමන්ට නුසුදුසු, රහතුන්ට සුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන මෙබඳු දෙයක් කරන තා බැරෑරුම් පාප කර්මයක් කරන ලද්දේය’යි නිග්‍රහ කොට ‘අනික්කසාවො කාසාවං’ ආදී ගාථාවන් වදාරා ඇත් මරුවාට තර්ජනය කොට ඔහු සදහටම එම වන පෙදෙසින් පළවා හැරියේ ය.

අනුවණ විනිශ්චය,

තණ්හා, ද්වේශ ආදියෙන් සිත මඩනා ලද පුද්ගලයා තම පවිටු අරමුණු ඉටු කර ගැනීම සඳහා විපාකවල බරපතළ බව පවා නොසලකමින් පාප ක්‍රියාවන්හි යෙදීමට මැළි නොවන ආකාරය මෙම කතා ප්‍රවෘත්තියෙන් විස්තර කෙරේ.

දේවදත්තයන් පැවිදි වී නොබෝ කලෙකින් පුහුදුන් සෘද්ධිබල ලබාගත් නමුදු, එය තම ආධ්‍යාත්මික අභිවෘද්ධිය පිණිස උපයෝගි කර ගනු වෙනුවට ඉන් උදම් වී, තමා බුදුරදුන් සමඟ සම කරමින් සමස්ත භික්ෂු සමාජය ම නින්දාවට ලක්වන සේ කල් ගෙවීය. දේවදත්ත සමඟ පැවිදි වූ අනෙකුත් ශාක්‍ය කුමාරවරු පැවිදි දිවියෙන් උපරිම ඵල නෙළාගත් නමුත්, දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේගේ දිවි තොර කිරීමේ උපායයන් අත්හදා බලමින් සිටියා විනා ශ්‍රමණ ධර්මයෙහි උත්සුක නොවීය.

රජගහනුවර වැසියන් ද, ඔවුන් ලද අතිරේක වස්ත්‍රය පූජා කිරීමේ දී පූජාර්හ පුද්ගලයන් වෙසෙසින් හඳුනා ගැනීමෙහි සමත් නොවූහ. ඔවුන් පූජාර්හ පුද්ගලයා නිශ්චය කරන ලද්දේ භික්ෂුවගේ ශීලාදී ගුණයන් අනුව නොව ගිහියාට දක්වන කුළුපඟතාව අනුව ය. එම අනුවණ විනිශ්චය ම ඔවුන්ගේ පසුතැවීමට හේතු විය.

චීවරය හෙවත් කසාවත යනු උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස පිළිවෙත් සපුරන, උසස් ශීල ප්‍රතිපදාවකට අනුව දිවි පවත්වන්නා වූ භික්ෂු පිරිස සංකේතවත් කරන වස්ත්‍රයයි. බුද්ධ දේශනාවෙහි කසාවත ‘අර්හත් ධජය’ ලෙස ද හඳුන්වා තිබේ. චීවරය දරා සිටීමෙන් එම උතුම් සන්නිවේදනය කරනුයේ තමන් ගිහි බන්ධනවලින් තොර, සිවුපසයෙන් පමණක් සෑහීමකට පත්වන, කාමයන්ගෙන් ඉවත්ව සිටින, ජීවිතයෙහි සෑම ක්‍රියා කලාපයක් ම නිවන් මඟට එකඟ වූ චර්යාවක් ඇති තැනැත්තකු බව ය. එබැවින්, ගිහි පිරිස් භික්ෂු සංඝයා සමඟ කටයුතු කිරීමේ දී උන්වහන්සේගේ නිර්වාණගාමි ප්‍රතිපත්තිවලට බාධා නො වන පරිදි හැසිරීමට වගබලාගත යුතු බවට ද දැනුම්දීමක් සිදුකිරීමට චීවරය සංකේතයක් ලෙස භාවිත කෙරේ.

තිසරණය සරණ කොටගත් සැදැහැති පිරිස් භික්ෂූන් වහන්සේ නමකගේ ගුණ ස්කන්ධය මැනවින් හඳුනති. ශීල, සමාධි, ප්‍රඥා පිළිවෙත් තුළින් පුහුදුන් මිනිස් හැසිරීම ඉක්මවා සිටිමින්, සියලු සත්හට අනුකම්පා සහගත චර්යාවන් පවත්වන බැවින් භික්ෂූන් වහන්සේ නමකට සිදු කරන පූජාවක බොහෝ අනුසස් ඇති බව ඔවුහු දනිති.

ගිහි උපාසක පිරිසට වඩා, උපසම්පදා ශීලයෙන් හාත්පසින් අකුසලයෙන් සීමා වූ භික්ෂූන් වහන්සේ උදෙසා සිදුකරන පූජාවන් මහත්ඵල මහානිශංස නිපැයීමෙහි සමත් බව දන්නා බැවින්, තම ධනය සහ ශ්‍රමය භික්ෂූන් වහන්සේ උදෙසා පිදීමට සැදැහැතියෝ වඩාත් පි‍්‍රයවෙති.

