දළදා වන්දනාවේ අසිරිමත් පුද සිරිත්

දළදා වන්දනාවේ අසිරිමත් පුද සිරිත්

ශ්‍රී දළදා වහන්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට දැක ගැනීම සඳහා මෙවර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර 16කට පසුව ය. මෙයට පෙර දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 වසරේ දී ය. එයින් පෙර සාමාන්‍යයෙන් වසර 10කට පමණ වරක් දළදා ප්‍රදර්ශන පැවැත්වීමේ සම්ප්‍රදායයක් තිබුණි. නිතර දළදා ප්‍රදර්ශන නොපැවෙත්වෙන්නේ දළදා ප්‍රදර්ශන පැවැත්වීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන නිසා ය.

මහනුවර දළදා මාලිගාවේ වැඩසිටින දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් දිනපතා පවත්වන පුද පූජාවලට අමතර ව වාර්ෂික ව පවත්වන පුද පූජා රාශියක් ද වෙයි. එම පුද පූජා හඳුන්වන්නේ සතර මංගල්‍යය ලෙස ය. එම සතර වන්නේ අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතරයි. මේ සතරෙන් ඇසළ පෙරහර මංගල්‍යය විශේෂ වෙයි.

වාර්ෂික දළදා පෙරහර කෙරෙන අවස්ථාවල දී මෙන්ම දළදා වන්දනාවේ දී ද අනුගමනය කරන චිරාගත චාරිත්‍ර සමූහයක් වෙයි. සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජාවලට අමතරව දළදා වන්දනාවක් පැවැත්වෙන අවස්ථාවල දී කෙරෙන පුද පූජා රාශියක් ද වෙයි.

සිරිත් පරිදි දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජා ආරම්භ වන්නේ අලුයම් දුරය ගැසීමෙනි. ඉන් අනතුරුව තේවාව භාර නායක මාහිමියන් වහන්සේ සමඟ වට්ටෝරුරාල පැමිණ ප්‍රධාන දොරටුව සහ අනෙකුත් දොරටු විවෘත කරනු ලැබේ. ඉන්පසු තේවාව කරන හිමිවරු ඉහළ මාලයට වඩිති. දළදා හිමියන්ට කරන පුද පූජා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ එහි ජීවමාන ව වැඩවෙසෙන බව සලකා ගෙන ය. මේ අනුව උදෑසන ම මල් අසුන ශුද්ධ කොට ඒ මත විශේෂ ඇතිරිල්ලක් යොදා සිවුරු, දැහැටි සහ මුව දොවනට පැන් ආදිය ඒ මත තබා පූජා කරනු ලැබේ. පැන් වඩනු ලබන්නේ ගෙපරාල විසිනි. මෙලෙස ඇරැඹෙන පුද පූජා විධි සවස දෙවන ගිලන්පස පූජාවෙන් අවසන් වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවලදී ද දෛනික පුද පූජා කිසිවක් වෙනස් නොකර පැවැත්වීමට වග බලාගනු ලැබේ. මේ නිසයි දළදා වන්දනාවක් පැවැත්වෙන හැම අවස්ථාවක දී ම එය පස්වරු 6.00ට පමණ අවසන් කරන්නේ. දළදා වන්දනාවක දී කෙරෙන විශේෂ වැදගත් සිද්ධිය නම් දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩම වීමයි. දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩමවීමට පෙර සිදු කරනු ලබන වත් පිළිවෙත් රාශියක් වෙයි. පළමු කොට නිල ඇඳුමෙන් සැරසුණ දියවඩන නිලමේතුමා කාරිය කෝරාළ හා මාලිගාවේ අනෙකුත් රාජකාරි කරන අය ද සමඟ පහත මාලයේ සිට උඩු මහලට ගමන් කරති. එහිදී ආලත්ති අම්මලා දළදා වහන්සේට පුද පූජා කිරීමෙන් පසු දියවඩන නිලමේ කාරියකෝරාළත් සමඟ ඇතුළු මාලිගාවට පිවිසේ. එහි දොරටුව අසල දී මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ කාරක සංඝසභාව විසින් ඇතුළු මාලිගාවේ දොර විවෘත කිරීම සඳහා යතුරු භාරදීම ඊළඟට සිදු කෙරේ.

