[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හීන දීන ගති දුරැර ජීවිතයට අර්ථයක් දෙන්න

හීන දීන ගති දුරැර ජීවිතයට අර්ථයක් දෙන්න

දියුණුවට අපි කවුරුත් කැමැතියි. පිරිහීමට අකැමැතියි. කුඩා කල සිට ම අංග සම නිධානය සොයා පුහුණුවන්නේ දියුණුව සඳහා ය. විවිධ රැකියා කරමින් උපභෝග පරිභෝග සම්පත් එකතු කරනුයේ දියුණුව පිණිසයි.

දියුණුවට මෙන් ම පරිහානියට ද යම් වෙහෙසක් ඉබේම දරයි.

දියුණුව කුමක් ද? පරිහානිය කුමක් ද? මේ දෙ අංශයම දැනගත්විට දියුණුව කරා යා හැකිය. අධ්‍යාපනය, උත්සාහය, ධර්ම ශ්‍රවණය, වැඩිහිටි උපදෙස් ගැනීම, විවිධ සන්නිවේදන ක්‍රම ආදිය හරහා ජීවිතාවබෝධය ලබා ගත හැකි ය.

දියුණුවේ මං සොයා ගැනීම තම තමන් සතු ය. සමුද්‍රයේ යාත්‍රා කෙරෙන නැව නිසි මඟ ඔස්සේ ගමන් කරවීමට නැව් කප්පිත්තා දනී. එසේ නොමැතිව අයාලේ යාත්‍රා වුවහොත් ගමන අසාර්ථක වනු ඇත. දියුණුව හා පිරිහීම දැන ගැනීමට පරාභව සූත්‍රයෙන් ලැබෙන්නේ අනගි උපදේශයකි. පරාභව ශීර්ෂ යටතේ කරුණු පෙන්වා දෙන අතර පෞද්ගලික ව හා පොදු වශයෙන් දෙ අංශයකට ඒවා බොදා ගත හැකි ය. එයින් කාරණ 12ක් පුද්ගලිකව ද කරුණු 9 ක් සමාජ පරිහානියට ද වෙන්කළ හැකි වන්නේ ය.

ධර්මයට අපි‍්‍රය කිරීම, අසාධූන්ට පි‍්‍රය කිරීම, නිදිබර බව, දොඩමළු බව, වීර්යයෙන් තොරවීම, කම්මැලිකම, කිපෙන සුළු බව, සුරාවෙහි ඇලීම, සූදුවෙහි ලොල් බව, වයසට නො ගැළපෙන අය සමඟ ආවාහ, විවාහ වීම, අරපරිස්සම් නැති බව, නුසුදුස්සෝ වගකිව යුතු තනතුරුවලට පත්වීම, ඉහත කරුණු එකක් හෝ කීපයක් හෝ යම් ජීවිතයක පවතී ද, ඔහු පරාභවයට පත්වන්නේ පුද්ගලික ව ය.

උත්සාහය හා වීර්යය නිවන් මඟ දක්වා අවශ්‍ය ය. කාර්යය සඵල වන තෙක් අනලස් ව උත්සාහයේ යෙදිය යුතු වන්නේ ය. කාලය වටිනා සම්පතකි. කම්මැලිකම, හිස් වචන, දොඩමළුවීම, කාලය කා දැමීමකි. නිදිබර ගතිය ද එකතු වූ විට පරිහානිය වැළැක්වීය නො හැකි ය.

“මූලං ඛනති අත්තනෝ” ගසක මුල් හාරා දැමූ විට හුළඟට බිම පතිත වේ. මිනිසා විෂ මත් වර්ග ගන්නා විට විවිධ ලෙඩ රෝග මෙන් ම මානසික ප්‍රපාතය ද ඇති කරයි. එවිට දියුණුව වසා පරිහානිය ඇති වෙයි. සූදුව තම සේසතම ගිල ගනියි. ඉදිරියේ දිනුම ඇතැයි යන මුළාව සූදුවට ලොල් පුද්ගලයා තුළ දැකිය හැකි ය. තම ඇඳිවත පවා විකුණා සූදුවට යාමට ලොල් අය ද දැකගත හැකි ය. ඒවා ජීවිතයේ පරාධීනත්වය ඇති කරන්නකි.