එබැවින්, භික්ෂූන් වහන්සේ නමක හමුවේ යටහත්පහත් වූ චර්යාවන් පවත්වා ගැනීමටත්, කුසලය මහත්ඵල කර ගැනීමේ අරමුණින් සිවුපසයෙන් සංග්‍රහ කිරීමටත් සැදැහැතියෝ පෙළඹී සිටිති. නමුත්, භික්ෂුවකගේ ගුණය කෙරෙහි හටගත් ප්‍රසාදය හේතුවෙන් සැදැහැතියන් විසින් දක්වන මෙම හැසිරීම තමාගේ පවිටු අරමුණු ඉටු කර ගැනීම පිණිස ඔවුන් මෙහෙයැවීමේ හොඳ උපායකි’යි සිතමින් චීවරයක් දරා එමඟින් ගිහි හෝ පැවිදි හෝ පිරිස් තමන් වෙත නතු කර ගනිමින්, ඔවුන්ගේ ශ්‍රද්ධාව තම පවිටු අරමුණු ඉටුකර ගැනීමට අවභාවිත කිරීම වූ කලි මහත් වූ විපාක ඇති පාපයක් බව තමා විසින් ම කරුණු දැන අවබෝධ කර ගත යුතු ය.

පාපයෙහි හිරිඔතප් නැති දුසිල්වත් භික්ෂූන් මෙන් ම, පොහොය දිනවල දී දායකයින් විසින් සැදැහැයෙන් පිළිගන්වනු ලබන දානය වළඳා අන් අයට හිරිහැරයක් වන සේ හැසිරෙමින්, උඩඟුකමින් පිරිස් අතර යමින්, අනෙකාගේ ඕපාදූප සොයමින්, යහපත් හැසිරීමක් ඇති උවසුවන්ට ඇනුම් පද කියමින් සිටින සිල් සමාදන් වූ ගිහි පිරිස විසින් ද සිදු කරනු ලබනුයේ බලවත් අකුසලයක් බව ද සිහිපත් කළ යුතු ය.

එබැවින්, ආර්ය අෂ්ටාංගික පිළිවෙත් හි විශේෂයෙන් උනන්දු නොවුණ ද, කුසල් වැඩීමෙහි විශේෂයෙන් උනන්දු නොවුණ ද, උත්සහවත් නොවුණ ද, අකුසලයෙන් ඈත් ව සිටීම යනු අත්‍යර්ථයෙන් ම සිදුවිය යුත්තකි. එනම්, අකුසලයෙන් තමා වැළකෙමින්, අකුසල් වැඩෙන ක්‍රියා අන් අය ලවා කරවා ගැනීමෙන් වැළකෙමින්, අකුසලයට අනුබලදීමෙන් වැළකෙමින් තම ආධ්‍යාත්මික ගුණය පිරිහීමට නොදී ආරක්ෂා කර ගැනීමට ගිහි පැවිදි සැවොම කටයුතු කළ යුතු ය.

යම් භික්ෂුවක් ගුණවතුන්ගේ දෝෂදර්ශනයට ලක්වීමට බලපාන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ විසින් රජනීය සූත්‍රයේ දී පෙන්වා දුන් සේක. එනම්, රාගයට හේතුවන අරමුණක දී එහි ඇලීම, ද්වේශයට හේතුවන අරමුණෙහි ගැටීම, මෝහයට හේතුවන අරමුණෙහි මුළාවීම, කෝපයට හේතුවන අරමුණෙහි කිපීම සහ මදයට හේතුවන අරමුණෙහි මත්වීම යනුවෙනි.

ධම්මපදට්ඨ කතාවෙහි ඇතුළත් චූලකාල - මහාකාල වස්තුවෙහි ද විස්තර කරන පරිදි යම් අරමුණක් ලද කල්හි එහි සුබ, අසුබ ලකුණු අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමින්, සුබ අරමුණු ආත්ම, සුඛ ලෙස සලකමින්, ප්‍රඥාවෙන් මෙහෙයවනු ලබන ඉන්ද්‍රියයන් නැති ව වසන භික්ෂුව චූළකාල තෙරණුවන් මෙන් වහා පරිහාණියට පත් වේ.

දෙව්දත් තෙරණුවන්ගේ සිත මැඩගෙන පැවති අෂ්ට අසද්ධර්මයන් හේතුවෙන් උන්වහන්සේට ලෞකික ධ්‍යාන ඉක්මවා නිර්වාණාවබෝධය ලැබීමට පැවති අවස්ථාව ඇසිරිණි. එම අෂ්ට අසද්ධර්මයන් නම්, ලාභය, අලාභය, යසස, අයස, සත්කාරය, අසත්කාරය, පාපිච්චතාව සහ පාපමිත්‍රතාව යි.

