[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 16 කොටස: දියුණු කිරීමට උත්සාහ කළ යුතු සිහිය මිස වේදනාව නොවේ භාවනා කණ්ඩායම ආධාරකයක් මිස කිහිලිකරු දෙකක් කර ගන්න එපා

සුවපත් මනසක් සුවබර දිවියක් - 16 කොටස

දියුණු කිරීමට උත්සාහ කළ යුතු සිහිය මිස වේදනාව නොවේ භාවනා කණ්ඩායම ආධාරකයක් මිස කිහිලිකරු දෙකක් කර ගන්න එපා

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසා ම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ දහසය වැන්නයි.

වෙන්වුණු, නිශ්ශබ්ද හෝ හුදකලා වූ, ඔබට තනිවී සිටීමට හැකි ස්ථානයක් සොයා ගන්න. එය වනාන්තරයක් මැද ඇති අංගසම්පූර්ණ ස්ථානයක් විය යුතු නැත. එවන් ස්ථානයක් සොයා ගැනීම අප බොහෝ දෙනෙකුට නොහැකි ය. එය, ඔබට පහසුව සලසන මෙන් ම බාධකවලින් තොර ස්ථානක් විය යුතු ය. එය ඔබ ව ප්‍රදර්ශනය කරනසුළු තැනක් නොවිය යුතු ය. මුළු අවධානය ම යොමු කළ යුත්තේ ඔබගේ භාවනාවට මිස ඔබ ව අන් අයට පෙනෙන්නේ කෙසේ ද යන්න ගැන නොවේ. හැකිතාක් දුරට නිශ්ශබ්ද ස්ථානයක් තෝරා ගන්න. එය මුළුමනින් ම ශබ්දයෙන් තොර කාමරයක් වීම අවශ්‍ය නොවූව ද මහත් ලෙස බාධා පමුණුවන ශබ්දවලින් තොරවීම වැදගත් ය. සංගීතය හා කථාව විශාල බාධාවන් ය. පාලනය කළ නොහැකි ලෙස ඔබගේ මනස මේ ශබ්ද විසින් උදුරාගන්නා විට සිත එකඟ කිරීම අපහසු වනු ඇත.

සුදුසු පරිසරයක් සකස් කිරීම සඳහා පාවිච්චි කළ හැකි සම්ප්‍රදායානුකූල උපකාරක ඇත. පහන් එළියෙන් ආලෝකවත් වූ අඳුරු කළ කාමරයක් සුදුසු ය.

සුවඳ දුම් හෝ හඳුන්කූරු පත්තු කළ හැකි ය. ඔබගේ භාවනා කාලය පටන් ගැනීමේ දී හා අවසානයේ දී හඬනැංවීම සඳහා කුඩා සීනුවක් කදිම මෙවලමකි. නමුත් මේවා උපකරණ පමණක් ම ය. මෙවැනි දේ සමහර භාවනානුයෝගීන් ධෛර්යවත් කරනවා මිස අත්‍යවශ්‍ය දේ නොවේ.

සමහර විට, හැම භාවනා වාරයක දී ම එකම ස්ථානයක වාඩිවීම ඔබට උපකාරයක් විය හැකියි. භාවනාව සඳහා විශේෂයෙන් ම වෙන් කෙරුණු ස්ථානයක් හැර වෙන කිසිවක් සමහර භාවනා පුහුණුවන්නන්ට ආධාරක නොවේ. එම ස්ථානය සමඟ ගැඹුරු නිශ්චලතාව හා සිත එකග වීම සම්බන්ධ කරන ඔබට, ඉතා ඉක්මනින් එවන් ගැඹුරු මානසික ස්වභාවයක් ළඟා කර ගැනීමට හැකියාව සලසයි.

