කුසගිනි නොතැකූ සිතක උදානය මහ පින් පල දුන් ඇල්වී දානය
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
පින්වතුනි, අපේ රටේ ශ්‍රද්ධාවන්ත ම රජතුමා තමයි සද්ධාතිස්ස රජතුමා. මෙතුමා පාලනය
ගෙන ගියේ රුහුණු රට වාසභුමිය කර ගෙන. තම ජීවිතයෙන් වැඩි කාලයක් ම ජීවත් වුණේ
දිගාමඩුල්ල දනව්වේ දීඝවාපිය ගමේ. මේ ගමට සමීපයේ තිබුණා සෝකධූමික කියලා ගමක්. මෙහි
ජීවත් වුණා දුප්පත් අඹු-සැමි දෙදෙනෙක්. තරුණයා ප්‍රසිද්ධ වුණේ කම්බුද්ධ කියලා. මේ
කතාවට අනුව නම් බිරිඳගේ නමක් සඳහන් වෙන්නේ නෑ.
මේ දෙන්නාගේ දුප්පත්කම දැක්ක පින්වන්ත මනුෂ්‍යයෙක් ඇල්හාල් නැළි භාගයක් දීලා කියනවා
‘කම්බුද්ධ, ඔබ මේ ඇල්හාල්වලින් ජීවිතය ජය ගන්න’ කියලා. කම්බුද්ධ තරුණයත් කැලෑවක්
කපලා කුඹුරක් සකස් කර ගත්තා. ඇල්හාල් නැළි භාගය ම වැපුරුවා. කුරුල්ලන්ගෙන්,
අලින්ගෙන්, ඌරන්ගෙන් ආදි වන සතුන්ගෙන් දුක්විඳ බෝගය ආරක්ෂා කර ගත්තා.
කොහොම හරි ගෙට ගේන්න පුළුවන් වුණේ ඇල්හාල් නැළියක් පමණයි. ඒවා බිත්තර වී විදිහට
තියා ගත්තා, අනෙක් කන්නට වපුරන්න. දෙවැනි අවුරුද්දේ ඇල්හාල් නැළියම වපුරලා ඇල්හාල්
නැලි දෙකක් ගත්තා. තුන්වැනි අවුරුද්දේ ඇල්හාල් නැළි දෙක ම වපුරලා නැළි හතරක් ගත්තා.
දැන් මේ දෙදෙනාට හරිම සතුටුයි. හතරවැනි කන්නෙන් විශාල වී ප්‍රමාණයක් ගෙට ගන්න
පුළුවන් කියලා දැන ගත්තා.
කම්බුද්ධ දවසක් උදෙන් ම අවධිවෙලා බිරිඳට කිව්වා ‘මා බිරිද, මම කුඹුරට යනවා, මේ කන්න
හොඳට කර ගන්න ඕන. මේ පාර ගොඩ ගියොත් ජීවිත කාලය ම ගොඩ යන්න පුළුවන්. ඊළග කන්නට
ඇල්හාල් බත් කන්න පුළුවන්. අපි දෙන්නා කන්න තුනක් ම ඇල්හාල් දිහා බල බලා වන
පලතුරුත්, අලවර්ගත් කෑවා. අපේ වී වලින් ම බතක් හදාගෙන කනකම් මට නම් ඉවසුමක් නෑ.
ඇල්හාල් නැළි හතර ම මම දොර මුල්ලේ කළුවරේ තිබ්බා. ඔයා දහවල් වෙලා වී ටිකත් අරගෙන
කැඳ ටිකකුත් හදාගෙන අරගෙන එන්න‘යි කියලා සැමියා කුඹුරට ගියා. බිරිඳත් දහවල් වෙලා
බිත්තර වීත්, කැඳත් අරගෙන කුඹුරට යන්න පිටත් වුණා. ගමේ කිසිම තැනකින් පිණ්ඩපාතය නො
ලැබුණු ශාන්ත ගමනින් වැඩම කරන තෙරුන් වහන්සේ හතර නමක් දැක්කා. වහාම උන්වහන්සේ වෙතට
දුවගෙන ගිහින් ස්වාමිනි, පිණ්ඩපාතය ගෙනෙන තෙක් මදක් මෙහි නවතින්න‘යි කියලා නිවසට
ගිහින් ඇල් වී වංගෙඩියේ දා කොටා බතක් උයා තෙරුන් වහන්සේ වෙත පැමිණ ඒවා
පිළිගන්වමින් මෙහෙම හිතුවා ‘කුඹුරේ වපුරන ඇල්වීවලට වනසතුන්ගෙන් හැමදාම අනතුරු එනවා.
