සංවර විය යුතු ඇවතුම් පැවතුම්

සංවර විය යුතු ඇවතුම් පැවතුම්

සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. ඒ තුළින් ප්‍රමුදිතභාවය හොඳින් ඇති කර ගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න

සීල සංවරයේ හික්මෙන කෙනෙක් තුළ යහපත් ඇවතුම් පැවතුම් වර්ධනය කර ගන්නා ආකාරය තුළ දකින්නට ලැබෙන්නේ සුන්දර ජීවිත පරිවර්තනයක්. එය සිදුකර ගන්නා ආකාරය අපට පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. යම් ආකාරයක කායික, වාචසික ඇවතුම්පැවතුම් සේවනය කරද්දි අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම්, අන්න එවැනි ඇවතුම් පැවැතුම් සේවනය නො කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා.

ඒ වගේ ම යම් කායික, වාචසික ඇවතුම් පැවැතුම් සේවනය කරද්දී කුසල් දහම් වැඩෙයි නම්, අකුසල් දහම් පිරිහෙයි නම් එබඳු වූ ඇවැතුම් පැවැතුම් සේවනය කළ යුතු බවත් කියා දෙනවා.

කුසල් වැඩෙන ඇවතුම්, පැවතුම් මොනවාද යන්න තෝරා බේරා ගැනීමට අපට උපන් හැකියාවක් තියෙනවද? ඇත්තෙන් ම නැහැ. කාම ලෝකයේ ජීවත් වීමේ පහසුවට ‘මේ මේ දේ කළ යුතුයි, මේ මේ දේ නොකළ යුතුයි’ කියල පාසල් කාලෙ ඉඳන් උගන්වනව නේ ද? ඒ උගන්වන දේත් අපි කරමින් තමයි හැකියාවන් දියුණු කර ගන්නෙ. ඉන් එහාට දෙයක් තියෙනව කියල අපට වටහා ගැනීමේ නුවණක් තිබුණේ නැහැ නේද? කායික, වාචසික ක්‍රියා කරන විට මේ මේ කුසලය නිසා සිත පිරිසුදු වෙනවා. මේ මේ අකුසලය නිසා සිත අපිරිසුදු වෙනවා යන්න පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක් විසින්ම යි.

බලන්න, මේ ආකාරයෙන් කුසල් අකුසල් හඳුනා ගැනීමට උපදිනකොට ම අපට වැටහීමක් නැති නිසා පවත්වන්න ඕන උතුම් ඇසුරක් තමා කල්‍යාණ මිත්‍ර ඇසුර කියන්නේ. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්, ඒ ධර්මය ඇසීමෙන් තමයි මේ වැටහීම කෙනෙක්ට උදාවෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා.

“ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතාම සියුම්, නො පමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂ්ම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.” කියල. වැරැදි ඇසුරක් නිසා සංසාරයේ අපි වින්ද දුක්, මේ විඳිමින් ඉන්න දුක් ගැන හිතා බලන්න. ලෝකය අපට කියා දුන්න ආකාරයට අනුව ඒ ඒ තැනදි ඒ ඒ වචන කතා කරන්නත්, ඒ ඒ ක්‍රියා කරන්නත් විතරයි අපි දන්නෙ. එහි කුසලයක්, අකුසලයක් තියෙනවා කියන වැටහීම ඇති කරල දෙන්නෙ මේ ධර්මයෙන්. ඒ වැටහීම විස්තර කර දෙන්නෙ කල්‍යාණ මිත්‍ර ඇසුරක් ම යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුශාසනා කරනව.

“සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. ඒ තුළින් ප්‍රමුදිතභාවය හොඳින් ඇති කර ගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න. ඒ වගේම පිරිසුදු ජීවිකාව ඇති, කම්මැලි නැති කල්‍යාණ මිත්‍රයන්වත් ඇසුරු කරන්ට ඕනෙ.”

