[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශාසන ප්‍රතිපදාව සුන්දර සිතක් ඇති අයටයි

ශාසන ප්‍රතිපදාව සුන්දර සිතක් ඇති අයටයි

ලස්සන රූපයක් ලැබුණත් අපි කැමැතියි තව තවත් ලස්සන වෙන්න. බොහෝ කැපකිරීම් විය පැහැදම් කරමින් මහන්සි ගන්නේ ලබාගත් රූපය තවත් ලස්සන කර ගන්න යි.

එහෙත් අපේ ශාස්තෘන් වහන්සේ වදාළේ අප මහන්සි ගත යුත්තේ රූපයට වඩා සිත ලස්සන කර ගැනීමට කියලයි.

බාහිර ව කෙතරම් ලස්සන රූපයක් ලැබී තිබුණත්, ඔහු හෝ ඇය හෝ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා, කියවා දැනගෙන නැත්නම් ඒ සුන්දරත්වයෙන් ප්‍රයෝජනයක් කොහින් ද? රූපය ලස්සන වේවා, අවලස්සන වේවා සුන්දර වියයුත්තේ මේ සිතයි. සුන්දර සිතක් ඇති කෙනාටයි මේ ශාසන ප්‍රතිපදාවේ ගමන් කළ හැක්කේ.

ඒ සඳහා බුද්ධ දේශනාවේ ඇති හොඳම උදාහරණය තමයි මාගන්දියා. ඇයට ඉතා ම ලස්සන මනස්කාන්ත රූපයක් තිබුණා. ඒ නිසා ම ඇය අනන්ත අප්‍රමාණ දුක් ඇතිවන ආකාරයට අකුසල් කර ගත්තා. ඇය සිත ගැන සෙව්වේ නැහැ. ලැබුණු රූපයෙන් මත් වුණා. එනිසා ම නිතර ම පහත් අදහස්වලින් සිත පිරී තිබුණා. වෛරයෙන්, ක්‍රෝධයෙන්, පලිගැනීමේ අදහසින් සිත කිලිටි වූ නිසා ඇය අදටත් නිරයේ දුක් විඳිනවා.

සම්බුද්ධ දේශනාව පුරාවට ම කියා දී තිබෙන්නේ සිත පිරිසුදු කරගත යුතු ආකාරය යි.

“පින්වත් මහණෙනි, මේ සිත පිරිසුදු කර ගන්න. සිත අපිරිසුදු වන්නේ බාහිරෙන් එන අකුසල නිසා” උන්වහන්සේ වදාළා.

තිථි සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, ලස්සනට ජීවත් වෙන්න කැමැති දුවෙක් හෝ පුතෙක් හෝ ඉන්නවා. ඇය හෝ ඔහු හෝ ළඟ නිතර ම කැඩපතක් තිබෙනවා. නිතර ඒ කැඩපත අසලට යනවා. රූපය සරසලා තමන් ලස්සන ද කියලා බලනවා. මෙසේ කැඩපත ඉදිරියට ගොස් බලන විට තමා පේනවා. තමාගේ මුහුණේ, විලාසිතාවේ, කොණ්ඩයේ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් කැඩපතින් එය මනාව පෙනෙනවා.

අපේ ජීවිතයේත් තිබිය යුතු දහම් කැඩපතක් ගැන උන්වහන්සේ වදාළා. ඒ දහම් කැඩපත යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට උපකාර කර ගත්තොත්, ජීවිතය ගැන ප්‍රඥාවෙන් විමසා බලන්නට හැකියාව ලැබෙනවා.

ඇතැම් කෙනකුට සසරේ අකුසල් බලවත් වෙලා ද්වේෂ සහගත සිතක් ලැබෙනවා. නිතර ම කිපෙනවා. පොඩි දෙයටත් සැකය ඇති කර ගෙන කෑ ගසමින් දෙස් දෙවොල් තබනවා. මේ වගේ කෙනකුට නුවණත් සමඟ දහම් කැඩපත ලැබුණොත් ඔහු හෝ ඇය හෝ විමස විමසා බලනවා, ඇයි මම පොඩි දෙයටත් තරහ ගන්නේ? ඉවසන්න බැරි ඇයි කියා තම ගැන ම විමසනවා.

තව අයකුටත් කැඩපතක් ලැබිල ඔහුත් විමසා බලනවා. එවිට දහම් කැඩපත තුළින් පෙනෙනවා මම නිතර ම මෛත්‍රී සිතින් වාසය කරන කෙනෙක්. ඉවසීම පුරුදු කරනවා. නිතර ම අලස ව ඉන්න කෙනකු නොවේ. මම සිතට එන අකුසල් වහා දුරු කරන්න උත්සාහ කරන කෙනෙක්. මගේ සිත තැන්පත්. විසිරෙනවා අඩුයි. මේ ආදි වශයෙන් නිතර නිතර දහම් කැඩපත තුළින් බලමින් තමා ගැන සතුටක් ඇති කර ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා කිලිටි සිතත් කිලිටි වූ වස්ත්‍රයක් වගේ කියලා. දහඩිය, පැල්ලම්, කුණු තැවරුණූ වස්ත්‍රයකට සායම් පොවන්නට අප කොතෙක් උත්සාහ කළත් එය අපහසු යි. අපිරිසුදු වස්ත්‍රයට සායම් රඳන්නේ නැහැ. ඒ වගේ අපගේ සිතත් කිලිටි නම් කෙ තරම් ධර්මය ඇසුවත් අවබෝධය කරා යන්නේ නැහැ. එනිසයි සිතේ ඇතිවන කිලිටි හඳුනාගෙන ඒ කිලිටි සෝදා හරින්න දහම් කැඩපත අපට උපකාර වෙන්නේ.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]