ඒත් සිල්වත් තෙරුන් වහන්සේට දන් දුන්නා කියලා අනතුරක් එන්නේ නෑ. පෙර දන් දුන්න නිසා
අපට මේ ඇල්හාල් ටික ලැබුණා. ඒත් සුදුසු පුද්ගලයන්ට දන් දෙන්න බැරිවුණ නිසා අද
දිළිඳුවෙලා. පෙර පින් අඩු නිසයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මගේ සැමියා අවුරුදු තුනක්
ම දුක සේ ආරක්ෂා කර ගත්ත ඇල්හාල් තමයි මේ විදිහට පිණ්ඩපාත වශයෙන් පිළිගන්වන්නේ.
ආයෙත් අපි දෙන්නා කලින් හිටියා වගේම දුප්පත් බවට පත් වෙනවා. මගේ මේ කටයුත්තෙන්
පස්සේ සැමියා මාව අත්හැර දමනවා. මගේ ජීවිතයටත්, සැමියාගේ ජීවිතයටත් දුකක් ම යි
මෙලොවින් පැමිණෙන්නේ. එහෙම වුණත් සැමියාටත්, මටත් පරලොව වශයෙන් සාපිපාසාවලින්
කවදාවත් දුකක් එන්නේ නෑ. මම මේ දානය දෙන්නේ ආර්ය මහා සංඝයාටයි.
උන්වහන්සේගේ ගුණය අනන්තයි. මෙහි විපාකයත් අනන්තයි. මේ දානය ආර්ය මහා සංඝයාට පූජා
වේවා‘යි කියා ප්‍රාර්ථනා කරමින් දානය පිළිගන්වා නැවතත් නිවසට ම ගියා.
සැමියා ඉර මුදුන් වෙනකම් බැලුවා බිරිඳ කුඹුරට ආවේ නෑ. නැවතත් ගෙදර ගිහින් එන්න වෙලා
යන නිසා හවස් වෙනකම්ම වැඩ කළා. අධික මහන්සියත්, පිපාසයත් බඩගින්නත් විඳ දරාගෙන ම
ගෙදර ගියා. බිරිඳ තමන් කළ කටයුත්ත, සැමියාට කියන්නට ඇති බියෙන් සැඟවුණා. ඒත් ඔහුගේ
ආමන්ත්‍රණයෙන් ඉදිරියට ආවා. තමන්ගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තබා නොගෙන තමන් කළ
කටයුත්ත කියා සිටියා. කම්බුද්ධ බිරිඳගේ ක්‍රියාවට බොහොම සතුටට පත් වුණා.
‘බියවෙන්න එපා. ඔයා කරල තියෙන්නේ හරිම යහපත් කටයුත්තක්, අපි දෙන්නා කොහොම හරි
ජීවිතය ආයෙත් ගෙනියමු. දැන් ඉතින් මට බොහොම බඩගිනියි. නැද්ද ඔය උයපු වළංවල දන්කුඩ
හෝ ටිකක්‘යි කියලා ඇහුවා. බිරිඳත් වළංවල ඉතිරි වුණු දන්කුඩ පිහලා අරගෙන පිඟානට දාලා
පිළිගැන්නුවා. සැමියාගෙ ඇඟට දැන් ටිකක් හොඳයි.
විවේකයෙන් සැනහිල්ලේ මදක් ඉදලා මෙහෙම කිව්වා.
‘මා බිරිඳ, දැන් කුඹුරේ වපුරන්න වී ටිකක් ඉල්ලගන්නවත් කෙනෙක් නෑ. නැද්ද ගේ කොහෙවත්
ඇට වර්ගයක්වත් වපුරල දාන්න‘ ඇහුවා. බිරිද පරිස්සමට අරං තිබ්බ ලබු ඇට වගයක් තිබිලා
කියනවා ‘ස්වාමිනි, ලබුඇට ටිකක් නම් තියනවා‘ කියලා. ඒවා අරගෙන මට දෙන්න කියා
ඉල්ලාගෙන හවස ම කුඹුරට ගිහින්, ගල්, මුල්, දර, ලී, කටු ඉපල් ආදිය ඉවත් කරලා ලස්සනට
ම සකස් කරලා තිබුණ කුඹුරේ වී වපුරන්නා වගේ ලබු ඇට ටික වපුරලා ගෙදර ඇවිත් නිදා
ගත්තා. පසුදා උදේ යනවිට ලබු වැල් කුඹුර පුරාම විහිදිලා ගිහින් හැම වැලක ම ලබුගෙඩි
විශාල ප්‍රමාණයක් හැදිලා. වෙනදා දකින ලබු ගෙඩිවලට වඩා ඉතා විශාලයි. අදහා ගන්න බැරි
වුණා. පුදුමයෙන් පුදුමයට පත් වුණා. බිරිඳට කියා පිහියක් අරගෙන එක් ලබු ගෙඩියක්
වැලෙන් කඩාගෙන ඇවිත් දෙකට මැදින් කපලා බැලුවා. තවත් පුදුමයටත් විස්මයටත්, සතුටටත්
පත් වුණා. ඒ ලබු ගෙඩියේ ඇතුළේ බිත්තර වී පිරිලා. බොල් වී එකක්වත් ඇත්තේ නෑ. තවත්
ගෙඩියක් අරගෙන කපලා බැලුවා. ඒකත් ඒ විදිහමයි.
