දළදා වහන්සේ පිළිබඳ විදේශීය මූලාශ්‍ර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාසය අධ්‍යයනාංශයේ
මහාචාර්ය
එන්. ඒ. විමලසේන
පොලොන්නරු සමයේ පළමුවැනි පරාක්‍රමබාහු, දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම
කුරුණෑගල සමයේ දී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින් ද දළදා වහන්සේට කළ
පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූලවංසය මෙන් ම දළදා සිරිත වැනි කෘතිවලින්
සනාථ වේ
දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැරුණු කොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මඟින් ද දළදාවේ
ඉතිහාසය පිළිබඳ ව තොරතුරු දැනගත හැකි ය. මෙම ග්‍රන්ථ අතරින් එක් ග්‍රන්ථයක් ලෙස
ජිනකාලමාලි සඳහන් කළ හැකියි. මෙය පාළි වංශ කථාවකි.
මෙය රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියැන්මායිහි රත්තවන විහාරයෙහි රතනපඤ්හ නමැති හිමි
නමක් විසිනි. මෙම ග්‍රන්ථය පියවර තුනකින් නිමකොට ඇති අතර සම්පූර්ණ කර ඇත්තේ ක්‍රි.ව
1528 දී ය. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග
ආසියාවට බෞද්ධාගම ව්‍යාප්ත වූ ආකාරය විස්තර කිරීමයි. මේ සඳහා ඔහු විවිධ මූලාශ්‍ර
භාවිත කොට තිබේ. සිරිමේඝවණ්ණගේ නවවැනි රාජ්‍ය වර්ෂයෙහි ලංකාවට දළදා වහන්සේ වැඩම වීම
පිළිබඳ ව මෙහි තොරතුරු දැක්වේ. මේ සඳහා පදනම් වී ඇත්තේ දාඨාවංසයෙහි සඳහන් වන
තොරතුරු ය. නමුත් පසුකාලීන ව මෙයට අලුත් තොරතුරු ද ඇතුළත් වී තිබේ. නිදසුනක් ලෙස
දාඨාවංසයට අනුව ගුහසීවගේ දියණිය වන්නේ හේමමාලාවන් ය. නමුත් ඇය මෙහි සඳහන් වන්නේ
හේමජාලා යනුවෙනි. එමෙන්ම දාඨාවංසයෙහි සඳහන් නොවන මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන තවත්
කරුණක් වන්නේ දළදාව ලංකාවට වැඩම කර වූ දෙදෙනා මුලින්ම හමු වන්නේ ශ්‍රී මේඝවණ්ණගේ
බ්‍රාහ්මණ පුරෝහිතයෙක් ය යන්නයි. මේ හැරුණු කොට මෙම කෘතියෙහි ශ්‍රී ලංකාවට දන්ත
ධාතුව වැඩම කළේ බුද්ධ වර්ෂ 840 දී බවත් දන්තධාතුවංසය රචනා කරන ලද්දේ බුද්ධදත්ත
තෙරුන් විසින් බවත් එකිනෙකට නොගැලපෙන තොරතුරු සඳහන් වේ. මෙම තොරතුරු බොහෝවිටම
පසුකාලීන ව ඇතුළත් වූ තොරතුරු බව සිතිය හැකියි. මෙහි ඇතුළත් වන ඉතා වැදගත් කරුණක්
වන්නේ ක්‍රි.ව 1425දී තායි භික්ෂූන් වහන්සේ කැලණියේ දී සිංහල උපසම්පදාව ලබා ගෙන
දළදා වන්දනය කළ බවයි. මූලාශ්‍රවලට අනුව මෙම කාලය තුළ දළදාව තිබුණේ හය වැනි
පරාක්‍රමබාහුගේ කෝට්ටේ රාජධානියෙහි ය.
දහ නව වැනි ශත වර්ෂයෙහි රචිත බුරුමයේ හ්මානන් (වීදුරු මාළිගා වංශ කථාව) (Glass
Palace Chronicle) කෘතියට අනුව පගාන්හි රජ කළ අනිරුද්ධ රජු (ක්‍රි.ව 1044-1077)
ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්තධාතූන් වහන්සේ ඉල්ලා තිබේ. මෙහි සඳහන් වන ආකාරයට
අනිරුද්ධට ලැබී ඇත්තේ දන්ත ධාතූන් වහන්සේගේ ආකෘතියක් වන අතර, එය ශ්වේජියන්
චෛත්‍යයෙහි නිධන් කොට තිබේ. මෙම කථාව ඉතා සිත්කලු දෙයක් වුවත් මෙහි තත්‍යතාව පිළිබඳ
ව සැකයක් උපදී. මෙම කෘතියට අනුව අනිරුද්ධගේ ශ්‍රී ලාංකික සමකාලීනයා වන්නේ ධාතුසේන
ය. ඇත්ත වශයෙන් ම මෙකල ලංකාවේ නියම රජු වන්නේ පළමු වැනි විජයබාහු රජු ය. මෙහිදී
මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගැනීමේ දී අතපසුවීමක් සිදු වී ඇති බව කිව හැකි ය.
සමකාලීන මූලාශ්‍රවලින් ද තොරතුරු ලබා ගෙන නැති බවක් පෙනේ. දෙවැනිවට සඳහන් කළ කාරණය
බොහෝවිට අනුමාන කළ හැකි ය.
චීන මූලාශ්‍රවලින් ද දළදා වහන්සේ පිළිබඳ ව තොරතුරු ලබා ගත හැකි වී තිබේ. උතුරු සුං
රාජවංශයෙහි ඉතිහාසය හෙවත් සුන්- ෂු කෘතියෙහි පස් වැනි ශත වර්ෂයෙහි දී දළදා මාළිගාවේ
ආකෘතියක් ශ්‍රී ලාංකික රජකු විසින් චීන අධිරාජයාට යැවූ බව සඳහන් වේ. චීන
මූලාශ්‍රයෙහි දී ශ්‍රී ලාංකික රජුගේ නම ලෙස හඳුන්වා ඇත්තේ චා-චා-මො-හ-නන් යනුවෙනි.
