[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධාර්මික පාලකයාගේ පැවැත්මේ වික්‍රමාන්විතය

ධාර්මික පාලකයාගේ පැවැත්මේ වික්‍රමාන්විතය

ධාර්මික පාලකයා යම් රටක පාලන තන්ත්‍රය ගොඩනැඟිය යුත්තේ එම රටටත්, රටේ ජනතාවටත් ගැලපෙන ආකාරයට ය. රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනැඟිය යුත්තේ රටේත්, ජනතාවගේත් සුබ සාධනය උදෙසා ය.

සමාජ ආචාරධර්මවලට හා අයිතිවාසිකම්වලට එකඟ ව ගොඩනැඟිය යුතු එම රාජ්‍ය ප්‍රතිපත්තිවල අවසාන අරමුණ විය යුත්තේ සංවර්ධනය යි. රටක්‌ සංවර්ධනය කරා ගෙන යැම සුළුපටු කරුණක්‌ නොවේ. ඒ සඳහා ශක්‌තිමත් පාලකයකු සහිත ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ අවශ්‍ය ය. එනම් ස්‌ථාවර රජයකි. ස්‌ථාවර රජයක්‌ ගොඩනැඟෙන්නේ මහජන කැමැත්ත ඉහළ යන තරමට ය. මහජන කැමැත්ත ස්‌ථාවර ව පවත්වා ගෙන යෑම ලෙහෙසි පහසු නොවන අතර, එය රඳා පවතිනුයේ පාලන ස්‌වභාවය අනුව ය.

ශක්‌තිමත් පාලනයක්‌ තුළින් රටක්‌ සංවර්ධනය කරා ගෙන යා හැක්‌කේ ධාර්මික පාලකයකුට පමණි යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ මූලික අදහස යි. රටක පළමු පුරවැසියා පාලකයා ය. රටේත්, ජනතාවගේත් ඉරණම රඳා පවතින්නේ පාලකයාගේ ක්‍රියාකලාපය මත ය.

සබ්බං රට්‌ඨං සුඛං සේති
රාජා වේ හෝති ධම්මිකො

පාලකයා දැහැමි වන්නේ නම් රටවැසියා සැපතට පත්වෙති. මහජනතාව සතුටින් කල්ගත කිරීමට නම් පාලකයාගේ දැහැමි පාලනය අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාව යි. ඒ නිසා රජතුමා ධාර්මිකයකු වේවා යන්න බෞද්ධ දේශපාලන දර්ශනයේ ප්‍රාර්ථනය යි.

රාජා භවතු ධම්මිකෝ යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කර ඇත්තේ ඒ නිසාවෙනි.

පාලකයා දැහැමි වන විට අමාත්‍ය මණ්‌ඩලය දැහැමි වේ. අමාත්‍ය මණ්‌ඩලය දැහැමි වන විට රටවැසියා දැහැමි වේ. එවිට සොරකම්, අපරාධ, වංචා, දූෂණ ආදිය තුරන් වී යයි. භව භෝග සම්පත් වර්ධනය වී රටක්‌ සංවර්ධනය වන්නේ එවිට ය.

යම් හෙයකින් පාලකයා අධාර්මික වුවහොත් අමාත්‍ය මණ්‌ඩලය ද අධාර්මික වේ. එවිට ඊට පහළ ස්‌ථරවල වෙසෙන ව්‍යාපාරිකයන්, ආයතන ප්‍රධානීන් ආදීන් අදැහැමි වේ. එවිට මහජනතාව ද අදැහැමි වී සොර මැරකම් ඉහළ යයි. බොරුව, වංචාව රජ වෙයි. භව භෝග විනාශ වී යයි. පරිසරය ද දූෂණය වෙයි. ඒත් සමඟ ස්වභාව ධර්මය අනිටු ප්‍රතිවිපාක ලබා දෙයි. මේ ආදී වශයෙන් පාලකයකු අදැහැමි වන්නේ නම්, ක්‍රමයෙන් මුළු රාජ්‍යය ම ප්‍රපාතයට ඇද වැටෙන බව බුද්ධ දේශනාවේ එන අධම්මික සූත්‍රයේ සඳහන් වේ.

අපගේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ බුන්වත් රාජ්‍යක් හෙවත් බිඳවැටුණු රාජ්‍යයක් වූයේ මේ හේතු නිසා නොවේ ද?

දේශපාලන උපදෙස්‌ සැපයෙන තවත් සූත්‍ර ධර්මයකි කූටදන්ත සූත්‍රය. එහි සඳහන් වන ආකාරයට රටේ කැරලි කෝලාහල, සොරමැරකම් තුරන් කිරීමට නම් රැකියා මාර්ග සුලභ කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතු ය. රාජ්‍ය හා පෞද්ගලික මට්‌ටමේ රැකියා උත්පාදනය කිරීමට රජය වැඩපිළිවෙළ යෙදිය යුතු අතර ම රැකියා නියුක්‌තිකයන් දිරි ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ය. ස්‌වයං රැකියාලාභීන් හා ව්‍යාපාර පවත්වා ගෙන යන්නන්ට අවශ්‍ය පහසුකම් රජය විසින් සැපයිය යුතු වේ. කෘෂිකර්මාන්තයට කැමැති අයට බීජ, පොහොර, ඉඩම් ලබා දීම, වෙළෙඳාමට කැමැති අයට ප්‍රාග් ධනය ලෙස මූල්‍යාධාර ලබා දීම, කාර්මික ක්‍ෂේත්‍රයට කැමැති අයට අවශ්‍ය පුහුණුවීම් හා උපකරණ ලබාදීම ආදී වශයෙන් රැකී රක්‍ෂා සුලභ කිරීමට ක්‍රමවත් වැඩසටහන් යෙදීම පාලකයාගේ වගකීම ය.

මේ ආකාරයට රටවැසියාගේ ආදායම් මාර්ග සරු වන විට ගැටුම්වලින් තොර සාමකාමී සමාජයක්‌ මෙන් ම, ස්‌ථාවර ශක්‌තිමත් රජයක්‌ ද බිහි වේ. මෙබඳු රටක් පිළිබද සිහිනයක් අපට තිබුණා මිස අත්විඳ නැත.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හොඳ පාලනයක්‌ පවත්වා ගෙන යෑමට නම් ජනතාවට නායකත්වය දෙන පාලකයා සදාචාර සම්පන්න විය යුතු ය. ආදර්ශවත් විය යුතු ය. ගව රැළක නායක ගවයා ඇදට ගමන් කරන කල්හි ඒ පසුපස යන සෙසු ගවයෝ ද ඇද මාර්ගයේ ගමන් කරති. ගව නායකයා සෘජු මාර්ගයේ ගමන් කරන කල්හි සෙසු ගවයෝ ද සෘජු මාර්ගයේ ගමන් කරති. රජු අදැහැමි වූ කල්හි රටවැසියා ද අදැහැමි වන බවත්, රජු දැහැමි වන කල්හි රටවැසියා ද දැහැමි වන බවත් රාජෝවාද ජාතකයේ සඳහන් වේ.

ගවං වේ තරමානානං
උජුං ගච්ඡන්ති පූංගවෝ
සබ්බා තා උජුං ගච්ඡන්ති
නෙත්තේ උජු ගතේ සති

යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ ගව නායකයා හා සෙසු ගවයන් අතර ඇති සම්බන්ධය පාලක පාලිත දෙපක්‍ෂය අතර ද ඇති බවයි. පාලකයකු පත්කර ගැනීම පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන අතර, එහිදී පාලකයකු වෙත පැන වූ කොන්දේසි මාලාවක්‌ ද සඳහන් වේ. එහි මෙවැනි කරුණු තුනක්‌ දැක ගත හැකි ය.