අනෙකාට වඩා තමාට ලාභයක් සිදුවන කල්හි ඉන් උදම් වූ දෙව්දත් තෙරහු අලාභයක් සිදුවන විට ඉන් කිපුණහ.

යහපත සහ අයහපත සම්බන්ධයෙන් මැදහත් සිත පවත්වා ගනු වෙනුවට ඇලීම සහ ගැටීම යන අන්තයන් සේවනය කිරීම උන්වහන්සේගේ ගුණය පිරිහීමට කාරණ විය.

එසේ ම, භික්ෂුවකගේ උතුම් ප්‍රතිපත්තිය පිරිහීමට හේතුවන කරුණු හතක් මහාපරිනිබ්බාන සූත්‍රයෙහි ඇතුළත් වේ. එනම්, කම්මාරාමතා (නවකර්මයෙහි ඇළුණු බව), භස්සාරාමතා (ආලාපසාලාප සංඛ්‍යාත භාෂණයෙහි ඇළුණු බව), නිද්දාරාමතා (ථීනමිද්ධයෙන් මැඩුණු සිතක් පැවැත්වීම) ගණසංගණිකාරාමතා (පිරිස සමඟ විසීමෙහි ඇළුණු බව), පාපිච්ඡතා (ළාමක වූ ආශාවන් ලබා ගැනීමෙහි ඇළුණු බව), පාපමිත්තතා, පාපසහායතා, පාපසම්පවංකා (පාපමිත්‍රයන් ඇසුරු කිරීම, පාපයට සහායවන්නන් සමඟ සිටීම, පාපයෙහි ඇලුණු බව), ධ්‍යානාදී අල්පමාත්‍ර ලාභයෙන් තෘප්තියට පත්වෙමින් අර්හත්වය තෙක් කළයුතු පිළිවෙත්වල නොයෙදීම යන කරුණු හත යි.

ඉහත සඳහන් වූ පරිදි භික්ෂූන් වහන්සේ නමක් තම නිර්වාණගාමි පිළිවෙත් කෙරෙන් පිරිහීමට බලපාන කරුණු ගිහි සමාජයෙහි ආධ්‍යාත්මික පරිහාණිය පිණිස බලපාන බැවින් ඔවුන් ද මෙම පරිහාණිය ධර්ම කෙරෙන් ඉවත්ව සිටීමට උත්සාහවත් විය යුතු ය.

දැමුණු ඉන්ද්‍රියයන් ඇති, රාග, ද්වේශ, මෝහ අකුසලයන් පහ කළ පුද්ගලයා මහත් වූ සැනසීමක්, සුවයක් ලබයි.

සිතෙහි මුල්බැස ඇති අනේකවිධ කෙලෙස් සිතිවිලි සමථ භාවනාවන් තුළින් සුළු වේලාවකට හෝ යටපත් කර ගැනීමෙන් ඇතිවන සැනසීම එම පිළිවෙත්වල නිරත වන්නෝ දනිති. එබැවින්, අවිද්‍යාව දුරුකොට එමඟින් සසර පැවැත්ම පිළිබඳ ආශාව අත්හළ පුද්ගලයකුට දැනෙන නිදහස කෙ තරම් ද යන්න අනුමාන කළ හැකි ය.

සියලු ගිහි බන්ධන සමතයකට පත් කොට පැවිදි භූමියට ඇතුළත් ව, උපසම්පදා ශීලයෙන් තම තිදොර සංවර කරගත් උතුමන් වහන්සේ නමකට නිර්වාණගාමි පිළිවෙත් අනුගමනයත්, එහි දියුණුව කරා පියනැඟීමත් බෙහෙවින් පහසු වේ. බුදු මුවින් ධර්මය ශ්‍රවණය කළ, පෙර පිරූ පාරමිතා ඇති බොහෝ ගිහි පිරිස් නිර්වාණාවබෝධය පිණිස පැවිදි වූයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සාර්ථකත්වය පිණිස පැවිදි දිවි පැවැත්මෙන් ලැබෙන පිටිවහල වටහාගෙන සිටි බැවිනි. පැවිදි භාවයෙහි නිසි ප්‍රයෝජනය අත්පත් කර ගැනීම පිණිස අප්‍රමාදී ව කටයුතු කිරීමත්, නිවනට යොමුවූ සිත් ඇතිව මනා සිහිනුවණින් යුතුව වාසය කිරීමත් අවශ්‍ය ය. එසේ වාසය කරන නුවණැති භික්ෂුව දේවදත්ත තෙරණුවන් මෙන් විපිළිසර භාවයට පත් නොවි ඉක්මන් භවයක දී ම විමුක්තිසුවය අත්පත් කර ගැනීමට සමර්ථ වේ.

උඳුවප් අමාවක

දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]