කරමු පිණිපා
මුනිඳු සිරිපා
සිරිලක ශ්‍රීපාද පත්මය වන්දනා සමය සෑම වර්ෂයක් පාසාම උඳුවප් පුර පසළොස්වක පෝය
දිනයෙන් ආරම්භ වී වෙසක් පුන්සඳේ සඳ එළියෙන් නිමාවට පත්වේ.
සමස්ත ලෝකවාසී බොදු සැදැහැවතුන්ට මෙන්ම නා නා විධ ආගම් අදහන පිරිසගේ ද ශ්‍රී
පාදස්ථානය ගෞරව බහුමානයට පාත්‍ර වී ඇති බව පෙනේ. සමන්තකූට පුණ්‍ය භූමිය හෙවත් ශ්‍රී
පාදස්ථානය ගෞරවයට බඳුන් වී ඇත්තේ මෙහි විද්‍යමාන ගල් පර්වතයේ සලකුණු වී ඇති පාද
ලාංඡනය නිසා බව පොදු පිළිගැනීමයි.
යං නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිතෙ සුමනාච ලග්ගේ
යං තත්ථ යෝනකපුරේ මුණිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි
සිරිපා වන්දනා කරන එම ගාථාව අනුව ලෝකයේ ස්ථාන සතරක තථාගතයන් වහන්සේ ශ්‍රී පාද
ලාංඡනය පිහිටුවා ඇති බව කියැවේ.
ශ්‍රී පාදස්ථානයේ භූගෝලීය ආකෘතිය සැලකීමේ දී මෙම පුණ්‍ය භූමිය සිරිලක මධ්‍යම පළාතේ
සබරගමුව කඳුවැටියේ මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උසින් පිහිටා ඇත. මෙය කඳුරට තෙත්
කලාපයට අයිති ඝන වනාන්තරය තුළ වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ගවලින් සමන්විත හරිත
වර්ණයෙන් බැබළෙන වෘක්ෂලතා පරිසර පද්ධතියේ පහස ලබන අති සුන්දර මනස්කාන්ත පරිසරයක
පිහිටා ඇත. මෙහි දිස්වන ස්වභාව සෞන්දර්යයේ විචිත්‍රත්වය මෙන්ම එයින් ප්‍රකට වන
විශ්වාසයන් පාදක කර ගෙන අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් මෙන් ම දෙස් විදෙස්
වන්දනාකරුවන්ටත්, සංචාරක පිරිස්වලටත් මෙම කඳු ශිඛරය දැක බලා ගැනීම ආගමික භක්තිය
මෙන්ම සිතට සැනසීම ගෙනදෙන කාරණයක් බව ද සිහිපත් කරනු කැමැත්තෙමි. එහෙයින් ශ්‍රී
පාදස්ථානයේ ඓතිහාසික වැදගත්කම හා එහි විකාශය පිළිබඳ කරුණු සෙවීම වැදගත් කාරණයක් වනු
ඇත.
සිරිලක ප්‍රාග් බෞද්ධ යුගයේ සමන්තකූට පෙදෙස භාර වූ සුමනසමන් දෙවියන් ඇදහීමේ
චාරිත්‍රය ප්‍රචලිත ව පැවති බව කියයි. බෞද්ධ පුරා වෘත්තවලට අනුව තෙවැනිවරට සිරිලකට
වැඩම කළ බුදුරදුන් එදින කල්‍යාණ නදියේ දිය නා කැලණියේ දී දහවල් දානය වළඳා, සන්ධ්‍යා
භාගයේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයෙන් සමනොළ ගිරිකුල මත බුදුරජාණන් වහන්සේගේ වාම
ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ බව මහාවංශයේ දැක්වේ.
ශ්‍රීපාදය සොයා ගැනීම පිළිබඳ ඓතිහාසික පුවත් විවිධ වන්නේ ය. මිහිඳු හිමි දවස
සිරිපතුල සොයා ගත්තැයි විශ්වාසයක් පවතී. සමන්මල් පෙරහර අතීතයේ ශ්‍රී පාදය කේන්ද්‍ර
කරගෙන උඳුවප් පෝය දිනෙන් ඇරැඹ වෙසක් පෝය දිනෙන් අවසන් වූ බව කියැවේ. ඓතිහාසික
පුරාවෘත්ත අනුව සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය ප්‍රථමයෙන් සොයා ගත්තේ ක්‍රි.පූ. 104
වට්ටගාමිණී අභය රජතුමා බව සඳහන්ව ඇත. මෙම පුරාවෘත්තය විලියම් මැතිතුමා විසින් රචිත
ග්‍රන්ථයක සඳහන් කර ඇත.
වසර 14ක් වනගත ව සිටි වළගම්බා රජතුමා මුවෙක් පසුපස හඹායන්නේ අතර මඟ දී ශ්‍රී පාද
ලාංඡනය දැක එම පූජනීය වස්තුව යකඩ වැටකින් ආවරණය කළ බව කියැවේ. ක්‍රි.ව.1054 සිට
1114 රාජ්‍ය විචාළ 1 වැනි විජයබාහු රජ දවස සිරිපා වන්දනාවට මේ රටේ මිනිසුන් පෙළඹී
ඇති බව ඓතිහාසික මූලාශ්‍රවල දැක්වේ. ක්‍රි.ව. 1153 පළවැනි පරාක්‍රමබාහු රජතුමා ද,
පොලොන්නරුවේ නිශ්ශංකමල්ල රජතුමා ද, දඹදෙණියේ දෙවැනි පැරකුම් රජතුමා ද, සිරිපා
වන්දනාවේ ගිය බවත්, නියමිත පුද පූජා පැවැත් වූ බවත්, වංශ කතාවල දැක්වේ. ක්‍රි.ව.