සැබෑ කල්‍යාණ මිත්‍ර ඇසුරේ දී යහපත් ඇවතුම් පැවතුම් ඇති කර ගන්නට අපට අවස්ථාව උදා වෙනවා. “මේක අකුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනවා" කියල කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහන්න ලැබෙන කොට අපි සිත අපිරිසුදු වන ඒ ක්‍රියාව අත් හරිනව. “මේක කුසල් සහගතයි කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තියෙනව" කියල අහන්න ලැබෙන කොට ඒ ක්‍රියාව බහුල වශයෙන් පුරුදු කරන්න අපි කැමැති වෙනවා. සාමාන්‍යයෙන් අපේ හිත අනුන් කියන දේ අහන්න, අනුන් කියන නීතිවලට යටහත් පහත් වෙන්න කැමැති නෑ. ඒ උපන් කැමැත්ත නැති නිසා නේ ද රටේ ලෝකෙ නීති තියෙන්නෙ? ඒ වගේම පොලීසිය හමුදාව වැනි නීතිය ආරක්ෂා කරන ස්ථාන තියෙන්නෙ? පිරිසක් එක්ක කටයුතු කරද්දී සංවරයෙහි ලා අපට උපන් හැකියාව නැති නිසා” පාසලේ දී, රැකියා ආයතනයේ දී, මඟතොටේ දී මේ මේ විදිහට හැසිරෙන්න “කියල සමාජ සම්මතයන් හා නීති ඇති කර ගන්නෙ එකිනෙකාගේ පහසුවට ම යි. ඒත් අපි ඒ පැනවීම් පිළිපදින්නේ නීතියට බයෙන්, දඬුවමට බයෙන් නේ ද? සසර දුකෙන් නිදහස් කරන මේ ධර්මයේ හික්මෙන ශ්‍රාවකයාට බයකින් හික්මවන ධර්මයක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ඔහුට උපදින්නේ කල්‍යාණ මිත්‍ර අවවාදයට ගෞරවයක් ම යි.” මේ මේ ආකාරයෙන් ඇවතුම් පැවතුම් සංවර කර ගන්න කියන අවවාදය ලැබෙන්නේ තමාගේත්, අනුන්ගේත්, සියලු දෙනාගේත් සිත පිරිසුදු වන කායික, වාචසික ක්‍රියා උපදවා ගැනීමට හේතුවන නිසා ම යි.” කියන වැටහීම ඔහුට තිබෙනව. අන්න ඒ හේතුවෙන් අපට සීල සංවරය තුළ සිත වඩන්නට අවස්ථාව උදා වෙනවා.

මේ සඳහා තමයි නිති කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර අවශ්‍ය ම කාරණයක් වෙන්නේ. කල්‍යාණ මිත්‍ර ඇසුරට හිත නැමෙන්නෙ ශ්‍රද්ධාවන්ත චරිතයකට පමණයි. අන්න එයා යහපත් අවවාදයට කීකරු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

“තව ද සුභූති, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිත ව පිළිගන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද, ඉවසීමෙන් යුක්ත වෙයි ද අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරුබුහුමන් සහිත ව පිළිගන්නේ වෙයි ද නම් මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.”

ඒ ආකාරයට කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වන කෙනාට, ඉවසීමෙන් යුක්ත වන කෙනාට, අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරුබුහුමන් සහිත ව පිළිගන්නා කෙනාට, මනා කොට කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරුව වාසය කිරීමේ ලාභය උදා වෙනවා. මේ ආකාරයට ශ්‍රද්ධා සම්පන්න චරිතයක් විසින් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පෙන්වා දෙන යහපත් ඇවතුම් පැවතුම් පැදකුණුූ කොට ගරු බුහුමන් සහිත ව පිළිගෙන ඒ තුළ හික්මෙනකොට, ඔහුට ම වැටහෙනවා. “මගේ සිත පිරිසුදු වෙනවා” කියන කාරණය.

ආචාර ගෝචර සම්පන්නභාවය පුරුදු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේට “සේඛියා” නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙනවා. සේඛියා කියන්නෙ මොනවා ද? සේඛ කියන්නෙ හික්මෙනවාට යි. බුදුරජාණන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට පැවිදි ජීවිතයේ හික්මීම පිණිස පැනවු සිල් පදවලටයි සේඛියා කියන්නේ.

