සහයෝගයෙන් කරන පින්කම් - සිත සුව සදන යුරු මනරම්

සහයෝගයෙන් කරන පින්කම් - සිත සුව සදන යුරු මනරම්

මනුෂ්‍ය ආත්මයක් ලබා ඇත්තේ අප විසින් කරන ලද කුසලයන් හේතුවෙනි. ඇතැම් අවස්ථාවල දිව්‍යලෝකවල සැප විඳින දෙවි දේවතාවුන් වහන්සේ පවා නැවතත් මනුලෝකයේ ඉපදීමට නොහැකි වීම ගැන පසුතැවිලි වන අවස්ථා ද ඇතැම් බෞද්ධ කථා මගින් දක්නට ලැබේ.

මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩි අවස්ථාවක එහි වැඩ වාසය කළ දේවතාවියක් ප්‍රකාශ කර ඇත්තේ තමන් නැවතත් මනු ලොව නොඉපදීම ගැන කනගාටු වන බව ය. එයට හේතුව ලෙස එම දේවතාවිය ප්‍රකාශ කර ඇත්තේ පෙර ආත්මයන්හි දී මිනිස් ලොව කරන ලද පින්කම් හේතු කොට ගෙන දිව්‍ය සැප ලබා ඇති බවත්, තවත් පින්කම් සිදු කිරීමට මනු ලොව ම ඉපදුණා නම් යහපත් බවත් ය.

ඒ අනුව අපට පෙනි යන්නේ පින් සහ කුසල් කිරීමට සුදුසු ම ස්ථානය මනු ලොව බවයි. එමෙන් ම සතර අපායේ ඉපදීමට අවශ්‍ය මුලික අඩිතාලම ලබා ගන්නේ ද මනුලොව දී සිදුකරනු ලබන අකුසල කර්මයන් මඟින් ය. එහෙයින් අප විසින් මේ ලද අතිදුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට උත්සාහ කළ යුතු ය. මන්ද මිනිසත් බව ලබා ඉපදීම අතිශය දුර්ලභ වීම හේතු කොටගෙන ය.

මිනිසත් බව ලැබු මිනිසා විසින් විවිධ පින්කම් සිදු කරනු ලැබේ. ඔවුන් විසින් සිදු කරනු ලබන පින්කම් අනුව ඔවුන්ට ලැබෙන ආනිසංස ද වෙනස් වෙයි. යම් පින්කමක් සිදු කිරීමේ දී එම පින්කම පිළිබද කායික ව සහ මානසික ව ද යහපත් අරමුණු පෙරදැරි කර ගෙන සිදු කළ යුතු ය.

මෙම ලිපියෙන් අප විසින් සාකච්ඡා කරනු ලබනුයේ දානයේ ආනිසංස පිළිබඳ ව ය. ලොකු, කුඩා, බාල, මහලු මේ සියලු දෙනා විවිධ අවස්ථාවල දානයන් දෙනු ලබයි. එම දානයන් විවිධ වු අරමුණු පෙරදැරි කර ගෙන දෙනු ලබයි. ඇතැමුන් එය යුතුකමක් ලෙස ද, ඇතැමුන් එය චාරිත්‍රයක් ලෙස සිදු කරයි. ඒ කුමන ආකාරයකින් වුව ද අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දෙනු ලබන දානය ගෞරව පෙර දැරි කර ගෙන සකස් කර ඇත.