සමාජ සම්මත පිළිගැනීම්වලට පිටුපා වයසට නො ගැළපෙන විවාහ තුළින් සතුට පලා යයි. අතෘප්තිකර ජීවිතයේ ප්‍රශ්නාවලියකට මුහුණදීමට සිදුවේ. ජාතක පාලියේ එන අන්ධ භූත ජාතකය තුළින් මේ කාරණයට උපදෙස් දෙයි.

දියුණුව වසා තබන කරුණු අතර අරපරිස්සමෙන් තොර බව විශේෂ වෙයි. ලැබෙන ප්‍රමාණය දැන වියදම් කිරීම දියුණුවට හේතුවෙයි. එසේ නො දැන කටයුතු කිරීම පිරිහෙන ලක්ෂණයකි.

පරාභව සූත්‍රයෙන් හෙළි කරන කරුණු අතර ඉදිරියට සාකච්ඡා කෙරෙන කරණු නවය සමාජයට බලපාන පරිහානිය ගෙන එන්නකි.

අසත්පුරුෂයන් පි‍්‍රය කිරීම, සත්පුරුෂයන් අපි‍්‍රය කිරීම, මවුපියන්ට නො සැලකීම, බොරුවෙන් මහණ බමුණන් රැවටීම, සැප සම්පත් තනි ව භුක්තිවිඳීම, උඩඟුකම, ස්ත්‍රීලෝලිත්වය, දූ කෙළියෙහි ලොල් බව, වෙසඟනක් පතා යාම, පරඹුවන් පතා යාම, යන කරුණු ද පිරිහීමේ කාරණ වන්නේ ය.

ජීවන ගමන අසාර්ථක කර ගත් අය කවදත් සමාජයේ දැක ගත හැකි ය. ඔවුහු පන්සිල් කඩකරමින් කටයුතු කරන්නෝ ය. ආධ්‍යාත්මය පිරිහුණු අය තුළින් මතුවන්නේ අසත්පුරුෂ ගති ලක්ෂණ ය. ඒ පරිසරයේ හැසිරෙන අය ද තම ජීවිතය අසාර්ථක කර ගනි යි. ආශ්‍රය කෙනකුගේ දියුණුවට හෝ පරිහානියට හෝ එක එල්ලේම බලපායි.

කුණු කරවල කෑල්ල ඔතා තිබෙන කඩදාසිය ද කුණු ගඳ වහනය වේ. සුවඳ හඳුන් කැටය ඔතා තිබෙන කඩදාසිය ද සුවඳ වහනය වේ. ආශ්‍රයේ තරමට ඒ ඒ අය චරිත ලක්ෂණ හැඩ ගස්වා ගනිති.

දියුණුවේ කරුණු පෙන්වන මහා මංගල සූත්‍රයේ පළමු කරුණ ද “අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා” යන්නෙන් සත්පුරුෂ, අසත්පුරුෂ ඇසුර ගෙන ඇත. එම කාරණාව අනෙක් සියලු කාරණාවන්ට හේතුවන බැවිනි.

ඉහත කරුණු පරාභව සූත්‍රයෙන් හෙළිකර දෙන්නේ දෙවියෙක් විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ය. ඒ කරුණු සියල්ල මිනිසුන්ට අදාළ වන ලෙස දේශිත ය. සූත්‍රය අවසානයේ මේ ලොව පිරිහීමේ කරුණු විමසා බලා, ආර්ය වූ දැකුම් නුවණින් යුතු වූ ඒ පඬිවරයා ක්ෂේම වූ ලෝකය හෙවත් සුගතිය ඇසුරු කරන බව පෙන්වා දුන්හ. පිරිහීමට හේතුවන කරුණු අවබෝධයෙන් දැන දැක දියුණුව ඇති කර ගැනීමට උත්සාහවන්න.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]