මොහු මහානාම රජු ලෙස (ක්‍රි.ව 406-428) හඳුනාගෙන තිබේ. මෙම කථාවෙහි විශ්වසනීයත්වය
පිළිබඳ ව ගැටලුවක් තිබුණත් මෙම සමය තුළ ආගමික සම්බන්ධතා පැවති නිසා යම් රජකු විසින්
දළදා මාළිගාවේ ආකෘතියක් යැවූ බව සිතිය හැකි ය. මෙම කරුණින් සනාථ වන්නේ චීනය වැනි
ඉතා දුර රටවල්වලට පවා දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ දැනීම ව්‍යාප්ත වූ බවයි.
චීනයේ මිං රාජ වංශකථාවලින් ද දළදා වහන්සේ පිළිබඳ ව තොරතුරු ලැබේ. විදේශීය ජාතීන්ගේ
ඉතිහාසයක් හෙවත් පිඑන්-ඉ-තිඑන් කෘතියෙහි ද, මින්ෂි කෘතියෙහි ද අ-ලි-කු-නයි-එන්ල්
හෙවත් ය-ලී-කු- නයි-එර්හ් නමැති රජෙක් පිළිබඳ ව වාර්තා වන අතර, ඔහු චීන සෙන්පති
චෙංහෝ සමග සටනට පැමිණි වීර අලකේශ්වර ලෙස හඳුනා ගෙන තිබේ. චීන මූලාශ්‍රවලට අනුව මෙම
සටන සඳහා හේතු වුණේ වීර අලකේශ්වර බුදු දහමට සහ දන්ත ධාතූන් වහන්සේට අගෞරව කිරීමයි.
කෙසේ වෙතත් මෙම තොරතුරු ශ්‍රී ලාංකික මූලාශ්‍ර සමග සහසම්බන්ධතාවක් නොමැත. නමුත් වීර
අලකේශ්වරගේ සමයෙහි දන්ත ධාතූන් වහන්සේ කෝට්ටේ වැඩ සිටිය බව පැහැදිලි ව පෙනී යයි.
විදේශීය වාර්තාවන් අතර දළදා ඉතිහාසය හැදෑරීමට අවකාශය ලැබෙන ෆාහියන් හිමිගේ වාර්තාව
ද ඉතා වැදගත් වේ. දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් අවධියේ පැවති දළදා
ප්‍රදර්ශනය හා පෙරහර ගැන දේශීය මූලාශ්‍රවලට වඩා වැඩි තොරතුරක් ලැබෙනුයේ චීන දේශ
සංචාරක භික්‍ෂුවක (Fa Hsien) වන ෆාහියන් භික්‍ෂුව විසින් රචිත (“
A Record of Buddhist Kingdoms or the Travels of Fa Hsien” වාර්තාව ඇසුරිනි. හඟුරන්කෙත
ධීරානන්ද හිමියන් විසින් එම වාර්තාව උපුටා දක්වමින් සිරිත් පරිදි දන්ත ධාතුන්
වහන්සේ වසරේ තෙවැනි මස මැද දී ප්‍රදර්ශනය කරනු ලබන බවත්, ඊට දින දහයකට කලින්
හස්තියකු හස්ත්‍යාභරණයෙන් සරසවා රාජකීය සළු පිළියෙන් සරසවන ලද පුද්ගලයකු හස්තියා මත
නංවා දළදා ප්‍රදර්ශනය ගැන ජනතාව දැනුවත් කරන බවත් උන්වහන්සේ දක්වති. එමෙන්ම දළදා
ප්‍රදර්ශනයෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය
දිගේ වැඩම කරන බවත්, එම මාර්ගයේ දෙපස බුදුරදුන්ගේ අතීත කථා පුවත් රැගත් ජාතක
සිතුවම් පන්සියයක් පමණ ප්‍රදර්ශනය කරනු ලබන බවත්, එතැන් සිට අභයගිරි විහාරය දක්වා
වැඩමවනු ලබන දළදා වහන්සේට මඟ දෙපස දී මහත් පූජාවන් ජනතාව විසින් පවත්වනු ලබන බවත්
ෆාහියන් හිමියෝ දක්වති. මෙම විස්තරයට අනුව රජු මේ සඳහා සිය නායකත්වය දුන් අතරම පින්
කැමැති සියල්ලෝ ම මං හා සම කෙරෙත්වා යනුවෙන් රජු කරනු ලබන ප්‍රකාශය ද රට වැසි
සියල්ලන් ම කිසිදු භේදයකින් තොරව ආගමික කාර්යයක් ය යන අදහසින් එක්තැන් ව කටයුතු කළ
යුතු ය යන්න ආදර්ශයක් ඒ මඟින් ලබා දෙන බවක් පෙනේ. ඒ අනුව මහා මංගල්‍යක් ලෙසින් රට
වැසි ගිහි, පැවිදි සැම මෙම සත් කාර්යයට එක්විය යුතු ය යන අදහසක් පාලකයා ලබා දීමට
උත්සාහ කළ අතර ජනතාව ද එපරිද්දෙන් ඊට අවනත ව දළදා පූජාවනට සාමූහිකත්වයෙන් යුතු ව
සම්බන්ධ වූ බවක් පෙන්නුම් කෙරේ.
ඉත්සිං නමැති චීන වන්දනාකරුවාගේ වාර්තාව ද දළදා ඉතිහාසය අධ්‍යයනෙහි ලා මහෝපකාරී වේ.
ඔහු ක්‍රි.ව 673 දී ඉන්දියාවට පැමිණියත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. නමුත් තම කාලයේ
දී ලංකාවට පැමිණි චීන වන්දනාකරුවන්ගේ ගමන් විස්තර හා චරිත ගැන ලියා තැබීම නිසා එම
වාර්තා වැදගත්කමක් උසුලයි. එතුමාගේ කාලයේ ලංකාවට පැමිණි චීන වන්දනාකරුවන් ගැන සටහන්
කර තිබේ.