වැදගත් වන්නේ ඔබගේ පුහුණුව සඳහා රුකුල් දෙන ස්ථානයක වාඩිවීමයි. එයට තරමක් දුරට අත්හදා බැලීම අවශ්‍යය. ඔබට වඩාත් සැප පහසුව හෝ අස්වැසීමක් හෝ ලැබෙන ස්ථානයක් ලැබෙන තුරු විවිධ ස්ථාන අත්හදා බලන්න. තමා අන් අයගේ අවධානයට යොමුවේ යැයි කරදර වීමට අවශ්‍ය නොවන හා අන්‍යවශ්‍ය බාධාවලින් තොර ස්ථානයක් සොයා ගන්න.

කණ්ඩායමක් ලෙස භාවනා පුහුණුව වැඩදායී බව බොහෝ භාවනා පුහුණුවේ යෙදෙන්නන් දරන ආකල්පයකි. නිරන්තර පුහුණුව අත්‍යවශ්‍ය මෙන් ම නියමිත කාලයක් තුළ භාවනාවේ යෙදීමට බැඳී සිටීම, නිතිපතා භාවනාවට වාඩිවීම පහසු කරන බව බොහෝ දෙනාගේ මතයයි. පොරොන්දුව රැකීම තමන්ගේ වගකීම බව ඔව්හු දනිති. “මට වේලාවක් නැත” යන සමාවට කාරණය මේ මඟින් මඟ හැරී යයි.

ඔබ පදිංචි වී සිටින පළාතේ භාවනා පුහුණුවේ යෙදෙන කණ්ඩායමක් සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත. භාවනා ප්‍රවේශය වෙනස් වූව ද නිශ්ශබ්ද ව කරන කුමන හෝ භාවනාවක් මෙයින් අදහස් කරමු. අනික් අතට, ඔබ ද, ඔබගේ පුහුණුවේ දී ස්වාධීන වී අන් අය මත නො යැපීමට උගත යුතුයි.

කණ්ඩායමක් සිටීම, භාවනාවේ යෙදීම සඳහා එකම පෙළඹවීම කර නොගන්න. මනාව පුහුණු වන විට, භාවනාවේ යෙදීම ආශ්වාද ජනක වේ. භාවනා කණ්ඩායම ආධාරකයක් මිස කිහිලිකරු දෙකක් කර නොගන්න.

කුමන වේලාවක භාවනාවට වාඩිවෙමු ද?

මෙහිදී වැදගත් ම නීතිය වන්නේ බුදුදහමේ එන මධ්‍යම ප්‍රතිපදාවයි. භාවනාවේ වුව ද ප්‍රමාණය ඉක්මවා නොයෙදෙන්න. ඔබට සිතුන වේලාවක් පමණක් භාවනා කිරීම මම මෙයින් අදහස් නොකරමි. භාවනාවට නියමිත කාලයක් වෙන් කර ගෙන කාරුණික වූ, ඉවසන සුළු ස්ථිර බවක් පවත්වා ගන්න. මෙහිදී නියමිත කාල සීමාවක් වෙන් කර ගැනීම විශාල අනුබලයක් වීමට පිළිවන. කුමන අවස්ථාවක දී හෝ භාවනා කාල සටහන අනුබලයක් නොවී බරක් ලෙස ඔබට දැනේ නම් එහි කිසියම් වරදක් ඇත. භාවනාව රාජකාරියක් හෝ අනිවාර්ය බන්ධනයක් හෝ නොවේ.

භාවනාව මානසික ක්‍රියාවකි. මෙහිදී, ඔබ ඍජුව ම හැඟීම් සහ චිත්තවේග සමඟ ගනුදෙනු කරනු ලබයි. එමනිසා, ඔබ භාවනා සැසියකට ප්‍රවේශ වන ආකල්පය වැදගත් වේ. බොහෝ අවස්ථාවන්හි දී ඔබට ලැබෙන්නේ ඔබ අපේක්ෂා කළ දේ ය. එබැවින්, භාවනාවේ යෙදීම ආශාවෙන් බලාපොරොත්තු වන විට ඔබගේ භාවනාව ද හොඳීන් සිදුවනු ඇත. වෙහෙස හා අපහසුතාව අපේක්ෂාවෙන් වාඩි වූ විට සමහර විට එය ද සිදුවිය හැක. ඔබට ම ප්‍රායෝගික වන දෛනික රටාවක් සාදා ගන්න. එය ඔබගේ ජීවිතයේ අනෙකුත් කටයුතු සමග ගැළපෙන ආකාරයට විය යුතු ය. ඔබ විමුක්තිය කරා ළඟාවීම පිණිස වෙහෙසකාරී, දුෂ්කර කටයුත්තක නියැළී සිටින බව ඔබට දැනෙන්නට පටන්ගත් විට යම් වෙනස් කිරීමක් කරන්න.