තේවාව භාර ස්වාමීන් වහන්සේ දෙනමක් විසින් දොර විවෘත කිරීමෙන් අනතුරුව දළදා වහන්සේ වැඩ සිටින කරඬුව විවෘත කිරීම සිදු කෙරේ.

මෙකල දළදා මාලිගාවේ ඇතුළු මාලිගයේ ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින කුඩා වීදුරු ආවරණයක් තුළ කරඬු හතකින් සමන්විත කරඬු මාලාවක් ඇතුළත දළදා වහන්සේ වැඩ වෙසෙති. උඩින්ම ඇත්තේ ප්‍රමාණයෙන් විශාලම කරඬුවයි. එයට මාල රාශියක් පලඳවා ඇත. මෙම මාල රනින් සාදා මැණික් අල්ලා කරන ලද අගනා පලඳනාවන් ය. රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් නොයෙකුත් අවස්ථාවල ශ්‍රී දන්තධාතුන් වහන්සේට කරන ලද මෙවැනි පූජාවන් පිළිබඳ ව කොමසාරිස් පොතේ විස්තර කොට ඇත.

රිදී ආලේප කර ඇති පළමු කරඬුව පේසාවළලු අතරින් ගැළවිය හැකි ලෙස සවිකොට ඇත. දෙවෙනි කරඬුව වටා ද තැන්පත් කර ඇති කෞතුක වස්තු රාශියකි. රන්පත්වල ලියන ලද “ධම්ම චක්ක පවත්වන සූත්‍රය” අඩංගු පත්ඉරු ගොන්න ද බුරුම රටින් පූජා කරන ලද ප්‍රාතිමෝක්ෂය ලියූ රන්පත්ඉරු රාශියක් ද මෙහි තිබේ. එසේම මරකත මිණියෙන් සෑදු කුඩා බුදුපිළිම වහන්සේ නමක් ද වේ. බුරුම රටින් කරන ලද පරිත්‍යාගයක් බව කියන එම කරඬුව මැණික් අල්ලා දඹරනින් නිම කර ඇත. තුන්වෙනි කරඬුව ද දඹ රන් කරඬුවකි. හතරවෙනි කරඬුව ඇහැලේපොළ මහඅධිකාරම් විසින් පූජා කරන ලද බව කියනු ලැබේ. පස්වෙනි හා හය වෙනි කරඬු ද අතිශයින් වටිනා ඒවා ය. පස්වෙනි කරඬුව අසල හේමමාලා හා දන්ත කුමරු කලිඟු රට සිට දළදා වැඩම වූ කුඩා කරඬුව තැන්පත් කර ඇත. එය පූජනීය වස්තුවක් වශයෙන් ද කෞතුක වස්තුවක් වශයෙන් ද අතිශයින් වැදගත් වන නිසා පසෙකින් තබා ආරක්ෂා කරනු ලැබේ.

සත්වෙනි කරඬුව අඟල් 4ක් පමණ උසකින් යුක්ත කුඩා එකකි. දළදා වහන්සේ වැඩසිටින්නේ එම සත්වෙනි කරඬුව තුළ ය. මේ කරඬු සියල්ල ම සවිකොට ඇත්තේ සඳුන් කොටවලින් සෑදු විශේෂ ආසනයක් මත ය.

මෙම කරඬුවලින් පළමු කරඬුවේ යතුර දියවඩන නිලමේ භාරයේ ඇත. පස්වෙනි කරඬුවේ යතුර ඇත්තේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් භාරයේ ය. හයවෙනි කරඬුවේ යතුර මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් භාරයේ ඇත. මේ නිසා දළදා කරඬුව විවෘත කිරීම සඳහා දියවඩන නිලමේත්, මල්වතු අස්ගිරි මහානායක හිමිවරුනුත් එක් විය යුතු ම ය.