මියුංවාන්, ඉලෑං, තා-චෙං-තෙං, හියුං යිඕ, අවුහිං එවැනි වන්දනාකරුවන් ලෙස සඳහන් කළ
හැකි ය. මියුංවාන් වන්දනාකරුවා ලංකාවට පැමිණ එරට රජුගේ ගෞරව සම්මානයට පත් වූ බව
සඳහන් වේ. මියුංවාන් දන්ත ධාතුව තබා තිබුණු මාළිගයට නැග එය සොරකම් කර ගත්තේ ය.
ඉක්බිති එය සිය රටට ගෙන යාමට තැත් කරද්දී ඇති වූ සිද්ධීන් නිසා එම අදහස අත්හැර
දැමීමට සිදුවිය. මෙයින් ලජ්ජාවට හා නින්දාවට පත් ඔහු දකුණු ඉන්දියාවට පැන ගිය බව
ඉත්සිං සඳහන් කරයි. ලංකාවාසීහු ඉතාමත් ප්‍රවේසමෙන් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරති.
එය ඉතා උස් ගොඩනැඟිල්ලක තබා ඇත. එහි වූ දොරවල් විශේෂ අගුලු ලා වසා තිබේ. මේ
අගුල්වලට මුද්‍රා තබා නිලධාරීන් පස් දෙනකු සිය හන් තබා ඇත. දොර විවෘත කරන කල්හි
එයින් නිකුත් වන ශබ්දය මුලු නගරයෙහි පැතිරේ. දිනපතා මෙම ධාතුන් වහන්සේට ඔවුහු පුද
පූජා පවත්වති. හද පිරි භක්තියෙන් යුතු ව යදින්නවුන්හට දන්ත ධාතුන් වහන්සේ මල් මත
දිස් වේ. නැතහොත් සැම දෙනාට ම පෙනෙන පරිදි දිව්‍යමය ආලෝකයක් ඉන් පැතිරේ. ඉලෑං නමැති
භික්ෂුව ද ලංකාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ බටහිර දේශයට
ගිය බව සඳහන් වේ. තා-චෙං-තෙං නමැති භික්ෂුව ද ලංකාවට පැමිණ දළදා වන්දනා කොට දකුණු
ඉන්දියාවට ගිය බවක් සඳහන් වේ. අවුහිං භික්ෂුව ලංකාවට පැමිණ දළදා වහන්සේ වන්දනා කොට
ඊසාන දිග බලා යාත්‍රා කළ බව සඳහන් වේ. මෙම කරුණුවලින් පෙනී යනුයේ දළදා වන්දනාව චීන
ජාතිකයන් අතර ඉතා උසස් දෙයක් ලෙස තිබූ බවයි. එම නිසා දළදා ඉතිහාසය අධ්‍යයනයෙහි දී
චීන මූලාශ්‍රවලින් ද වටිනා පිටුවහලක් ලැබේ. චීන ජාතික හියුංසියංගේ වාර්තාවෙහි ද
දළදා මාළිගාව ගැන සඳහන් වේ. රාජ භවනයට නුදුරු තැන සර්වඥ දන්ත ධාතුන් වහන්සේ තැන්පත්
කළ ධාතු භවනය පිහිටියේ ය. එය වනාහි අඩි සිය ගණන් උස් වූ ද නා නා විධ දුර්ලභ
රත්නයන්ගෙන් ශෝභමාන වූ ද මහා මන්දිරයකි. ප්‍රාසාද මස්තකයෙහි වූ කොත මුදුනේ විශාල
පද්ම රාග මාණික්‍යයක් සවි කොට තිබේ. මේ මාණික්‍යයෙන් නික්මෙන ආලෝකය දිවා රෑ දෙක්හි
බොහෝ දුර සිට දැකිය හැකි ය. ඉතා දුර සිට බලන විට එය තාරකාවක් මෙන් පෙනේ. රජ තෙමේ
දිනකට තෙවරක් ඒ දන්ත ධාතුන් වහන්සේ සුවඳ පැනින් නහවයි. ඇතැම්විට සුවඳ සුණුවලින්
නැහැවිය. මේ නෑවීම් සුවඳ දුම් දීම් ආදියේ දී ගනු ලබන්නේ ඉතා අගනා මැණික් එබූ රන්
භාජන බව හියුං සියං වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.
පොලොන්නරු සමයේ පළමුවැනි පරාක්‍රමබාහු, දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම
කුරුණෑගල සමයේ දී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින් ද දළදා වහන්සේට කළ
පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූලවංසය මෙන් ම දළදා සිරිත වැනි කෘතිවලින්
සනාථ වේ. දහසය වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාද්වීපය වෙරළබඩ ප්‍රදේශයෙන් ක්‍රමයෙන්
අපරදිග ජාතීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු පෘතුගීසීන්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසි
ජාතිකයන් මෙරට පාලනය කළ අතර 1815 උඩරට ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේ ම පාලන බලය
ඉංග්‍රීසින්ට අත්පත් කර ගත හැකි විය. මෙලෙසින් විදේශීය පාලනයක් පැවති වකවානුව තුළ
මහනුවර ඇසළ උත්සවය හා දළදා පෙරහර ගැන වැඩිමනත් විස්තර ලබා ගත හැකි වනුයේ විදේශිය
වාර්තා ඇසුරෙනි. ඒ අතරින් රොබට් නොක්ස් (Robert Knox) විසින් ලියනු ලැබූ
An Historical Relation of the Island Ceylon කෘතියත් ජෝන් ඩේව් (Jone
Devy)
විසින් ලියන ලද An Accoun of interior of Ceylon and its
Their and its Their inhabitants with Travels in thet Island වාර්තාවත් මෙහි දී ඉතා වැදගත් ය.
