[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තුන් පිටකය විවරණය කරන අටුවාව

තුන් පිටකය විවරණය කරන අටුවාව

තුන් පිටකයේ තියෙන අමාරු පද, අපහසු සංකල්ප තවදුරටත් පැහැදිලි කරන, විවරණය කරන, ප්‍රකට කරන ග්‍රන්ථාවලිය අටුවාව ලෙස හඳුනාගැනීමට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අභිධර්මය ඇතුළු විවිධ සූත්‍ර ඇතුළත් මෙහි තුන්පිටකය සමඟ නිතැතින් ම කියැවෙන ග්‍රන්ථාවලියක් තමයි අටුවාව.

මෙය පාලි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අට්ඨ කථා ලෙසයි. පාලි භාෂාවෙන් අට්ඨ කථා යන්න “අටුවා” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙනවා. බුද්ධ දේශනාව ආශ්‍රයෙන් ම අටුවාව ගොඩනැඟී තිබෙනවා. ඇත්ත වශයෙන් ම අටුවාව පිළිබඳ අවබෝධයක් නොමැති ව තුන්පිටකයේ බොහෝ දේ තේරුම් ගත නොහැකියි. අටුවාව ග්‍රන්ථාරූඪ කිරීමට හේතුවත්, එය ලිවීමට අත්දැකීමත් ගොඩනැඟී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පදනම් කර ගෙන යි.

අටුවාවේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ම පදනම් කර ගෙන, ඒවා ස්ඵුට කර දක්වමින් යම් කරුණක් තහවුරු කිරීමයි. අප රටේ එදත්, අදත් ධර්ම, විනය, විකෘති නොකර, ව්‍යක්ත ලෙස ධර්මය දේශනා කරන ධර්මධර, උගත්, පණ්ඩිත ස්වාමීන් වහන්සේ සිටිනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනු ලබන්නේ මාතෘකාවකට අනුවයි. නිදසුනක් ලෙස එවැනි හිමිනමක් කර්මය ගැන දේශනා කරනවා කියමුකෝ. එවිට උන්වහන්සේ ‘කර්මය’ පැහැදිලි කිරීම සඳහා සූත්‍ර පාඨ, ගාථා උද්ධෘත කොට ගනිමින් “අහවල් තැන මෙහෙමයි සඳහන් වන්නේ” යනුවෙන් දේශනා කරනු ලබනවා. එම ක්‍රමය තමයි අටුවා යන්නෙන් අදහස් කරනුයේ. අටුවාව යනු ඉතාම ශාස්ත්‍රීය විවරණයක්.

අටුවාවක් නිර්මාණය කරන්නේ කෙසේ ද කියා දීඝනිකායේ ටීකාවේ සය විදිහක් සඳහන් කරනවා.

අථ වා ඡහි ආකාරෙහි
සංවණණ්නා කාතබ්බා සම්බන්ධතෝ,
පදකෝ, පදවිභාගතෝ, අත්ථතෝ
අනුයෝගතෝ පරිහාරතෝචාති,

සම්බන්ධතෝ යනු නිදානය ඉදිරිපත් කිරීමයි. නිදානය යන්න සූත්‍ර නිදානය සහ අට්ඨකථා නිදානය යනුවෙන් කොටස් දෙකකට වෙන් කෙරෙනවා. යම් සූත්‍රයක් අර්ථ නිරූපණය කිරීමේ දී එය කවදා, කොතැනක දී, කවුරුන් අරභයා දේශනා කළේ ද යන්න පැහැදිලි කිරීම සූත්‍ර නිදාන වේ. විනය ශික්ෂා පදවල දී විනය පැනවීමට හේතුව කාට ද? කුමක් නිමිති කර ගෙන ද? යන්න පැහැදිලි කිරීම යන්න අට්ඨ කථා නිදානය ලෙස හඳුන්වනු ලබනවා.

දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වනු ලබන ‘පදතෝ’ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාලි පාඨවලින් උපුටා ගන්නා ලද කොටස්වල අර්ථය පදයක් පාසා පැහැදිලි කිරීම ‘පදතෝ’ ලෙස සැලකෙනවා.

“යං තදාචි කරහචි දීඝස්ස
අද්ධුනෝ අවිචයේන සංවට්ටති”

දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වන බුදුරජාණන් වහන්සේ දේශනා කළ එම සූත්‍ර පාඨය අටුවාවේ පැහැදිලි කරනු ලබන්නේ මේ ආකාරයෙනි.

“යංති නිපාතමත්තං කදාචිති
කිස්මිඤ්චි කාලේ
කරභවිති තස්සේව වේ වචනං
දීඝස්ස අද්ධුනෝ
දීඝස්ස කාලස්ස අච්චයෙතානි
අනිත්තමේන සංවටිටතීතී විනස්සති”

මෙම විවරණයට අනුව ‘යං’ යනු නිපාත පදයකි. තරහචි යනු යම්කිසි කාලයක් යන්නයි. දීඝස්ස අද්ධුනෝති යනු දීර්ඝ කාලයක් ඇවෑමෙන් යන්නයි. සංවට්ටතීති යනු විනාශවීම යන්නයි. මෙලෙසයි අටුවාව විස්තර කරනු ලබන්නේ. මෙහිදී පද විග්‍රහයට භාවිත කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෙනත් සූත්‍රවල තිබෙන අදහස්.

තුන්වෙනි ක්‍රමය පද විභාගය යි. ත්‍රිපිටකයෙහි එන පාඨවල නිවැරැදි අර්ථ අවබෝධ කර ගැනීමට ව්‍යාකරණය රචනා ක්‍රම ගැන දැන ගැනීමත් අවශ්‍යයි. පදවිභංගයෙන් සිදු කෙරෙන්නේ එම පැහැදිලි කර ගැනීමයි. පද නාම පදයක් ද, ආඛ්‍යාත පදයක් ද? නිපාත පදයක් ද? උපසර්ග පදයක් ද? සමාස පදයක් ද? තද්ධිත පදයක් ද? යනාදී වශයෙන් පවතින ව්‍යාකරණ පදනමයි පද විභංගයෙන් සිදු කෙරෙන්නේ.

මොග්ගල්ලාන පඤ්චිකා නම් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙනවා.

“යො නිරුක්තිං න ජානා නි
ජනාති පිටකත්තයං
පදෙ පදෙ විකංඛෙය්‍ය
වනෙ අන්ධ ගජෝ විය”

යම්කිසි කෙනෙක් ත්‍රිපිටකය දැන ගත්තත්, නිරුක්තිය දන්නේ නැති නම් මහා වනාන්තරයකට වන් අන්ධ ඇතකු සේ පදයක් පදයක් ගානේ හැකිළෙනවා. අන්ධ ඇතෙක් වනාන්තරයේ ගමන් කරද්දී අර ගහේ හැප්පෙනවා. මේ ගහේ හැප්පෙනවා. මහා අවුලෙන් අවුලට පත්වෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීමට පද විභංගයන් දැනගත යුතුයි.

හතරවැනි ලක්ෂණය වන ‘අත්ථතෝ’ යනු වචනවල සහ සංකල්පවල නිවැරැදි අර්ථය පැහැදිලි කිරීමයි. අටුවා රචනා කිරීමේ දී අටුවාචාරීන් වහන්සේ භාවිත කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ යම් සූත්‍රයක් දේශනා කර අදහසක් ඉදිරිපත් කර තිබේ නම්, එම අදහස තහවුරු වන තවත් සූත්‍ර පාඨ උපුටා දැක්වීමකුයි අටුවාවෙන් සිදු කෙරෙන්නේ.

මෙම ලිපියේ ඉතිරි කොටස අව අටවක (24)අන්තර්ජාල කලාපයේ පළවේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]