[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික සෝමවති පුදබිමේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට අසිරිය ගෙනෙන මුණ්ඩිගල සෙනසුන

ඓතිහාසික සෝමවති පුදබිමේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට අසිරිය ගෙනෙන මුණ්ඩිගල සෙනසුන

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින බිම අසිරිමත් පුණ්‍ය භූමියකි.

මේ පුදබිමේ වාර්ෂික ව සිදු කරන පින්කම් අතුරින් සුවිශේෂී වන්නේ කඨින මහා පින්කම් මාලාවයි.

එම පින්බර අවස්ථාව උදාකර ගැනීම ම මහත් වූ පුණ්‍ය කර්මයකි. එය ඉතාමත් භාරදූර කටයුත්තකි. විශාල සංවිධාන ශක්තියක් දරමින් සිදුවන කටයුත්තකි. ඒ සඳහා මෙවර මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අවිස්සාවේල්ල මුණ්ඩිගල අරණ්‍ය සේනාසනාධිපති අසරණ සරණ කම්මට්ඨානාචාර්ය මිල්ලෑවේ මහින්ද නායක ස්වාමීන් වහන්සේ විසිනි. මේ සඳහා උන්වහන්සේට දායකත්වය ලබා දෙන්නේ මාතර වෙහෙරහේන විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ බෞද්ධ මණ්ඩලයේ සභාපති සුමී ගායක මිත්‍රපාල මහතා ය.


මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලෑවේ මහින්ද නාහිමි

සෝමවති රාජ මහා විහාරයේ දායක දායිකාවන් හා ඓතිහාසික මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනයේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් යුතු ව සිදු කරන මේ කටයුත්ත මෙම 19 සහ 20 වැනි දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

වස්සාන සෘතුව ආරම්භයේ ඓතිහාසික සෝමවති රාජ මහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රධාන සිල්වත් භික්ෂූන් වහන්සේ හය නමක් වැඩ වාසය කරති.

මෙවර මෙම පින්කම් මාලාව සංවිධානය කිරීම පිළිබඳ මිල්ලෑවේ මහින්ද හිමිපාණන් වහන්සේ අපට සඳහන් කළේ මහත් ගෞරවයෙනි.

“මගේ පැවිදි ජීවිතයේ ශ්‍රමණ ගුණය වඩවමින් සිදු කරන ශාසනික මෙහෙවර අතුරින් එක් සේවාවක් ලෙස මේ කඨින පුණ්‍ය උත්සවය සඳහන් කරන්න පුළුවන්. මම 2016 වසරේ සේරුවාවිල මංගල සෑයේ දී තමයි මුල්ම කඨින මහා පින්කම සිදු කළේ. ඉන්පසුව 2017 මහියංගණ සෑ රජුන් අභියසත්, 2018 වසරේ දීඝවාපී මහා සෑ රදුන් අභියසත්, 2019 දී ඓතිහාසික තන්තිරිමලේ පුදබිමෙත්, 2020 වසරේ දී තිස්සමහාරාම මහා සෑ රජාණන් වහන්සේ ඉදිරියේත් පවත්වන්නට අවස්ථාව ලැබුණා. 2022 වසරේ දී කතරගම කිරි වෙහෙර පුණ්‍ය භූමියේදීත්, 2023 වසරේ දී මිහින්තලා සෑ රදුන් අභියසත් මේ උතුම් කඨින පින්කම සිදු කිරීමට අවස්ථාව උදා වුණා.

මේ උතුම් පුණ්‍ය කර්මයට අමතර ව මට ශාසනික වශයෙන් මෙන් ම සමාජීය වශයෙන් විශාල සේවයක් ඉටු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ සියලු දේ කිරීමට මට ශක්තිය ලැබුණේ පින්වත් දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගත්, ශ්‍රම දායකත්වයත් නිසයි. ඒ වගේ ම යුද සමයේ මම වැඩිම කාලයක් ගත කළේ අපේ වීරෝධාර සෙබළුන් හා පොලිසිය සමඟ. ඔවුන් සමඟ එකතු වී මට විශාල සමාජ මෙහෙවරක් සිදු කිරීමට අවස්ථාව උදා වුණා.