මෙම වාර්තාවන්හි සඳහන් වන කරුණු උපුටා දක්වන හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ දෙවැනි
රාජසිංහ රජු දවස සිරකරුවකු ලෙසින් කන්ද උඩරට විසූ නොක්ස් විසින් තමා දුටු හා අසන ලද
සිංහල සමාජයේ විවිධ පැතිකඩ රැසක් ගැන සිය වාර්තාවේ දක්වා ඇති බව සඳහන් කරති. ඒ අතර
ඔහු මහනුවර පවත්වනු ලැබූ ඇසළ පෙරහර ගැන දක්වනු ලබන තොරතුරු ඉතා වැදගත් ය. එ මඟින්
ශ්‍රී දළදා වහන්සේ මුල් කොට එවකට පෙරහරක් මහනුවර පැවති බව මෙම වාර්තාවෙන් නොදැක්වේ.
නමුත් අනිකුත් දේවාල හා දෙවියන් වෙනුවෙන් අඛණ්ඩ ව ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින්
මහනුවර දී පවත්වනු ලැබූ බව නොක්ස් කියයි. ඔහු මෙසේ ඒ පෙරහරේ ආරම්භය විස්තර කරයි.
දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන විශිෂ්ඨතම උත්සවය කන්දේනුවර පැවැත්වෙන බවත් මීට මහනුවර
ඇසළ පෙරහර යැයි කියන බවත් නොක්ස් සඳහන් කරයි. මෙම පෙරහර සමයේ විශේෂයෙන් පිරිසිදු
කරනු ලබන නගරයේ වීථි දෙපස සුළඟින් ළෙලදෙන ධජ පාතාකාදිය යුක්ත ය. රාත්‍රී කාලයේ
ආලෝකයෙන් බබළන වෛවර්ණ ආලෝක වෙයි. මහමඟ ඉදිකළ නන්වන් සිරියෙන් යුත් තොරණ මල්කමින්
මොනවට සරසන ලද බවත්, නොක්ස් පෙන්වමින් පෙරහර සමයේ මහනුවර පරිසරය සූදානම් කරන අයුරු
පෙන්වා දෙයි.
පෙරහර පැවති දිනවල පළමුවෙන් දේවාලයේ කපුරාළ අඩක් වැසී යන පරිද්දෙන් පට පිළියෙන් ඔතා
මල්මාලාවලින් අලංකාර ලෙස සරසන ලද ලීයක් ගෙන පෙරහරේ ගමන් කරන බවත් ජනතාව ඊට වැඳ
නමස්කාර කොට පූජා පවත්වනු ලබන බවත් පසුව කපුරාළ මුඛවාඩමක් බැඳ දඬු කඩ කර ලා ගෙන තමා
දෙපස අලංකාර ලෙස සරසන ලද අලි ඇතුන් ගමන් කරද්දී ශ්වේත වර්ණයෙන් චමත්කාර ලෙස සරසන ලද
හස්ථියකු පිට නැඟි හෙතෙම මහත් උත්සවශ්‍රීයෙන් යුතු ව නගරයේ වීථි සංචාරය කරන බව
නොක්ස් දක්වයි.
එමෙන් ම සිය බඳ දෙපස එල්ලන ලද මිණිගෙඩි සහිත අලි ඇතුන් හතළිස් ගණනක් පෙරහරේ ගමන්
කරන බවත්, පෙර සිටි යෝධයන් හා සමාන ව සැරසී ගත් යක් නළුවන් ගමන් කරන අයුරුත් බෙර
දවුල් තම්මැට්ටම් සමුද්‍ර ඝෝෂාවට සමාන අයුරින් වාදනය කරනු ලබන භේරීවාදකයන්ගෙන්
යුක්ත වූ බවත් රංචුවක් ලෙසින් රඟන නැට්ටුවන්ගෙන් පෙරහර සමන්විත බවත් විහාර දේවාලවල
තේවාව කරන කුලවලින් පැමිණි කළ ගෙඩි සෙල්ලමේ ගැහැනුන් යෙදෙන අතර, ස්ත්‍රීන්හට නියම
වූ ක්‍රීඩාවන් හි ඔවුනොවුන් තිදෙන එකිනෙකාගේ අත් අල්ලා ගනිමින් ක්‍රීඩා කරන අයුරුත්
සිය වාර්තාව තුළ දක්වයි. ඉන් අනතුරුව ඇතු මත හිඳගත් කපුවෝ දෙදෙනෙක් පෙරහරේ ගමන්
කරති. මොවුන් අතුරින් පෙර කී කපුවා අලුත්නුවර කපුවා වන බවත් අනෙක් කපුවා වනාහි එම
දෙවියනට සේසත දරන්නා බවත් කියයි.
අලුත්නුවර දෙවියන් වනාහි අහස පොළොව මැවූ දෙවියා ලෙසින් විශ්වාස කරන බව නොක්ස් සිය
කෘතියේ දක්වයි. මීළඟට පෙරහරේ පෙළ ගැස්මේ ප්‍රධාන අංගය වනුයේ කපුවන් දෙදෙනකු පිට තබා
පෙළට ඇතුන් දෙදෙනකු ගමන් කිරීමයි. මෙම දෙදෙනාගෙන් කෙනෙකු කතරගම දෙවියන් වෙනුවෙන් හා
අනෙක් තැනැත්තා පත්තිනි දෙවියන් වෙනුවෙන් පෙනී සිටිති. දේවාල කිහිපයකට අයත් දෙවිවරු
වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයන් ලෙසින් කපුවන් පෙරහරේ ගමන් කරති. මල් බඳුන් දැරූ
ස්ත්‍රීන් මීළඟට එහි ගමන් කරන බවත්, දෙවියන් වෙනුවෙන් ගමන් කරන පිරිසට අමතරව
දෙවියන්ගේ මෙහෙකරුවන් ලෙසින් සැලකෙන රට වැසි වංශාධිපති ස්ත්‍රී පුරුෂයෝ දෙදෙනා
බැගින් එක්ව අත්වැල් බැඳ ඉතා අගනා වස්ත්‍රාභරණයෙන් සැරසී මහත් මහේශාක්‍ය ලීලාවෙන්
ගමන් ගන්නා බවත්, මෙම කන්දේනුවර පෙරහර ලංකාද්වීපයේ ඇති සකල ශ්‍රී විභූතියක් ම දේව
පූජෝත්සවය සදහා ඒ රටේ අග නුවරට එක්රැස් කරනු ලබන සිදුවීමක් බවත් කිව යුතු වන බව
නොක්ස් දක්වයි.