ඔවුන් විසින් ගොවිතැනින් ලද භෝගයන්හි අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පුජා කරනු ලබයි. වර්තමානය වන විටත් ලාංකීය ගොවියා තම කුඹුරු ඇස්වැන්නේ මුල් කොටස කිරි ආහාරයක් ලෙස සකස් කොට බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පුජා කරන අයුරු අපට දක්නට ලැබේ. පැරැණි රජ දරුවන් පවා මෙම කිරි ආහාර පුජාව රාජ්‍ය ගෞරව සහිත ව සිදු කර ඇත. එමෙන් ම අප ඉතිහාසය තුළ මෙතෙක් පහළ වු ශ්‍රේෂඨ රජෙක් වන දුටුගැමුණු මහ රජතුමා කිසිදු ආහාරයක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පුජා නොකර අනුභව නො කළ බව සඳහන් වේ. මෙලෙස පුජා නොකර අත්වැරදීමකින් අනුභව කළ මිරිස් හොද්දක් හේතු කොට ගෙන හටගත් සිත්තැවුල නිසා මිරිසවැටිය චෛත්‍යය ඉදිකර ඇත. ඒ අනුව බලන කල්හි බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙනු ලබන දානය පිළිබඳ සහ එහි ආනිසංස පිළිබඳ යම් දැනුමක් ලබා ගැනීම ඉතා වැදගත් ය.

ඔබ නිවසේ හෝ යම් ස්ථානයක දානමය පින්කමක් සිදුකරන විට සකස් කර දන් දීමෙන්, සුදුසු අවස්ථාවන්හි දන්දීමෙන්, ශ්‍රද්ධාවෙන් දන්දීමෙන් , කිසිවකු වෙහෙසට පත් නොකර දන් දීමෙන් ලැබෙන ආනිසංස තවතවත් වර්ධනය වනු ඇත. එම නිසා දානය දෙන විට ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. හැකි සෑම විට ම පිරිස වැඩි කර දානය දීමට උත්සාහ කිරීම තුළින් දානය සාර්ථක කර ගැනීමට හැකි වනවා මෙන්ම ඔවුන්ට පිනක් කර ගැනීමට අවස්ථාව ලබා දීම තුළින් තමන්ට තව තවත් පින් සිදුවෙයි. දන් දීමේ දී තමන් දන් දෙන දෙයහි වටිනාකම

නොසිතන්න. එනමුදු යහපත් චේතනාවෙන් දන් දෙන්න. පහත අවස්ථාවන් දෙස අවදානය යොමු කරන්න.

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ ලාභීන් අතර අග්‍රස්ථානය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශි බුදුරජුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ය.

විදර්ශි බුදුරජාණන් වහන්සේ දවස දඹදිව බන්දුමතී නුවර වැසියෝ රජු හා තරගයට නොයෙක් ආහාරාපාන රැස් කර බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් දෙන්නට විය. දිනක් ඔවුන්ට දානය සඳහා අවශ්‍ය දීකිරි හා මී පැණි සොයා ගැනීමට නොහැකි විය. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් මී පැණි සහ දී කිරි සොයා අසල ගම් නියම් ගම්හි සැරි සැරූහ. එදින එක් ගම් වැසියෙක් ගෙදර මුදවන ලද දී කිරි පැසක් ගෙන නගරයට විකුණන්නට යන කල අතරමඟ දඩුවැල්බෑ මීයක් දැක එය ද කඩා පැණි ද ගෙන යන අතරතුර කලින් සඳහන් කළ මී පැණි සහ දී කිරි සොයා ගිය දන් දෙන්නන්ට මුණු ගැසුණි. ඔවුන් ඉතාමත් සතටු වී කහවනුවක් දී මී පැණි සහ දී කිරි ඉල්ලා සිටියහ. තමා සතු ව ඇති මී පැණි සහ දී කිරි එතරම් නොවටිනා බව දැනගත් ගම් වැසියා මෙතරම් මිලක් දී මී පැණි සහ දී කිරි ඉල්ලන්නේ ඉතාමත් වැදගත් අවශ්‍යතාවකට යැයි සිතා ක්‍රමයෙන් මිල වැඩිකොට අවසන කහවනු දහසකට ඉල්ලු පසු මෙ පමණ වැඩිමිලකට මී පැණි සහ දී කිරි ඉල්ලන්නේ කුමකට දැයි දන් දෙන්නන්ගෙන් විමසුහ. එවිට ඔවුන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දානය පිණිස යැයි ඔවුන් පැවසු අතර, එය අසා සතටු ව ඔහු විසින් ම දන් පිළිගන්වා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මී පැණි සහ දීකිරි වළඳනු දැක මේ කළ කුසලයෙන් යසසින් අගතැන්පත් වේවායි ප්‍රාර්ථනා කළහ. එම පිනෙන් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ ලාභීන් අතර අග්‍රස්ථානය සීවලී මහ රහතන් වහන්සේට හිමි විය. එම පින් බලෙන් උන් වහන්සේ වැඩ වසන සෑම ස්ථානයකට ම සිව්පසයෙන් කිසිම අඩුවක් නොවීය.

