ඇසළ පුර පසළොස්වක පෝ දා
2024-07-20
සැබෑ ගෞරවය
අන්‍යයන්ගේ ආදර සැලකිලි ලබන්නට හැකි නම්, නිති ගෞරවය, කීර්තිය ලබන්නට හැකි නම් එය
කෙනකුගේ ජීවිතයේ ලද හැකි මහත් භාග්‍යයකි. බොහෝ අයගේ අපේක්ෂාව ද එයම ය.
එහෙත් සැබෑ ගෞරවය, කීර්තිය ඉබේ ලැබෙන්නක් නොවේ. බලපුළුවන්කාරකමෙන් ලබාගත හැකි දෙයක්
ද නොවේ. එය චරිතවත්වීම තුළ, සෘජු ප්‍රතිපත්ති අනුගමනය තුළ හිමිවන්නකි. යම් කිසි
අවස්ථාවක කෙනකුගේ නිලය, ධනය, බලය, ශක්තිය හමුවේ යම් පිරිසකගේ ගෞරවය ලැබේ. එහෙත් එය
හදවතින් ම පැනනැඟෙන ගෞරවයක් හෝ සැලකිල්ලක් හෝ නොවේ.
බුදුරදුන් දවස දිනක් කොසොල් රජතුමා සිහිනයක් දුටුවේ ය. පසුදින සිහින පලාපල අසා යාග
බිලිපූජා පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණේ මහ ඉහළනි. මේ මිථ්‍යාවන්ගේ හා මහා
ව්‍යසනයේ අනර්ථය දුටු මල්ලිකා දේවිය රජුගෙන් විමසූයේ කෙනකු නසා තව කෙනකු සුවපත් වූ
බව ඔබතුමා අසා තිබේ ද යනුවෙනි. රජුට සත්‍ය වැටහෙන්නේ ඒ සමඟ ය. මල්ලිකා දේවියගේ
බුද්ධිමත් බව නිසා මහා රුධිර ගංගාවක් ගලා යාමට තිබූ ඛේදවාචකයක් වැළකුණි.
රජු යනු රට වැසියාගේ ගෞරවය ලබන්නෙකි. රජු අයහපත් වුව ද රජු ඉදිරියේ ඔහුට නිගරු වන
ලෙස රට වැසියා නොහැසිරෙති. ඒ දඬුවම් හිමි වේ ය යන බියෙනි. කවර හේතුවක් නිසා හෝ
සත්ත්ව ඝාතනය, හිංසාව, පර පීඩාව කරන පුද්ගලයා ගෞරවය ලබන්නට සුදුස්සෙක් නොවේ. ගිහි
ප්‍රතිපදාවේ පළමු සිල්පදය වන්නේ ද පර පණ නැසීමෙන් වැළකීමයි.
කෙනෙක් තවත් ප්‍රාණියකුගේ ජීවිතය සෘජුව විනාශ නොකරනවා විය හැකි ය. එහෙත් තමන්ගේ
වාසිය වෙනුවෙන් වක්‍රාකාර ව ජීවිත බිලිගන්නා ආකාරය අද බොහෝ පිරිස් අතර විද්‍යමාන
වේ.
අතීත හෙළයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය යි. ඔවුන් ගොවි කටයුතු ඇරඹුවේ
ත්‍රිවිධ රත්නය සිහිකරමින් දෙවි දේවතාවන්ගේ ද ආශිර්වාදය ලබමිනි. ඒ ගොවිතැනට ඔවුහු
වැඩි ලාබ පතා වසවිස එක් නොකළහ. ව්‍යාපාරයක් තුළ ද ව්‍යාජය, රැවටීම සිදු නොවුණි.
තමන්ගේ ජීවිතය සේ ම අනුන්ගේ ජීවිතයේ ද සුවය, රැකවරණය අපේක්ෂා වුණි. ඒ මුතුන්මිත්තෝ
සමාජයේ සැබෑ ගෞරවෝපහාරය ලද්දෝ ය.
අද අප ජීවත්වන සමාජයේ අන් කවරදාටත් වඩා බෝ නොවන රෝග ව්‍යාප්ත වන ආකාරය අපි දකිමු.
රෝගී ව අසරණ වන්නෝ සේ ම අකාලයේ ජීවිතයට සමු දෙන්නෝ ද බහුල ය. මේ ව්‍යසනයට ප්‍රධාන
සාධකයක් වන්නේ විස විස ආහාරයට ගැනීම බව වෛද්‍යවරුන්ගේ මතයයි. අද අප ආහාරයට ගන්නා
බොහෝ දේ රස ගන්වන්නේ වස විසෙනි. මේ පොළොවේ ම හැදෙන වැඩෙන අඹ ගෙඩියක්, පේර ගෙඩියක්,
දොඩම් ගෙඩියක් වුව විශ්වාසයෙන් ආහාරයට ගත නොහැකි ය. මෙවැනි ව්‍යාපාරවලින් පොහොසත්
වන්මෝ බොහෝ ය. ධනවතුන් ලෙස ඔවුහු අනුන්ගේ ගෞරවය ලබනවා ද විය හැක. එහෙත් ඔවුන්ට සැබෑ
සතුටක් හෝ අනුන්ගෙන් සැබෑ ආදරයක් ලද නොහැකි ය.
අතීතයේ මව්පිය ගුරුවරු නියත ලෙස ම දරුවන්ගේ ගෞරවය ලද්දෝ ය. වැඩිහිටියෝ බාලයන්ගේ
ගෞරවය ලද්දෝ ය. සැමියා බිරියගෙන් ද, බිරිය සැමියාගෙන් ද ගෞරවය ලැබීය. ඒ මව්පියන්ගේ
චරිතයට, ගුරුවරයාගේ චරිතයට ආදී ලෙස සෑම චරිතයකට ම අදාළ ගුණධර්මවලින් පොහොසත් වීම
තුළ ම ලැබූවකි.
මේ උදා වූ වස්සානයේ ගුණ දම් වඩා පිළිවෙතින් සරු වී ජීවිතයට පින් පුරවා ගනිමින්
ගෞරවනීය වන්නට අපි ද උත්සාහවත් වෙමු. |