මෙසේ මහ පෙරහර වීථියේ ගමන්ගත් ඉක්බිති රජු විසින් මෙහෙයවනු ලැබූ සෙන්පතියෝ ස්වකීය
සේවා භටයන් ද සමඟින් පෙරහර පසුපසින් ගමන් කරති. පූර්වයේ දී මහරජතුමා සිය සෙනවියන්
පිරිවරා මෙම පෙරහර පසුපසින් අශ්වාරෝහක ව ගමන් කළ නමුදු දැන් දැන් මහ රජු ඊට වැඩි
කැමැත්තක් නොදක්වන බව ද ඔහු පෙන්වයි. මෙම පෙරහර දිවා කාලයේ එක් වරක් ද, රාත්‍රී
කාලයේ තවත් වාරයක් ද යනුවෙන් දෙවරක් ම නගරය ප්‍රදක්‍ෂිණා කරන බවත් මෙම උළෙල අමාවක
දා පටන් පුර පසළොස්වක් දා දක්වා සකල උත්සව ශ්‍රී විභූතියෙන් යුක්තව පවත්නා බවත්
නොක්ස් කියයි.
පෙරහර උත්සව සමයේ දේවාල කෝවිල් කරා පැමිණ ස්ත්‍රෝත්‍ර පවත්වන්නාහු ද නා නා විධ
ජනතාවගෙන් සමස්ත නගරය අතුරු සිදුරු නැතිව ජනාකීර්ණ වන බවත්, දේවාල ජන සන්නිපාතයෙන්
යුක්ත වන බවත් නොක්ස් පෙන්වා දෙයි. දිය කැපීම ගැන මෙසේ ඔහු විස්තර කරයි.
පුරපසළොස්වකට දෙතුන් දවසක් තබා ඒ ඒ දේවාල දෙවියන් වැඩමවන රන්දෝලි සරසා එක් එක්
දෙවියන් හට අයත් ආයුධ හා ආභරණ ඒවායේ තබා රිදී කළයක් ගෙන ගංගා තීර්ථයට සඳපානේ ගමන්
කොට දිය කපා එම රිදී කළයට පැන් පුරවා ගෙන පෙරළා දේවාලයට එති. එම පැන් කළය ඊළඟ
වර්ෂයේ උත්සවය පැවැත්වෙන තුරු ඒ ඒ දේවාලවල සුරැකිව තබනු ලැබේ. ඇසල උත්සවය ද
මෙතෙකින් සමාප්ත වෙන බව නොක්ස් සඳහන් කරයි. අනාදිමත් කාලයක සිට රටේ හා රට වැසියන්ගේ
ශූභ සිද්ධිය සඳහා වර්ෂයක් පාසා ම පවත්වනු ලබන මෙම පෙරහර වර්ෂ 1664 දී පවත්වන්නට
මහරජතුමා ඉඩ නොදුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෝ එම වර්ෂයේ රජුට විරුද්ධ ව මහ
කැරැල්ලක් ඇති වූයේ ය. එයින් පසු කිසිම වර්ෂයක පෙරහර අවලංගු කරන්නට මහරජු බිය විය.
මෙම පෙරහර කාලය තුළ හත් අට දවසක් මුළුල්ලේ නගරයේ ඒ ඒ තැන පවත්නා නැටුම් හා ගැයුම්
විජ්ජා විකාර බොහෝ ය. එම විකාර මෙහි විස්තර කිරීමට තරම් නොවු කිසිම තේරුමකට නැති
මෝඩ විගඩම් බව ද නොක්ස් දක්වයි. මෙලෙසින් නොක්ස් දක්වන මෙම ඇසළ පෙරහරේ තොරතුරු එම
අවධියේ පාලකයා හා පාලක මඩුල්ල සමාන්‍ය ජනතාවත් එක්ව දෙවියන් වෙනුවෙන් මෙම මහා
උත්සවය පවත්වා ඇති බවක් පෙනේ. එමෙන්ම රටේ එවකට පැවති ප්‍රධාන උත්සවයක් බව නොක්ස්
දක්වන මෙම තොරතුරුවලින් පැහැදිලියි.
ඉංග්‍රීසීන්ට උඩරට ඇතුළු වෙරළබඩ ප්‍රදේශයන් සිය පාලනයට නතු වීමෙන් පසු මෙරටට පැමිණි
විද්වතකු ලෙසින් ජෝන් ඩේව් (Jone Devy) සඳහන් කළ හැකි ය. අපරදිග ශ්‍රේෂ්ඨ
කතුවරයකු වන හම්ප්‍රි ඩේව්ගේ (Humphery Davy) සහෝදරයකු වන මොහු වෘත්තියෙන්
වෛද්‍යවරයකු වේ. එවකට ලක්දිව පාලනය කළ රොබට් බ්‍රවුන්රිග් ගේ (Robert
Brownrigg)
පෞද්ගලික වෛද්‍යවරයා ලෙසින් ද කටයුතු කොට තිබේ. මෙලෙසින් කටයුතු කළ ඩේව් සිය වෛද්‍ය
කාර්ය මණ්ඩලයත් සමගින් වර්ෂ 1816 අගෝස්තු මාසයේ සිට 1820 පෙබරවාරි දක්වා ශ්‍රී
ලාංකේය සමාජයේ විවිධ පැතිකඩ සම්බන්ධිතව එකතු කර ගත් සමාජ පාලන ආර්ථික හා සංස්කෘත
තොරතුරු පමණක් නොව පාරිසරික තොරතුරු ද ඇතුළත් කොට ග්‍රන්ථයක් සම්පාදනය කරනු ලැබ
1821 දී එය ප්‍රකාශයකට පත් කරනු ලැබීය. මෙම ග්‍රන්ථය සමකාලීන සමාජය විවරණය කරනු ලබන
කැඩපතක් බඳු ය. පරිණත බුද්ධියකින් හා ශික්ෂිත මනසකින් මෙන්ම අප්‍රතිහත ධෛර්යකින් ද
හෙබි පුද්ගලයකු ලෙසින් මෙම කෘතියේ සිංහල අනුවාදක වන අල්ලේපොළ එච්. එම් සෝමරත්න
විසින් ඩේව් හඳුන්වා දෙයි.