හික්‌මවිය යුත්තන් මැනවින් හික්‌මවිය යුතු ය, ගැරහිය යුත්තන්ට ගැරහිය යුතු ය, රටින් නෙරපිය යුත්තන් නෙරපා හැරිය යුතු ය.

මේ අනුව පෙනී යන්නේ මහජනතාව පාලකයකු පත්කර ගන්නේ ම සිය සමාජය සොර මැරකමින් තොර සාමකාමී සංවර්ධිත සමාජයක්‌ කරා ගෙන යැමට බව ය. මින් අදහස් වන්නේ වර්තමානයේ කියැවෙන නීතියේ විධානය නිසියාකාර ව පවත්වා ගතයුතු බවයි.

දඬුවම් පැමිණවීම ද ඉතා ප්‍රවේශමෙන් කළ යුතු ය. දඬුවම් කළ යුතු පුද්ගලයා මැනවින් හඳුනාගෙන වරදට අනුරූපී දඬුවමක්‌ ලබාදිය යුතු ය. දඬුවමින් පමණක් ම රටක් පාලනය කළ නොහැකි අතර දඬුවම් දීමට හේතු වූ කාරණා සමාජයේ පැන නොනඟින්නට පාලකයා වගබලා ගත යුතු ය.

“තේ ච මනුස්සා සකම්මපසුතා රඤ්ඤෝ ජනපදං න විහේඨෙස්සන්ති. මහා ච රඤ්ඤෝ රාසිකෝ භවිස්සති, ඛේමට්ඨිතා ජනපදා අකණ්ටකා අනුප්පීළා. මනුස්සා ච මුදා මෝදමානා උරේ පුත්තේ නච්චෙන්තා අපාරුතඝරා මඤ්ඥේ විහරිස්සන්තී”

මේ කූඨදන්ත සූත්‍ර පාඨය අපට කියා දෙන පාඩම ඉතා ගැඹුරු දේශපාලන ක්‍රියාදාමයක, සාර්ථක ප්‍රතිඵලයක කථාව යි. ජනතාවාදී පාලකයා සැමවිට ම සිතනුයේ ජනතාව සමඟ සිටීමට මිස ජනතාවට උඩින් සිටීමට නොවේ. ජනතාව විඳීනවාට හෝ ලබනවාට හෝ වැඩි යමක් තමන්ට එපා යැයි හඬනඟා කියන්නේ ඒ ජනතාවාදී පාලකයා මිස අන් කවුරු ද? ලියන පෑනේ සිට කන කෑම වේල දක්වාත්, පාවිච්චි කරන යානවාහන, පරිහරණය කරන අනිකුත් උපකරණ හා ලබන වේතනයන් මේ සෑම දෙයක් ම කෙරෙහි ජනතාවට වඩා වැඩියෙන් නො සිතන්නේ ජනතාවාදී පාලකයා ය. එබඳු පාලකයා සමඟ විසීමට ජනයා කැමැති ය. එබඳු පාලකයාගේ නීතිරීතිවලට ජනයා එකඟ ය. ජනතාව තමන්ට පැවරෙන කාර්යයන් මැනවින් කරමින්, නිසි අයබදු ගෙවමින්, සිය දරුවන් හා වෙසෙමින්, ආගමික ඇදහිලි, පුදසිරිත් කරමින් යහපත් විනෝදාස්වාදයන් ලබමින් කටයුතු කරයි. එබඳු රට සුවපත් ය. ගැටීම් නැත. සැක බිය නැත. ජනයාට ජනයා ප්‍රියයි. රට අත්හැර වෙනත් දේශයන් සොයා යන්නේ නැත. නවෝත්පාදන ඇති වේ. ආර්ථික සමෘද්ධිය වැඩි වේ. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් උදාකර ගන්නේ ය. මේ ධාර්මික රජුගේ හෙවත් පාලකයාගේ පැවැත්මේ වික්‍රමාන්විතය යි.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]