1340 මැජිගෝ නම් ඉතාලි ජාතික තානාපතිවරයෙක්ද සමනලගිර තරණය කළේ ය. ක්‍රි.පූ. 327
ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජු පවා සමන්ගිර තරණය කළ බව කියයි.
මාර්කෝපෝලෝ, ෆාහියන් වැනි දේශාටකයින් ශ්‍රී පාදය වන්දනාමානයට පැමිණ ඇත. ලංකාව ගැන
ඉතිහාස ග්‍රන්ථයක් ලියන එමර්සන් මැනන් තම ග්‍රන්ථයේ ශ්‍රීපාදය ගැන තොරතුරු සඳහන්
කොට ඇත.
පොලොන්නරු යුගයෙන් පසු ශ්‍රී පාදය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ව පැවති බවට සාධක
එමට ය. ක්‍රි.ව. 1554 - 1593 සීතාවක 1 වැනි රාජසිංහ රජතුමා ශිව ආගම වැළඳගෙන
භික්ෂූන්ට හිරිහැර කළා පමණක් නොව ශ්‍රී පාදයේ භාරකාරත්වය හා පාලනය භික්ෂූන්ගෙන්
ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවරීය.
එතැන් සිට ශත වර්ෂ 1 1/2ක් පමණ ශ්‍රීපාදයේ භාරකාරීත්වය හා පාලනය බමුණු සන්නාසියන්
අතට පැවරුණි. ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ශ්‍රීපාද
පුදබිම යළිත් බෞද්ධයන් අතට පත්කරන ලදී. අසරණ සරණ සරණංකර හිමිපාණන්ගේ
මාර්ගෝපදේශකත්වය හා අනුශාසකත්වය පෙරදැරිව යළිත් සිරිලක උපසම්පදාව ස්ථාපිත කිරීමට
කටයුතු කළේ ය. ශ්‍රීපාදයේ භාරකාරකත්වය ද රජතුමා සන්නස් පත්‍රයකින් උන්වහන්සේට
පිරිනමා ඇත.
රාජාධිරාජසිංහ රාජ්‍ය යුගයේ දී ශ්‍රී පාදයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදී.
(ක්‍රි.ව.1789) අනතුරුව මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි, සමන්ගිර නායක හිමි බවට
පත්වූහ. කාලයාගේ ඇවෑමෙන් සංඝ නේතෘ පාදයාණන් වහන්සේ 9 දෙනෙක් එහි භාරකාරීත්වය දරා
ඇති බව ලේඛනගත ව ඇත. 1866 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිට භාරකාර පදවිය පිරිනමා
ඇත. 1954 දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට මෙම පදවිය පැවරුණි. උන්වහන්සේ ශ්‍රී
පාදයේ අභිවෘද්ධියට විසල් මෙහෙවරක් ඉටු කරන ලදී.
සිරිපා අසිරිය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවේශ මාර්ගය ගැන සඳහන් කිරීම
ද වැදගත් වෙයි. මේ සඳහා ප්‍රවේශ මාර්ග දෙකක් ඇත. හැටන් නල්ලතන්නිය හරහා යන මාර්ගය
සහ රත්නපුර පලාබද්දල හරහා යන මාර්ගයයි. මේ හැර කුරුවිට, එරත්න මාර්ගය, මුක්කුවත්ත
පාර, මුර්යාවත්ත පාර හා මාලිබොඩ යන මාර්ග පරිශීලනය කළ හැකි ය.
සිරිපා කරුණා කරන වාරය ඊසානදිග මෝසම් කාලය තුළ යෙදී ඇත්තේ වර්ෂාව අඩු හා ශීතල අඩු
කාලගුණික තත්ත්වයන් පවතින බැවිනි.
ශ්‍රීපාදය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු ඓතිහාසික හා අති සුන්දර
පූජා බිමකි. දොළොස් මහේ පහන, ඉදිකටුපාන, සීත ගඟුල, වන්දනාකරුවන්ගේ සුවිශේෂී ස්ථාන
ලෙස හැඳින්විය හැකි ය. මහවැලි, කැලණි, වලවේ, කළු යන ගංගාවෝ ස්වභාව සෞන්දර්යයෙන්
බැබළෙන අලංකාර සමන්ගිරෙන් උපත ලද්දෝ වෙති. මෙහි විද්‍යමාන ඉර සේවය ද සුලභ දර්ශනයකි.
මැදින් පෝය වන්දනා සමයේ උච්චතම අවස්ථාව වන්නේ ය. මෙහි විශේෂත්වය වන්නේ සියලු ජාතීන්
හා විවිධ ආගමිකයන් මෙම පුදබිමට සම්ප්‍රාප්ත වීමය.
මේ මහා භද්‍ර කල්පයේ මීට පෙර බුදු වූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප, තුන් බුදුවරුන්ගේ පා
සටහන් ද සමන්ත කූටය මත පිහිටා තිබූ බව පොලොන්නරු කාලයට අයත් පළමුවැනි විජයබාහු
රජතුමාගේ (1055 - 1111) අඹගමුව ශිලා ලිපිය කියයි.
මෙම ලිපිය ගිනිගත්හේන බදුපොළ ගම්මානයේ දැකගත හැකි ය. විශාල භූමි භාගයක පිහිටි සමනොළ
අඩවිය ලෝක ප්‍රකටව ඇති මෙම ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමිය හා ඒ ආශි‍්‍රත රක්ෂිතය මෙන් ම
ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් මනහර පරිසර පද්ධතිය රැක ගැනීම හා එය අනාගත පරපුරට
උරුම කිරීම අපගේ වගකීමක් වන්නේ ය.
- ටී. කුලසිරි ප්‍රනාන්දු |