සිය ප්‍රස්ථාවනාවේ දී තමා සිය තොරතුරු එක් රැස් කර ගනු ලැබූවේ කෙසේද යන්න ඩේව්
විස්තර කරයි. උඩරට පාලන කටයුතු සම්බන්ධ ප්‍රධානීන්ගෙන්, බහුශ්‍රැත භික්‍ෂූන් සමඟ
සාකච්ඡා කිරීමෙන්, දේශීය සාහිත්‍ය ගැන අතිවිචක්ෂණ දැනුම ඇති ස්වදේශිකයන්ගෙන් ද,
ශිල්පීන්ගෙන් ද එමෙන්ම එම අවස්ථා හා කාර්යයන් පරීක්‍ෂා කිරීමෙන් ද තොරතුරු ලබා ගෙන
තිබේ. ඔහුට මෙම කාර්යයන් සපුරාලීම පිණිස සිංහල හා ඉංග්‍රීසි බස චතුර ලෙස හැසිරවිය
හැකි දෙවැනි මුදලි ධූරය හෙබ වු සරම් (Dr. Saram) නැමැත්තාගෙන් වෛද්‍ය පැරල් “(Dr.
Ferrell) කර්නල් හාර්ඩි (Colonel Hardy) වැන්නන්ගෙන් ලැබුණු සහායත් නාමිකව ම
සඳහන් කරමින් සිය කෘතවේදීත්වය ප්‍රස්ථාවනාවේ සනිටුහන් කිරීමට ඩේව් අමතක කොට නැත.
ඔහු ම ප්‍රකාශ කරන ආකාරයට, හුදෙකලා ප්‍රකාශයක් අනුව නිගමනය නොකළ යුතු ය.
නොනැවතී ඉවසිල්ලෙන් විමසිය යුතු ය යන ආකාරයට සිය ග්‍රන්ථයට තොරතුරු එක්තැන් කරමින්
සත්‍යයට ඉඩ සලසා ගත් අයුරු සිය ග්‍රන්ථ රචනා කළ බව ඩේව් සිය ප්‍රස්ථාවනාවේ දී සඳහන්
කරයි.
දහනව වැනි සියවසේ දෙවැනි දශකයේ ලක්දිව විසූ විදේශීය වාර්තාකරුවකු වන ජෝන් ඩේව්
විසින් මෙරට සම්බන්ධයෙන් තබන ලද වාර්තා අතර මහනුවර ඇසළ පෙරහර ගැන දක්වන වාර්තාව
සුවිශේෂිත ය. මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය හා එහි පෙළගැස්මත් ඒ සම්බන්ධිත ව පාලකයාගේ
සිට සාමාන්‍ය ජනතාව දක්වාත් ඒ ගැන නියැලුන ආකාරයත් විස්තරාත්මක ව දැන ගැනීමට ඩේව්
ගේ වාර්තා වැදගත් ය. ඩේව් සඳහන් කරන ආකාරයට ඇසළ මාසයේ දී ජාතික මහා උත්සවයක් ලෙසින්
මහනුවර ඇසළ පෙරහර දක්වා ඇත. නව සඳ පුර පෑලවිය දින පෙරහර ආරම්භ කළ බව ඩේව් දක්වයි.
විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිපත් කිරීම අරභයා මෙය පැවැත්වේ ය යනු එවකට ඇතැමකු
අදහස් කරන බව ද ඔහු පෙන්වා දෙන අතර මෙම උත්සවය අවසන් වනුයේ අව පෑලවිය දිනයේ බව ද
කියයි.
පුර පෑළවිය දිනට දින කීපයකට පෙර ප්‍රධාන දේවාල හතරේ මිනිසුන් එක් රැස්ව ගෙඩි පල හට
නොගන්නා තෙවියතක් කඳ ඇති කොස් ගසක් (Jack - Wood) තෝරා ගනු ලබන අතර, පසුව දුම්මල
දුම් ඇල්ලීමෙන් ද සඳුන් දුම් ඇල්ලීමෙන් ද, එම ගස පේ කොට ඒ විගස ම ගස කපා හෙලන බව
ඔහු දක්වයි. හිස් සෝදා නහා පිරුවටයක් ඇඳගත් විෂ්ණු දේවාලයේ ගස් කපන්නාට මේ කාර්යය
පැවරෙන බවත්, ඔහු විසින් මේ කඳ කැබලි හතරකට කපන බවත්, පසුව කපන ලද එක් එක් ලී
කැබැල්ලක් හේවිසි සහිත ව ඒ ඒ දේවාලවලට (මහනුවර අනෙකුත් දේවාල) වෙත ගෙන යන ලද බවත්
සිය කෘතියේ ඔහු සඳහන් කරයි. පුර පෑළවිය දින කැප කළ කොස් කඳ ඒ ඒ දේවාල බිමේ සිටුවා
ගොක්කොළ හා මල්වලින් සරසන ලද පැලකින් ආවරණය කැරිණි. මෙදින සහ මීළඟ දින තුන තුළ එක්
එක් දේවාලයේ කපු රාළවරු දෙවියන් ගේ දුනු හී (Bows and Arrows) ගෙන කොස් කඳ වටා මහ
පෙරහරින් ගෙන ගියහ. පස්වැනි දින සියලුම නිලමේවරු මිනිසුන් දහස් ගණනක් ද එක් වූ බවත්
රන්සිව් ගෙවල්හි තැම්පත් කරන ලද දේව ආභරණ හා බුද්ධ ධාතුන් වහන්සේ මහ පෙරහරින් වැඩම
වන ලැබූ බවත් ඩේව් සඳහන් කරයි. ඔහුගේ සඳහනට අනුව එලෙසින් ගමන්ගත් පෙරහරේ සැකැස්ම
මෙසේ වීය.