චන්ද්‍රයා මෙන් බබළන, ඉතා රූපශ්‍රීයෙන් පිරි , ඉතා වටිනා දේව විමානයක,වටිනා ආභරණයෙන් සැරීසී සිටින දිව්‍ය පුත්‍රයෙකි. එම දිව්‍ය විමානේ නාට්‍යාංගනාවන් සුසැටකි. ඔවුහු ප්‍රීතියෙන් කල් ගෙවති. එම දිව්‍ය පුත්‍රයා එලෙස සැප සම්පත් ලබන්නට කල කුසලය මෙසේ ය. මිනිස් ආත්මයක් ලබා සිටියදී රැකියාව ලෙස ඔහු කර ඇත්තේ අනුන්ගේ ගවයන් රැක බලා ගැනීමයි. දිනක් පැවිදි උතුමෙක් දැක ධර්මය අසා තම රෙදිකඩෙහි දැවටු කැවුම් පුජා කළා. ඉන් පසු නැවතත් ඔහු ගවයන් රැක බලා ගැනීමට එන විට ඔහුට සර්පයෙක් දෂ්ඨකොට මිය ගිය අතර, පැවිදි උතුමන් වහන්සේ කැවුම් වළඳා පින් අනුමෝදන් කළ පිනෙන් ඒ මොහොතේ ම දිව්‍ය ලෝකයෙහි උපත ලැබුවා. මේ තරම් දිව්‍ය සම්පත් ලැබීමට හේතු වූ පින වුයේ පැවිදි උතුමන් වහන්සේගේ ධර්මය අසා තම රෙදිකඩෙහි දැවටු කැවුම් පුජා කිරීමයි.

මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වැඩි අවස්ථාවක රූපශ්‍රීයෙන් අග තාරකාවක් මෙන් බබළන දෙව් දුවක් දැක එසේ සම්පත් ලැබීමට කළ පින්කම විමසා සිටියා. එවිට එම දේවතාවිය ඇය කළ පින්කම ප්‍රකාශ කළා එනම්. මිනිස් ආත්ම භාවයක් ලබා සිටි අවධියේ තමන්ගේ මාමාට ලේලිය වී ජීවත් වී ඇති අතර, දිනක් පිඬු සිඟා වැඩි භික්ෂුන් වහන්සේ නමක් දැක සිත පහදවා ධාන්‍යයෙන් පිසින ලද කැවුමක් පුජා කිරීමයි.

ඉහත දැක්වෙන උදාහරණයන්ට අනුව ඔබට වැටහෙනවා ඇති තමන් දන් දෙන දෙය ඉතා කුඩා දෙයක් වුව ද යහපත් චේතනාවෙන් කළ කල්හි එහි කුසලය ඉමහත් බව. බොහෝ බෞද්ධ නිවෙස්වල දානය පිරිනමයි. අවම වශයෙන් වසරකට වතාවක් හෝ තමන්ගේ ගමේ පන්සල වෙත මෙම දානය සකස් කිරීම බොහෝවිට ගෙදර මව මුලික කර ගෙන සිදුවෙයි. මවක්, ගෘහණියක් ලෙස දානය සකස් කිරීමේ දී තම දරුවන්, ස්වාමියා සහ නිවසේ සිටින අනිත් අය ද මෙම කටයුත්තට එකතු කර ගැනීම තුළින් ඔවුන්ට පින් සිදුවන අතර එයින් ලැබෙන මානසික සතුට ද අප්‍රමාණ ය.

ඇසළ අව අටවක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා
අ.භා. 07.32 ගෙවේ.
28 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]