මේ ආරංචිය වෙන අයගෙන් රජතුමාට ආරංචි වුණොත් අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතලා
දෙන්නා ම වහාම ලබු ගෙඩි දෙකක් කඩාගෙන රජමාලිගයට ගිහින් සද්ධාතිස්ස රජතුමා ඉදිරියේ
තබලා තමන්ගේ කුඹුරේ ලබු ඇට වැපිරූ බවත්, දැන් ඒවායේ ඇල්හාල් පිරී ඇති බවත් කියා
සිටියා.
රජතුමා ඒ පුවත අහනකොට ම ඔවුන්ගෙන් විමසා සිටියේ ඔබ දෙදෙනා ළඟක දී ආර්ය මහා සංඝයා
වෙනුවෙන් ශ්‍රද්ධාවෙන් කිසියම් හෝ දානයක් පිරිනැමුවා ද කියා විතරයි. ‘ඔව්
ස්වාමිනි’යි පිළිතුරු දුන්නා. එතකොට ම රජතුමා කියනවා ‘කම්බුද්ධ, ආර්ය සංඝයාට දන්
දීමෙන් ඔබ මෙලොව දී ම ලබන විපාකයයි මේ. පරලොව දී ලබන විපාක මට හෝ වෙනත් අයෙකුට හෝ
කියා නිම කරන්න බෑ. ඒ නිසා තව තවත් පින්කම් කර ගන්න‘යි කියා සෝකධූමික ගමත් තවත් ගම්
ගණනාවකුත් ගම්වරකොට ලබා දුන්නා.
ඒ විතරක් නොවෙයි රජතුමාගේ ඔටුන්නක් කම්බුද්ධටත්, අගමෙහෙසියගේ රන්පළඳනාවක් බිරිඳටත්
ලබා දුන්නා. මේ දෙන්නා ඉතා ධාර්මික ව ජීවිතය ගත කළා ආයු කෙළවර ධම්මික උපාසකතුමාගේ
කතාවේ මෙන් ආයු වළඳා සදිව්‍ය ලෝකවලින් රථ හයක් පැමිණි අවස්ථාවේ ‘මම තව්තිසා භවනෙහි
උපදින්නෙමි‘යි කියා තව්තිසා දෙව්ලොව උපත ලැබුවා’යි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන්
වෙනවා.
බලන්න පින්වතුනි, දුක සේ උපයා ගත් ඇල්හාල් ටික ජීවිතය ගැන ආශාවක් නො තබා, දිව
පිනවීම ගැන ආශාවක් නො තබා, ධනවතෙක් පොහොසතෙක් වීමේ අදහස අත්හැර දමා, දිය යුතු
සුදුසු ම පිරිස හඳුනාගෙන, දෙන ලද දානයේ ආනිශංසයෙන් මෙලොව මහත් සැප සම්පතුත්,
දෙව්ලොව ඉහළම දිව්‍ය සම්පතුත් ලබා ගන්නට එකම දාන පින්කම හේතු වුණා. පිරිසුදු සිතින්
තමන් කය වෙහෙසා උපයාගත් වස්තුවෙන් සුළු දෙයක් හෝ දන් දීමෙන් මහත් වූ සැපසම්පත් ලබා
ගැනීමට හැකි වෙන බවත්, රජවරුන්ගෙන් මෙන් ම රටවැසියන්ගෙන් පවා කීර්ති ප්‍රශංසා ලබා
ගැනීමට හැකි වෙන බවත් මේ කථා පුවත අපට ආදර්ශ සපයනවා. කිසිම විටක ධනය විශාල
ප්‍රමාණයක් වියදම් කර දන් දෙන්න ඕන කියන හිතිවිල්ල ඇති කර ගන්න එපා. සුදුසු
පුද්ගලයින්ට තමන් උපයා ගත් සුළු දෙයක් හෝ සතුටු සිතින් දන් දෙන්න. එය සමාජයේ යහපතට
මෙන් ම තමන්ගේ යහපතට හේතු වෙනවා යි මේ කතා පුවත තවදුරටත් අපට උපදෙස් සපයනවා. |