පෙරහරේ අනුපිළිවෙල ක්‍රමවත්ව පෙන්වා දීම ද වැදගත් ය. පළමුවෙන් ගජනායක නිලමේ සහ
රජුගේ අලි ඇත්තු ගමන් කොට ඇත. පසුව කොඩිතුවක්කු ද තුවක්කු හා කොඩි රැගත් සතර කෝරළ
දිසාවේ මිනිසුන් මෙන්ම එහි දිසාවේ සහ සියලු නිලධාරීහු ද, සත් කෝරළ වාසීහු ද ඌවේ,
මාතලේ, සබරගමුවේ, වලපනේ හා උඩ පළාතේ යන මේ සදිසාවාසීහු සතර කෝරළේ මිනිසුන් මෙන්
සැරසී පැමිණ මෙම පෙරහරට සම්බන්ධ වී ඇත. ඉන් අනතුරුව බඹලා, (The
Baumboos) බුද්ධ
ධාතුන් වහන්සේ රැගත් මාළිගයේ ඇත් පන්තියත් මොවුන් පසුපස තවත් ඇත්තු ද කුඩ සේසත්
කොඩි තල අතු, පලිස්, බෙර, දවුල්, හොරණෑ, සහිත මාළිගාවේ මිනිසුන් හා නැට්ටුවන් පෙරටු
කොට ගත් දියවඩන නිලමේ ද නායක්කාර ලේකම් ද පෙරහරේ ගමන් කර තිබේ. නාථ දේවාලයට අයත්
ස්ත්‍රීන් විසින් පිරිවරන ලද දෙවියන්ගේ දුනු හී උසුලාගෙන ගිය නාථ දේවාලයේ ඇතා ද ඉහත
තැනැත්තාගේ ශ්‍රී විභූතිය හා පිරිවර සහිත බස්නායක නිලමේ ඊළඟට පෙරහරේ ගමන් කළේ ය.
මහා විෂ්ණු දේවාලයේ දුණු හී ගත් මිනිසුන් හා පිරිවර සහිත බස්නායක නිලමේ ද, විෂ්ණු
දේවාලය වෙනුවෙන් පෙරහරට එක් වීය. මීළඟට කතරගම දේවාලයේ පෙරහර, පත්තිනි දේවාලයේ පෙරහර
මේ දෙපෙරහර ම මෙලෙසින් ම සිය දේවාභරණ ද සහිත ව එක්ව තිබේ.
පසුව තුවක්කු හා කොඩි රැගෙන සිය ප්‍රධානීන්ට පෙරටුව ගමන්කළ මහ ලේකම්
දෙපාර්තමේන්තුවේ මිනිසුන් ද යට සඳහන් කළ පරිදි සැරසුණු අතපත්තු දෙපාර්තමේන්තුවේ
මිනිසුන් ද, අතපත්තු ලේකම් සහ උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර හා
හේවාහැට යන රටවල රටේ මහත්තුරු ද, දෙපාර්තමේන්තු හා පඩිකාර දෙපාර්තමේන්තුවේ මිනිස්සු
ද මේ එක් එක් ලේඛම් හා සුළු මුලාදෑනිහු ද මිනිසුන් ද පෙරහරේ පසු පසින් ගමන් කළෝ ය.
මේ පෙරහර පිට පිට ම පස් දිනක් වරක් පස් වරුවේ ද, තවත් වරක් රාත්‍රියේ ද දිනකට දෙවර
බැගින් අගනුවර ප්‍රධාන වීථි හතර දිගේ ද නාථ දේවාල වටා ද ගමන් කළේ ය. එහෙත් බුද්ධ
ධාතුන් වහන්සේ රාත්‍රී පෙරහරේ වැඩම නොකරන ලදී.
ඇත්ත වශයෙන් කීර්ති ශ්‍රී යුගය එළඹෙන තුරු බුද්ධ ධාතුන් වහන්සේ පෙරහරේ අංගයක්
නොවීය. පෙරහරේ ධාතුන් වහන්සේ වැඩම කරවන ලෙස මේ රජු විසින් නියම කරන ලද්දේ භික්‍ෂුන්
පිරිසක් සෙංකඩගල පුරයට පැමිණ සිටි අවස්ථාවක බුදුරදුන්ට මෙන්ම දෙවියන්ට ද ගරු කරන බව
ඔවුන්ට පෙන්වීම පිණිස බව ඩේව් සඳහන් කරයි.
පස් දිනකට පසුව රන්දෝලි බෑම නම් පෙරහරේ තවත් වැදගත් කොටසක් ඇරඹුණු බවත්, මෙහිදී ඉහත
විස්තර කළ පෙරහරට රන් දෝලි හතරක් එක් වූ බවත්, එක් එක් දෙව් දුවට කැප කරන ලද ඒ ඒ
දෝලියට එසේ කැප කරන ලද රන් කළය හා කඩුව බැගින් සපයන ලද බවත් ඩේව් කියයි. පස්වරුවෙහි
දේවාභරණ රැගත් ඇතුන් පසු පස දෝලා ගෙනයන ලද්දේ ය. එහෙත් රාත්‍රියෙහි දෝලා ගෙන යන
ලද්දේ ඇතුන්ට පෙරටුව ය. දේවාලයට අයත් ස්ත්‍රින් පමණක් නොව රජු විසින් පරිත්‍යාග කරන
ලද රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසුණු නිලමේවරුන් තරුණ බිරියන් හා දූවරු ද, දුග්ගන්නා
මහත්මීන්ලා ද දෝලාවල පිරිවර වශයෙන් සැදී සිටගත් බව ඔහු දක්වයි. මෙතෙක් කල් පෙරහර
නැරඹීමෙන් පමණක් සෑහීමකට පත්ව සිටි රජු රන් දෝලි බෑම පැවති දින පස තුළ ම අසුන් අට
දෙනකු විසින් අදින ලද රන්මුවා රියකට නැඟි සවස පෙරහරේ ගමන් ගත් බව ඩේව් පෙන්වා දෙයි.
