මරණය සිහිපත් කළ සලකුණක අරුමය

මරණය සිහිපත් කළ සලකුණක අරුමය

" ජීවිතයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම අද අද ම කළ යුතු ව ඇත. එයට හේතුව ජීවත්වීමේ කාලය ඉතා සීමිත බැවිනි. එය ද අවිනිශ්චිත ය. සෑම තැනකින් ම මෙම ශරීර කූඩුව විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. අහස උසට මාලිගා හැදුවට, අසීමිත ප්‍රාර්ථනා පොදි බැන්දට ඒවා ක්ෂණයකින් විනාශ වීම ධර්මතාව යි. "

ජීවිතයේ අනිත්‍යතාව අවබෝධ කර ගන්නට බැරි බොහෝ දෙනෙක් ලෞකික වශයෙන් විඳින සැප සම්පත් හැර යාමට කිසිවිටෙක අපොහොසත් වෙති. ජීවිතයේ උපතේ පටන් මරණය දක්වා ම අනිත්‍ය සිද්ධාන්තය මත ගමන් කළ ද, ඒ පිළිබඳ අනවබෝධය හේතුවෙන් සත්වයා තව තවත් කම් සැප පසුපස ම හඹා යති. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්වලට ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහා සත්වයා භෞතික ලෝකය ගොඩනඟා ගනී. එහි නිමග්න ව මොහොතක් ගානෙ කාම ලෝකය තුළ කිරුළු පැළඳීමට වෙහෙසෙති. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ උදය සූත්‍රය තුළ පැහැදිලි වන ආකාරයට එතුළින් සත්වයා නැවත නැවත දුකට ම පත් වෙති.

පුනප්පුනං ඛීරනිකා දුහන්ති - පුනප්පුනං වච්ජො උපෙති මාතරං
පුනප්පුනං කිලමති එන්දතීච - පුනප්පුනං ගබ්භමුපෙති මන්දො

කිරි දොවන්නෝ නැවත නැවත දොවති. වස්සා නැවත නැවත මව වෙත එළඹෙයි. මේ ආකාරයෙන් සත්වයෝ නැවත නැවත වෙහෙස ලබති. කම්පා වෙති. බාලයා (මෝඩයා) නැවත නැවත මව්කුසට පැමිණෙයි.

පුනප්පුනං ජායති මීයති ච - පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය - න පුනප්පුනං ජායති භුරිපඤ්ඤෝ

නැවත නැවත උපදියි. නැවත නැවත මියයයි. නැවත නැවත සොහොනට ගෙන යයි. නිවන් ලැබූ නුවණැත්තා නැවත නැවත නූපදී.

ඉහත ගාථා ද්වයෙන් පැහැදිලි වන්නේ ජීවිතයේ සැබෑ අර්ථය යි. වර්තමානය තුළ වසන්නන් හරියට යන්ත්‍ර සේ දිවි රැකුමට වෙහෙසෙති. ක්ලාන්ත වෙති. සීමාව ඉක්මවා වස්තු සම්පත් සෙවීමට යෑම තුළ එය දෙ ගුණ තෙ ගුණ වශයෙන් සිදු වෙති. සත්වයා උපදින, මැරෙන ස්වභාවය නැවත නැවත සිදු වේ. ඒ අතර අනන්ත අප්‍රමාණ දුක් ජීවිතයට එකතු වෙයි. රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනාදී එකොළොස් ගින්නකින් සත්වයා පිච්චි - පිච්චි, දැවි - දැවී සිටින්නේ ය. මේ බව දන්නෝ එයින් මිදීමට මඟ පාදා ගන්නා අතර අනුවණයෝ තව තවත් සසර පිච්චී, මැර මැරී උපදිති.

අප මහ බෝසතාණෝ අත්හැරීම සසර පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළහ. බුදු වීමට පෙර ආත්ම දෙස බැලීමේ දී ද ඒ බව මනාව පිළිබිඹු වේ. බුද්ධ ධර්මයේ පදාර්ථ 5ක් පිළිබඳ කියැවේ. සියලු දතයුතු දේ යන අර්ථයෙන් සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති, යනුවෙන් පස් අංගයකින් ඒවා දක්වා ඇත. ඉන් විකාර යනුවෙන් හැඳින්වෙන්නේ විද්‍යමාන වස්තුන්ගේ වෙනස් වීම ය. එසේ නම් භෞතික වශයෙන් ශරීරය තුළ ද එම වෙනස්වීම දැකිය හැක. ඒ සඳහා අපට හොඳම නිදර්ශනයක් ලෙස පන්සිය පනස් ජාතක පොතෙහි 9 වැනි ජාතකය වූ මඛාදේව ජාතකය පෙන්වා දීමට පුළුවන.

බුදුරදුන් පෙරුම්දම් පුරන සමයෙහි එක් භවයක වේදේහ රාජ්‍යයෙහි මියුලු නුවර මඛාදේව රජු වශයෙන් පෙනී සිටියහ. කෙස් කපන කරණවෑමියාට තමාගේ හිසෙහි පැසුණු හිස කෙසක් දුටුවොතින් දන්වන ලෙස කලින් ම මතක් කළේ ය. ඒ අනුව දිනක් කරණවෑමියා ඉදුණු කෙස් ගසක් දැක එය ගලවා රජු අතට දුන්නේ ය.

