[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මම මගේ සිරුර දෙස සිතින් බලා සිටියෙමි

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 04

මම මගේ සිරුර දෙස සිතින් බලා සිටියෙමි

ප්‍රධාන භාවනාවට පෙර සිදු කැරෙන චතුරාරක්ඛ භාවනාවේ පළමුවැන්න වූ බුදුගුණ භාවනාවේත් , දෙවැන්න වූ මෛත්‍රී භාවනාවේත් යෙදුණු මට මගේ සිතේ තැන්පත් බව, ශාන්ත බව ක්‍රමයෙන් වැඩි වන අයුරු හැඟිණ. ඊළඟට මා එළඹෙන්නේ තුන්වැන්න වූ පිළිකුල් භාවනාවට යි.

මගේ පැතුම නිවනයි. නිවන් ලැබීමට සියල්ල සිතින් අත්හළ යුතු යි. රූපස්කන්ධ ධර්මයන් පිළිබඳ සියලු ඇලීම් බැඳීම්වලින් වෙන් විය යුතුයි. මුලින් ම රූපස්කන්ධය හෙවත් ශරීරය පිළිබඳ ව ඇලීම් බැඳීම් අත්හළ යුතු යි. ඒ අත්හැරීමට ඒ පිළිබඳ කලකිරීමක් අවශ්‍යයි.

කලකිරීමට පිළිකුලක් අවශ්‍යයි. පිළිකුල නිසා, කලකිරීම නිසා, ඒ පිළිකුල, කලකිරීම ගැඹුරෙන් ම ඇතුළු වූ නිසා මගේ ශරීරය පිළිබඳ ඇති මානය, ආශාව, කැමැත්ත, අනුන්ගේ ශරීර පිළිබඳ ඇති ආශාව තණ්හාව අඩු වේ. එවිට ඇලීම බැඳීම නැති වේ.

මගේ ම ශරීරය මගේ ඉදිරිපිට තිබෙනු මම සිතින් දකිමි. එහි ඇති දෑස දෙස බලමි. එයින් කඳුළු ගලයි. කබ පිරෙයි. කඳුළු, කබ, නිසා ඇස් පිහාටු ඇලී ඇත.

මම නාසය දෙස බලමි. සොටු ගලයි. කහ සුදු සොටු, සොටු දියර, සොටු කුට්ටි, උඩ තොලට සොටු වැටෙයි. දුගඳක් ද එයි.

මම කට දෙස බලමි. කෙළ, සෙම, කැහි ගලයි. කට අරින විට මහ දුගඳක් එයි.

කන් දෙස බලමි. කන් සිදුරුවල කලාඳුරු පිරිලා. එයින් දියරයක් ගලා එයි. ඉවසුම් නොදෙන දුගඳක් ගලා එයි.

මුත්‍ර මාර්ගයෙන් ගලා එන මුත්‍ර දුගඳ හමයි. මුත්‍ර වැටුණු තැන සෝදා නොදැමුවහොත් පැයෙන් දෙකෙන් මහ දුගඳක්. මළ මාර්ගයෙන් වැහිරෙන අශූචි. විටෙක ඝන මඩ මෙන්, දියරයක් මෙන් ගලා එන අශූචි මහා දුගඳක් සමඟ ශරීරයෙන් පිට වෙයි.

මේ සියල්ල පැමිණියේ, මේ ශරීරය තුළින් පිට වුණේ සිදුරු නවයකින්. දොරටු නවයකින්. අශූචි පිටතට ගලා යන අශූචි ගබඩාවක් මේ ශරීරය.

මට බුදුරජාණන් වහන්සේ මාගන්දියට කී කතාව සිහි වෙයි. ඇය දඹදිව සිටි රූප සුන්දරියක්. ඇගේ පියාට ඇය බුදුරජාණන් වහන්සේට පාවා දීමට අවශ්‍ය වුණා. ඇය කැඳවා ගෙන ආ පියා ඇය බුදුහිමියන්ට ඉදිරිපත් කළා.

“මගේ පයේ ඇඟිල්ලකින්වත් මේ අශූචි ගබඩාව මා ස්පර්ශ කරන්නේ නැහැ.”

බුදු හිමියන් වදාළා.

රූමතියක සේ හැඳින්වුණු ඇය අශූචි ගබඩාවක්.

මගේ ශරීරයත් අනෙක් හැම දෙනාගේ ශරීරත් ඔහොමයි. පිළිකුල්, පිළිකුල්.

මේ අශූචි ගබඩාව නො වේ ද ආශාවෙන් සිපගත්තේ. වැළඳ ගත්තේ. මම මේ රූපස්කන්ධය පිළිකුල් කරමි. අත්හරිමි.

මම ඒ පිළී ගඳ හමන, හම නැති සිරුර දෙස, නව දොරටුවෙන් අශූචි ගලන අශූචි ගබඩාව දෙස සිතින් බලා සිටියෙමි.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]