ස්වදේශින්ගේ අදහස පරිදි පෙරහරේ මේ කොටස අත්‍යලංකාර වූ බවත් නිළමේවරු සිය ඇඳුම්වල
ශෝභාව හා පරිවාර සංඛ්‍යාව සම්බන්ධයෙන් ඔවුනොවුන් හා තරග කළ බවත්, මේ සංදර්ශනය
අතිශෝභන හා මහානුභාව සම්පන්න කිරීම පිණිස හැම දෙනම විශේෂයෙන් රජතුමා, ප්‍රයත්න දැරූ
ආකාරයත් සිය ග්‍රන්ථයේ ඩේව් විශේෂයෙන් දක්වයි. පුරපසළොස්වක දින රාත්‍රියේ බුද්ධ
ධාතුන් වහන්සේ ප්‍රථම වරට රෑ පෙරහරට එක් කෙරෙන බව හා එදා පෙරහරින් පසුව බුද්ධ
ධාතුන් වහන්සේ මාළිගාවට පෙරලා නොගෙනෙන ලද බවත්, මහනුවර අසල පිහිටි අස්ගිරි විහාරයේ
තැන්පත් කරන ලද බවත් ඔහු සඳහන් කරයි. එදින රෑ දේවාලවල දේවරූපවලට ආහාර පූජා කොට ඇත.
මෙයින් පසු පෙරහර යළිත් ඇරඹි මහවැලි ගඟ දෙසට ගමන් කළ අතර, අත්‍යලංකාර ලෙස සරසන ලද
ඔරුවක් පෙරහරේ පැමිණීමෙන් බලාපොරොත්තුවෙන් ගන්නෝරුව තොටුපොළේ රැඳී තිබුණු බවත් සතර
දේවාලයේ කපුරාළවරු සතර දෙන අතවැසියන් සතර දෙනකු සමඟ රන් කළ හා කඩු රැගෙන එසේ සරසන
ලද ඔරුවට නැඟී ගඟ ඉහළට යාත්‍රා කළ බවත්, අරුණෝදය අපේක්‍ෂා කරමින් ඔව්හු මෙහි නතර වී
සිටි බවත්, එය දර්ශනය වූ විගස කපු රාළලා රන් කඩුවලින් දිය කපන ලද බවත්, අතවැසියෝ
පෙර වර්ෂයේ ජලය පිරි රන් කළ හිස් කොට දිය කැපූ තැනින් ජලය පුරවා ගන්නා ලද බවත් සිය
විස්තරය තුලින් ඩේව් පෙන්වා දෙයි. මෙයින් පසු පෙරහර අස්ගිරි විහාරයට පෙරළා පැමිණ
ඇත. මෙහිදී බුද්ධ ධාතුන් වහන්සේ ද, රජු හා අමාත්‍යවරු ද ගඟ කරා ගිය පෙරහරට සහභාගී
නොවු සියලුම නිලමේවරු ද පෙරහරට එක් වෙමින් පෙරහර නුවරට පිවිස තිබේ. මෙයින් මෙම ඇසළ
උත්සවය අවසන් විය.
මෙලෙසින් ඩේව් දක්වන මහනුවර ඇසළ පෙරහර විස්තරය 19 වැනි සියවසේ දෙවැනි දශකයේ තත්ත්වය
කෙසේ වී ද යන්න දැන ගැනීමට හැකි වන අතර, එදා මෙදා තුර දළදා පෙරහරේ වෙනස් වීම් කවරේ
ද යන්න අධ්‍යයනයට මෙම විස්තරය අනුව වැදගත් වන බව ද කිව යුතු ය.
මෙම විදේශීය වාර්තාවන් හි අන්තර්ගත තොරතුරු දළදා වහන්සේ පෙරටු කර කරන ලබන පෙරහර
මංගල්‍යය ගැන මෙන්ම මහනුවර ඇසළ පෙරහරේ අතීත ස්වභාවය ගැන දැන ගැනීමට ප්‍රයෝජනවත් වන
අතර, සමකාලීන සමාජ සන්දර්භයේ විවිධ පැතිකඩ ඒ ඇසුරින් හඳුනා ගැනීමට වැදගත් වේ.
පාලකයා හා පාලිතයා අතර මෙන් ම පාලකයා හා පාලක මඬුල්ල අතර පැවති සම්බන්ධතාවයත්,
ප්‍රාදේශියත්වය ඉක්ම වූ ජන සහභාගිත්වයත් මත එක් තැන් වූ ජාතික උත්සවයක් ලෙසින්
මහනුවර පෙරහර මංගල්‍යය පවත්වනු ලැබූ බවත් මේ මඟින් සනාථ වන අතර ම අතීත පෙරහරේ
ස්වභාවය මෙන් ම, වත්මන් ඇසළ පෙරහරේ පෙළගැස්ම මෙන් ම එක්ව ඇති නවාංග මෙන්ම බැහැරව
ඇති පෙරහර අංග කවරේ ද යන්න අධ්‍යයනය කිරීමට විදේශිය රචකයන් දක්වනු ලබන මෙම තොරතුරු
ප්‍රයෝජනවත් වන බව කිව යුතු ය. |