[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අව අටවක පෝ දා 2024-07-28

සත සුවපත් කරන මෙත් සිත

ක්‍රෝධය මහත් අකුසලයකි. මෙලොව ජීවිතය ද වනසා පරලොව ද අගතියට ගෙනයන සිතිවිල්ලකි. එහෙත් පුංචි දේටත් තරහ ගැනීම, එය දිගින් දිගට ම වර්ධනය කරමින් ක්‍රෝධ සිතිවිලි ම පහළ කිරීම, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විනාශයන්ට මුල පිරීම අපමණ අසන්නට දකින්නට ලැබේ.

දිනෙන් දින තොරතුරු වාර්තා වන පරිදි රටින් රට සිදුවන මනුෂ්‍ය ඝාතන ම මොන තරම්ද? ලොව පුරා පැතිර යන යුද ගිනි දැල් ක්‍රෝධයෙහි ම විනාශකාරී පල නොවන්නේ ද?

හිරු දුටු පිනි බිඳුවක් සේ ගිලිහී යන මේ ජීවිතයේ, ඇහිපිල්ලමක් ගසන මොහොතේ මඟහැරී යන ජීවිතයේ මායාව යම් තරමකට හෝ තේරුම් ගන්නේ නම් කිසිවෙක් මෙවැනි අකුසල නොකරනු ඇත.

අපගේ අසමසම ශාස්තෘන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ,

අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ

ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං

ක්‍රෝධ කරන තැනැත්තා ක්‍රොධ නොකිරීමෙන් දිනන්නේ ය. අයහපත කරන පුද්ගලයා යහපත්කමින් දිනන්නේ ය. මසුරු ගති ඇත්තා දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නා සත්‍ය වචනයෙන් දිනන්නේ ය යනුවෙනි. ධම්ම පදයේ කෝධ වග්ගයේ එන මෙම ගාථා ධර්මයට පසුබිම් වූයේ උත්තරා නම් කුමරියක මුහුණ දුන් සිදුවීමකි.

රජගහනුවර පුණ්ණ නම් දුගියාගේ දියණිය උත්තරා ය. මිල මුදලින් දුගී වුව සැදැහැ ධනයෙන් නම් ඔවුහු පොහොසත් ය. දිනක් සැරියුත් මහ රහතන් වහන්සේට දන් පිළිගැන්වීමේ පුණ්‍ය සම්පතින් ඔවුන් ලද සම්පත් මහත් විය. දුගී පුණ්ණ බහුධන සිටු නම් විය. සිටු සේසත් මංගල්‍ය දා බුදු පාමොක් මහ සඟනට දන් පිදූ වෙලේ බුදුරජාණන් වහන්සේ දෙසූ දම් අසා බහුධන සිටු සේ ම බිරිඳ ද, උත්තරා ද සෝවාන් වූහ. බරණැස් නුවර සුමන සිටුවරයා සිය පුතු උත්තරාවට සරණ පාවා දීමට කැමැති වුව ද උත්තරා නොකැමැති ය. ඒ, ඒ පවුලේ අය සැදැහැවත් නොවන බැවිනි. ඒත් දුගී කල සුමන සිටු කළ උපකාර නිසා ම නොකැමැත්තෙන් වුව මංගල්‍ය සිදු කෙරිණි.

විවාහ වූ උත්තරාට දන් පින් කුසල් කර ගන්නට මඟක් නොවුණි. උපායක් සිතූ ඇය සිරිමා සිය මාලිගයෙහි නවත්වා ගත්තා ය. සිරිමා රූපත් අභිසාරිකාවකි. උත්තරාවගේ සම්පත් දැක ඊර්ෂ්‍යා කළ සිරිමා ඇයට බොහෝ දරුණු පීඩා කළා ය. එහෙත් උත්තරා ඇයට මෙත් වැඩුවා ය. කුළුණු සිතින් ම යෙහෙළියකට සේ සැලකුම් කළා ය. මේ ගුණ දම් හමුවේ සිරිමාගේ සිත මෙළෙක් විය. තමන් කළ කම් ගැන පසුතැවිලි වූවා ය. උත්තරාගෙන් සමාව ඉල්ලීය. උත්තරාවගේ සහයෙන් සිරිමා බුදු පාමොක් මහ සඟනට දන් පූජා කොට මහ පින් රැස් කළා ය.

තමන් කළ දරුණු පීඩා හමුවෙත් ඉවසීමෙන්, කෝප නොවී තමාට සැලසූ යහපත ගැන ඇය උත්තරාවට ප්‍රශංසා කළා ය. ඉහත ගාථා ධර්මයට පසුබිම මේ සිදුවීමයි.

මේ උත්තරාවගේ චරිතය කවර වයස් මට්ටමක, කුමන තරාතිරමක කෙනකුට වුව මහත් ආදර්ශයකි. ජීවිතයේ බොහෝ දේ අහිමි කර ගන්නේ, ව්‍යසන ළඟා කර ගන්නේ දුරදිග නොබලා. අපේ සිතැඟි ක්‍රියාවට නැඟීමෙන් ය. එහිලා ක්‍රෝධය ප්‍රබල ය.

නොහොඳ කරන්නෙකුට නොහොඳින් ම පිළිතුරු දීම අඥානයාගේ ස්වභාවයයි. සිත උපදින පාපී සිතිවිලිවල ගිලී අනුවණයෙක් ලෙස ක්‍රියාත්මක වනවාට වඩා ඒ සිතිවිලි මැඩ පවත්වමින් යහපත් සිතිවිලි වර්ධනය කර ගැනීම නුවණැත්තාගේ ස්වභාවය යි. නුනුවණ දනන්හට ඒ නුවණ පහළ කර ගන්නට ශ්‍රී සද්ධර්මය මඟ පෙන්වයි. මඟ හොඳට තිබේ නම් බැදිවල ගොස් මුං මුළා ව කරදරේ වැටිය යුතු නැත. සත්‍ය දකින්නට දෙනෙත් පාදා ගනිමු.

ඇසළ අව අටවක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා
අ.භා. 07.32 ගෙවේ.
28 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]