සිවුරු හැඳීම, පෙරවීම ගැන සිල්පද හතරකුත්, ආහාර වැළඳීම ගැන සිල්පද තිහකුත්, ගමේ දී හැසිරීම ගැන සිල්පද විසි දෙකකුත්, දහම් දෙසීම ගැන සිල්පද දහසයකුත්, මලමූත්‍ර පහකිරීම ගැන සිල්පද තුනකුත් තමයි මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා තිබෙන්නේ.

අන්න ඒ ආකාරයට පරිහරණය කරන ඇඳුම් පැලඳුම් ගැන, පිළිවෙළට ආහාර ගැනීම ගැන, ඒ ඒ තැන යහපත් ව හැසිරීම ගැන අපට වැටහීමක් තිබිය යුතුයි. ගිහි ගෙදර දී පැවැත්විය යුතු යහපත් ඇවතුම් පැවතුම් මොනවා ද? ඒවා සීලය සඳහා උපකාර වන ආකාරයට පවත්වා ගන්නේ කෙසේද? කියන කාරණය සීල සංවරය තුළ හික්මෙන ශ්‍රාවකයා හොඳින් අවබෝධ කර ගත යුතු වෙනවා.

අපි කතා වුණ පරිදි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, සේඛ ධර්මයන් පුරුදු කරමින්, නිවන් මඟට මුල් වන ශික්ෂා පද තුළ සංවර වෙලා, යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වෙන කෙනාට වීරිය හොඳින් වැඩී යන බව අපි දැන ගත්තා. අන්න එයාට ධර්මය තුළ සිහිය පිහිටනවා. ඒ වීරියෙන් යුතු, ඒ සිහියෙන් යුතු කෙනාට ඉතාම කුඩා වරෙදේ පවා බිය දකිමින්, සමාදන් වී සිටින ශික්ෂා පද තුළ හික්මෙන්න වාසනාව උදාවෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? එයාට සෑම ක්‍රියාවක ම කුසලය, අකුසලය වැටහෙන නුවණක් පිහිටල තිබෙන නිසයි.

බලන්න. ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකයා ඇවතුම් පැවතුම් තුළ සංවර වෙන්න වෙන්න ඔහුට තමා කරන ක්‍රියා තුළ කුසල් අකුසල් දකින නුවණ උපදවා ගන්නා ක්‍රමයත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව. එතකොට ඒ ශ්‍රාවකයාගේ වැඩෙන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය නේද? ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ප්‍රතිපදාවේ නේද ඉන්නෙ? අන්න ඒ වැටහීම තමයි ඔහුගේ නිවන් මඟ පරිපූර්ණ වෙන්නට හේතු වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සීලය විස්තර කරන ආකාරය පුදුම සහගතයි. එතකොට බලන්න එදිනෙදා ජීවිතයේ දී අපි ඒ ඒ කටයුත්ත කරන කොට කලින් පැසසුම් කරගෙන, කෘත්‍රිම උත්සාහයකින් කායික වාචසික ක්‍රියා සිදු කරන්න ඕනෑකමක් නැහැ නේද? එහෙම ක්‍රමයක් ලෝකයේ තියෙනව. ඒ තමයි තමා ජීවත්වන පරිසරයේ පනවපු නීති රකින ක්‍රමය.

පැනවූ නීතියක් රකින්න අණ කිරීමක් තමයි ලෝකයෙන් තියෙන්නේ. නමුත් ධර්මය පුරුදු කරන ශ්‍රාවකයා අනුගමනය කරන්නෙ නීති නොවෙයි. අපි කතා වුණ පරිදි ප්‍රතිපදාවකයි හික්මෙන්නේ. යම් කෙනෙක් නීතියක් රකින කොට ඒක රකින්නෙ අණ කිරීමට බයෙන්. ඒත් ප්‍රතිපදාවක් රකින්නෙ බයකින් ද? නැහැ නේද? අපි ප්‍රතිපදාවක් රකින්නේ ඒ ප්‍රතිපදාවට ආදරයෙන්. අපිව රකින පවුරක් යන හැඟීමෙන්. අන්න ඒ වැටහීම දකින ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු ඉලක්කය කරා ගමන් කරන්නට හැකි වෙනවා.

බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]