දළදා කරඬුව විවෘත කිරීමේ දී එක එක කරඬුවක් ගලවා ඒ එක එක කරඬුවක් තුළ ඇති ආභරණ සහ විවිධ වස්තු වෙන් වෙන් වශයෙන් ගෙන ලේඛනගත කරනු ලැබේ. අනතුරුව එම ආභරණ භාජනයකට දමා අසුරා මුද්‍රා තබනු ලැබේ.

දළදා ප්‍රදර්ශනය සඳහා දළදා හිමි වැඩම වීමට කරඬු විවෘත කර අවසන් වූ විට තේවාව භාරව සිටින මහානායක හිමියන් විසින් දන්තධාතුන් වහන්සේ දියවඩන නිලමේතුමාට භාර දෙති. අනතුරුව දියවඩන නිලමේ නැවත දළදා හිමි මහානායක හිමියන්ට භාරදුන් පසු උන්වහන්සේ විසින් දළදා ප්‍රදර්ශනය සඳහා තබන නෙළුම් මල සහිත වීදුරු කරඬුව තුළ දළදා වහන්සේ තැන්පත් කරනු ලැබේ. කාරියකෝරාල විසින් දියවඩන නිලමේගේ දෝතෙහි පේෂ ලේන්සුවක් එළූ පසු මහානායක හිමියන් දළදා හිමි සහිත කරඬුව ඒ මත තබනු ලැබේ. අනතුරුව කවිකාර මඩුවේ නිරත අය දළදා බැතිගී ගායනා කරද්දී දියවඩන නිලමේ පෙරහරෙන් දළදා හිමි දැකුම් මණ්ඩපයට වැඩම කරවති. තේවාව භාර මහානායක හිමියන් යනු දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලවකවානුවේ තේවාව භාර අස්ගිරි හෝ මල්වතු පාර්ශ්වයේ හෝ මහානායක හිමියන් ය.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ දළදා හිමි තැන්පත් කර තබන්නේ දැකුම් මණ්ඩපය තුළ ය . මෙම මුළු කාලය තුළ ම කවිකාර මඩුවේ ගායනා හා පංච තූර්ය නාදයන් දිගට ම පවත්වනු ලැබේ.

දළදා ප්‍රදර්ශනයෙන් පසු දළදා හිමි ඇතුළු මාලිගයට වැඩම කිරීමට පෙර දැකුම් මණ්ඩපයේ දී මහසඟරුවන පිරිත් සජ්ඣායනාවක් පවත්වති. ඉන් අනතුරුව දළදා හිමි ආපසු කරඬු තුළ තැන්පත් කිරීම සඳහා ඇතුළු මාලිගයට වැඩම කරවන්නේ. එසේ වැඩමවා දළදා හිමි සිරිත් පරිදි කරඬුවේ තැන්පත් කර කරඬු හත ම වසනු ලැබේ. එසේ වැසීමේ දී ඒ ඒ කරඬුව තුළ තිබූ ආභරණ හා පූජා වස්තු එකින් එක ගණන් බලා තිබූ ලෙස ම තැන්පත් කෙරේ. මෙම අවස්ථාවට මහානායක හිමිවරුන් දෙනම, දියවඩන නිලමේතුමා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, මහනුවර මහදිසාපතිතුමා ඇතුළු පිරිසක් අනිවාර්යයෙන් ම සහභාගි වෙති.

එක එක කරඬුවක් සවි කිරීමේ දී ඒවා තද කිරීමට යොදා ගන්නේ සිවුරු ය. එසේ යොදා ගන්නා සිවුුරුවලින් ඉවත් කරන කොටස් ලබා ගැනීමට පැමිණ සිටින පිරිස් තුළ ඇත්තේ ලොකු තරගයකි. හේතුව එම සිවුරු කැබලි ද බෞද්ධයන්ට පූජා වස්තුවක් වන නිසා ය.

මෙහි සඳහන් විස්තර අප සමඟ ප්‍රකාශ කළේ කලක් දළදා තේවාව භාරව කටයුතු කළ නාථ දේවාල විහාරාධිපති ව වැඩ විසූ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක මාහිමිපාණන් වහන්සේ බව කෘතගුණවේදී ව මතක් කරමි.

බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]