බක් අමාවක පෝ දා
2025-04-27
ආකල්පමය වෙනසකට යමු
සිංහල සිරිත් විරිත් පෝෂණය වී ඇත්තේ බෞද්ධ චින්තනය පදනම් වෙමිනි. එහෙයින් බුදු
දහමත්, සිංහල සංස්කෘතියත් දෙකක් නොව එකක් සේ සැලකීමට බෞද්ධයෝ හුරු පුරුදු ව සිටිති.
අතීත සිංහලයා තම ප්‍රාණය හා සරි කොට ගුණ ධර්මයන්ගෙන් සුපෝෂිත වූ සංස්කෘතිකාංග රැක
ගන්නට ඇප කැප වූයේ එහෙයිනි.
සමාජ සම්බන්ධතා සේ ම අවශ්‍යතා ද සංකීර්ණ වීමත් සමඟ ටිකෙන් ටික අපට අනන්‍ය වූ ඒ ඒ
සංස්කෘතිකාංග කෙමෙන් කෙමෙන් ගිලිහී යෑම තුළ මෙතෙක් සිංහල බෞද්ධ සමාජය තුළ ගොඩනැඟුණ
ශක්තිමත් පවුල සේ ම අසල්වැසි සබඳතා ආගමික සබඳතා සියල්ලට ම අයහපත් බලපෑම් එල්ල
වෙමින් තිබෙන ආකාරය පුද්ගල හැසිරීම්, සමාජ සංසිද්ධීන් අධ්‍යයනයේ දී පැහැදිලි වෙමින්
තිබේ.
මෙහිදී ටිකෙන් ටික ගිලිහී යන්නේ පවුල තුළ එහි සාමාජිකයන්ගේ රැකවරණයයි. සමාජය තුළ ඒ
ඒ පුද්ගල රැකවරණය අහිමි වීමයි. අනෙක් පසින් පුද්ගලයා හුදකලා වීමයි. එය ජීවන
පැවැත්මට ඉතා අහිතකර ය.
වසර දහසයකට පසු උතුම් ශ්‍රී දළදා වන්දනාව සුවිශේෂී පුණ්‍යමය අවස්ථාව බෞද්ධයිනට මේ
දිනයන් හි උදා වී තිබේ. එම පුණ්‍යොත්සවයේ උදාර පරමාර්ථ අතර බෞද්ධ ආකල්ප සමාජය තුළ
තහවුරු කිරීම ප්‍රධාන වේ. විශේෂයෙන් පිළිවෙතින් සරු ව දළදා හිමියන් වැඳ පුදා ගන්නට
පෙළගැසෙන්නා සේ ඒ බොදු පිළිවෙත් මේ ජීවිතය පවත්නා තුරුම ආරක්ෂා කර ගන්නට දිවි
හිමියෙන් කැප වීම බෞද්ධයාගේ වගකීම විය යුතු ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්මය දකින ලෙස ය. ධර්මය දකින පුද්ගලයා තුළ
කිසිදු විටෙක අදැහැමිකම් ඉස්මතු නොවේ. මේ බෞද්ධයින් වෙසෙන සමාජයකැයි යන පණිවිඩය
ලෝකයට ම ගෙන යන්නේ ධර්මානුධර්ම පටිපන්න එවැනි මිනිසුන් සිටින විට ය.
තෙරුවන් සරණ ගිය බෞද්ධයා කිසිවිටෙක පංච ශීලය කඩ නොකරයි. එවැනි සමාජයක කිසිදු
සත්ත්වයකුට ජීවිත බිය නොවේ. සොර සතුරු බිය නොවේ. ඔවුනොවුන් අතර විශ්වාසය බිඳ
නොවැටේ. බොරුව නොමැති නිසා සත්‍ය ගරුක බව ම තහවුරු වේ. මදයට, ප්‍රමාදයට පැමිණෙන
රහමෙර පානයෙන් තොර වීම නිසා පුද්ගලයා අප්‍රමාදී වේ. පරිහානියට නොපැමිණේ.
මෙසේ පංච ශීලය ගරුකරන සමාජය ශිෂ්ට සම්පන්න ය. එවැනි සමාජය දිනෙන් දින දියුණුවට මිස
පරිහානියට නොපැමිණේ. තමන් පන්සිල් සුරකිනවා යන ආකල්පයෙහි ම පමණක් වුව ස්ථිර ව
පිහිටන්නේ නම් ඒ පුද්ගලයා සේ ම ඔහු ජීවත් වන සමාජය ද ඉතා සුන්දර තැනක් වනු ඇත.
බෞද්ධ සංස්කෘතිය, සිංහල සංස්කෘතිය අර්ථවත් වන්නේ එසේ ගුණදම් පොහොසත් මිනිසුන්
නිර්මාණය වූ විටය. අපි උත්සාහ කළ යුතු ඒ තැනට එන්නට ය. |