අසරණ පවුල් එකසිය දාහතකට නිවාස සාදා පූජා කරන්න මට ශක්තිය ලැබුණා. ඒ වගේම අවිස්සාවේල්ල මූලික රෝහලේ භික්ෂු වාට්ටුව, දෙමහල් සායන ගොඩනැඟිල්ල, ළදරු සායනය, බෙහෙත් ගබඩාවක් හා අනෙකුත් රෝහල් උපකරණ ආදිය කෝටි පහකට වඩා වැඩි මුදල් ප්‍රමාණගත කටයුතු ඉටු කර දීමට හැකි වුණා. පනාවල ආයුර්වේද රෝහලට භික්ෂු වාට්ටුවක් සාදා දීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම යුද සමයේ උතුරු නැඟෙනහිර මායිම් ගම්මානවල ජනතාව උදෙසා වැව්, අමුණු, පොකුණු, වෙහෙර විහාරස්ථාන ඉදිකොට කෙත්වතු පවා පූජා කිරීමට හැකි වුණා. අසරණ රෝගීන් උදෙසා ඇස් කණ්ණාඩි හා වෛද්‍ය ආධාර ලබා දුන්නා.


මිල්ලෑවේ මහින්ද නාහිමි චන්දන දීපවංශ මහතා සමඟ

මේ ආදි සියලු කටයුතු ඉටු කරන අතර ජීවිතයේ අවස්ථා හතරක දී අටමහා පින්කම් එකවර සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා. මේ අට මහා පින්කම් අතුරින් ඉතාම වටිනාම පින්කමක් වන්නේ කඨින චීවර මහා පූජාවයි. මේ කටයුත්ත ඓතිහාසික සෝමවතිය පුද බිමේ දී ඉටු කිරීමට මට විශාල පිරිසක් දායකත්වය ලබා දෙනවා.

මේ පින්කමට සමගාමී ව මේ පුණ්‍ය භූමියට කිලෝවොට් 250ක ධාරිතාව ඇති සෝලා පැනල් පද්ධතියක් පරිත්‍යාග කරන්න හැකියාව ලැබුණා. මේ සූර්ය පැනල් පද්ධතිය පූජා කරනු ලබන්නේ ඒච්ඉ සෝලා පුද්ගලික ආයතනයයි. ඒ සඳහා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් වැය වෙනවා. එම කටයුත්ත සඳහා දායකත්වය ලබා දෙන්නේ එම ආයතනයේ අධිපති ෆැන්සිස් ද සිල්වා මහතා. ඒ වගේම මේ කටයුත්ත සඳහා සම්බන්ධීකරණයෙන් එම ආයතනයේ අධ්‍යක්ෂ චන්දන දීපවංශ මහතා විශාල කැපවීමක් කළා. මෙහි පළමු අදියර යටතේ මේ කඨින පින්කම පැවැත්වෙන දිනයේ කිලෝවොට් 125ක ධාරිතාවකින් යුතු සෝලා පද්ධතියක් පූජා කිරීම සිදු වෙනවා. මේ සඳහා ලක්වාසී සියලුම දෙනාට දායක වීමට පුළුවන්.

මෙහි දී තවත් විශේෂ සිදුවීමක් ලෙස ගුවන් යානයකින් උඩු ගුවනේ සිට මල් වැසි පූජෝපහාරය සහ අසූ හාරදහසක් විදුලි බුබුලු ආලෝක පූජාව, සියක් නමකට දානය පූජා කිරීම සිදු කරනු ලබන්නේ කේ.එම්.ඩී.සී. සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය කපිල ගාමිණි සිරිසේන මහතාගේ පූර්ණ අනුග්‍රහයෙනු යි.


කඨින පින්කම් මාලාව

මෙම 19 සෙනසුරාදා උදෑසන ශඩ් වර්ණ කප්රුක් පූජාව, බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපතුලේ පිහිටා ඇති 108ක් මඟුල් ලකුණු උදෙසා අටපිරිකර 108ක් සෑ රදුන් වටා තැන්පත් කර පූජා කිරීම, සම්බුද්ධ පූජාව , උදෑසන 7.30ට සුමධුර ධර්ම දේශනාව, රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව රෑ තුන්යම මුළුල්ලේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීම.

20 ඉරිදා උදෑසන 3.00 සිට පොළොන්නරු නගරයේ සිට සුගත චීවරය සහ කඨින වස්ත්‍රය සෝමවති පුදබිම දක්වා පෙරහරකින් වැඩම කරවීම, කිරි ආහාර පාත්‍ර 100ක් ප්‍රමුඛ ප්‍රණීත පිරිසුදු උදෑසන සම්බුද්ධ පූජාව, උදෑසන 7.00 කඨින වස්ත්‍රය හා කල්ප වෘක්ෂයක් සහිත මහා පූජාව. උදෑසන 10.00 දහවල් සම්බුද්ධ පූජාව, උදයේ 11.00 සියනමක් උදෙසා අටපිරිකර, සෙසු පිරිකර හා ගරු භාණ්ඩ සහිත ව මහා දානය සඟ සතු කොට පූජා කිරීම.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]