ඒ දැක රජු මහත් සංවේගයට පත්වී නර කෙස් එන තුරුත් කෙලෙස් අත්හළ නොහැකි වී යැයි තමන්ට ම දොස් පවරා ගත්යේ ය. එපමණක් නොව තම රාජ්‍ය පුතුට පවරා රජු මඛාදේව අඹ උයනෙහි මහණදම් පුරන්නට යන බව පැවසීය. ඒ අවස්ථාවේ දී ඇමතියන් ප්‍රශ්න කරන්නේ මහණ වීම සඳහා යන්නට හේතුව කුමක්ද යන්නයි. එහිදී මඛාදේව රජු දුන් පිළිතුර ඉතා වැදගත් ය. එනම්, මරණය නළලට පැමිණියේ වෙයි. යම දූතයකු බඳු ය. එබැවින් මහණ වෙමි” යනුවෙනි.

ඇත්තෙන් ම වර්තමානයට මෙවැනි උතුම් කතා කො තරම් වැදගත් වන්නේ ද යන්න සිතිය යුතු ය. පුංචි තනතුරු පවා අත්හැරීමට නොහැකි ව හඬා වැළපෙන යුගයකට අද දවස පත් වී ඇත. බලය, ධනය, නිලය, තත්ත්වය රැක ගැනීම වෙනුවෙන් උදේ හවස කල්පනා කරති. ඒ සඳහා සාකච්ඡා පවත්වති. ඒ වෙනුවෙන් තවකෙකුට හිංසා පීඩා කරති. මරණය පෙනි පෙනී වුව ද පංචකාම සම්පත් ම විඳීමට උත්සාහවත් වෙති. මෙම ක්‍රියාකලාපය හරිම ශෝචනීය ය. විශේෂයෙන් බෞද්ධයිනට එය දැඩි ව බලපානු ඇත. ධර්ම ඥානයක් නොමැතිව, මෙලොව, පරලොව විශ්වාස නොකොට මේ යන ගමන කොයිබට ද?

මඛාදේව රජු රාජ්‍යත්වය අත්හැරීමට තීරණය කළේ එක් කෙස් ගසක් පැසී එය දිටීමෙනි. එතරම් ප්‍රමාද වීම ගැන ද බොහෝ දුක් වූහ. අද යුගය තුළ ශරීරයේ ස්වභාවික විපර්යාසයන් පවා නො තකා ඒවා ආපස්සට හැරවීමට මොනතරම් කෘත්‍රිම දේ, ශල්‍යකර්ම, බේත්හේත්, විලවුන් ආලේපන භාවිත කරනවා ද? ඒ සඳහා මුදල් කො තරම් යොදවනවා ද? කෙස් පැසුණු කල අද සිදු කරන්නේ අනිත්‍ය සිද්ධාන්තය නොව, කොහොමද මා එය වළක්වා ගන්නේ යන ආකල්පයෙන් බැලීම ය.

තවද පන්සිය පනස් ජාතක පොතෙහි ම 530 වෙනි ජාතක කතාව වූ මුගපක්ඛ ජාතකය ද අත් හැරීම සම්බන්ධ ව තරමක් දුරට හෝ වැදගත් වනු ඇත. එහිදී සිදුවන්නේ රජ සැපයට වඩා තපස උතුම් කොට සැලකූ තේමිය කුමරා කොරෙක්, බිහිරෙක්, ගොළුවෙක්, විලසට රංගනයක යෙදී රජ සැපත බාර නො ගැනීමට අවස්ථාව සලසා ගැනීමකි. පසුව තේමිය කුමරු රජ සැපතට නුසුදුසු ලෙස සලකා අමුසොහොනට ගෙන යෑමත්, එතැන දී තම සැබෑ තතු රාජ සේවකයින්ට දැන්වීම හා ඒ බව මව්පියන්ට ද දන්වන ලෙස ඉල්ලීම් කිරීමත් සිදු වීමෙන් තපසට මඟ පාදා ගැනීමක් එම කතා පුවත තුළින් දක්නට ලැබේ. අද යුගය තුළ සැප සම්පත්, බලතල, තානාන්තර කෙරෙහි ඇලුම් කරන, ඒ සඳහා සටන් කරන කාට වුව ද මෙවැනි දහම් කතා වැදගත් නොවන්නේ ද?

ඒ අනුව ජීවිතයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම අද අද ම කළ යුතු ව ඇත. එයට හේතුව ජීවත්වීමේ කාලය ඉතා සීමිත බැවිනි. එය ද අවිනිශ්චිත ය. සෑම තැනකින් ම මෙම ශරීර කූඩුව විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. අහස උසට මාලිගා හැදුවට, අසීමිත ප්‍රාර්ථනා පොදි බැන්දට ඒවා ක්ෂණයකින් විනාශ වීම ධර්මතාව ය යි.

“අත්තාහි අත්තනෝ නාථො - කොහි නාථෙ පරොසියා”

තමාට ම ප්‍රදීපයක් කොට වසන්න. මේ ආදී බුදු වදන් සිහියට ගෙන ජීවිතයේ අනිත්‍ය සිද්ධාන්තය භාවනාවක් කොට විසීම තුළින් අත්හැරීම පහසු වන්නේ ය. එතුළින් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමටත්, ලෝකෝත්තර වශයෙන් “නිබ්බානං පරමං සුඛං” පරම සැපත වූ නිවන් මඟ ක්ෂාත් ක්ෂාත් කර ගැනීමටත් හැකි වනු ඇත.

ඇසළ අව අටවක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා
අ.භා. 07.32 ගෙවේ.
28 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]