හිමිදිරි උදෑසන භාවනා කිරීම සඳහා සුදුසු ම කාලයයි. ඔබගේ මනස වගකීම්වලින් තොර නැවුම් බවකින් පිරී ඇත. උදෑසන භාවනාවේ යෙදීම ඔබගේ දවසට කදිම ආරම්භයක් ලබා දෙයි. එය එදින තුළ ඔබගේ වැඩකටයුතු නිසිලෙස කිරීමට අවශ්‍ය ක්‍රියාශීලී පන්නරය ලබා දෙයි. තරමක් සැහැල්ලු බවකින් ඔබට දවසේ වැඩ කටයුතු කර ගැනීමට හැකි වෙයි.

ඔබ මුළුමනින් ම අවදිවී සිටින බව සහතික කර ගන්න. නිදි කිරා වැටෙමින් භාවනාවට වාඩි වී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් අවශ්‍ය පමණ නින්දක් ලබා ගන්න. භාවනාවට වාඩිවීමට පෙර, ජල ස්නානය කිරීම හෝ මුහුණ සෝදා ගැනීම කරන්න. රුධිර සංසරණය හොඳීන් සිදුවීම සඳහා අවශ්‍ය නම් ව්‍යායාම කරන්න. සම්පූර්ණයෙන් ම නින්දෙන් පිබිදීම සඳහා අවශ්‍ය සියල්ල කළ පසු වාඩි වන්න.

කෙසේ වෙතත්, මේ වේලාවේ දී එදිනෙදා වැඩකටයුතුවල එල්ලී නොගන්න. භාවනාවේ යෙදීමට අමතක වීම ඉතා පහසු දෙයකි. භාවනාව, සෑම උදෑසනක ම, ඔබගේ ප්‍රධාන කාර්යය කර ගන්න.

සවස් කාලය ද භාවනාවේ යෙදීම සඳහා යෝග්‍ය අනෙක් කාලයකි. දවස පුරා ඔබගේ සිතේ එකතු වී ඇති කුණුකන්දල් ඉවත් කිරීම, සුවපහසු නින්දක් ලබා ගැනීමට මහත් උපකාරයකි. භාවනාව ඔබගේ සිත පවිත්‍ර කර නැවත පණ උපදවා දෙයි. ඔබගේ සිහිය නැවත පිහිටුවා, සුව නින්දක් ලබා දෙයි.

පටන් ගැන්මේ දී දිනකට වරක් භාවනාවේ යෙදීම සෑහෙයි. එයට වඩා වාර ගණනක් පුහුණු විය යුතු බව ඔබට හැඟීම හොඳ දෙයකි. නමුත් ප්‍රමාණය ඉක්මවා නොයන්න. නවක භාවනානුයෝගීන් තුළ මෙම අධික වෙහෙසකර බව අපි දැක ඇත්තෙමු. දිනකට පැය 15 බැගින් සති කිහිපයක් හා හා පුරා කියා භාවනාවේ යෙදෙන ඔවුන්ට, පසුව, අතපසුවූ වැඩකටයුතුවල නිරත වන්නට සිදුවෙයි. එවිට භාවනාව සඳහා මිඩංගු කළ නොහැකි කාලයක් අවශ්‍ය බවට ඔවුහු තීරණය කරති. බොහෝ කැප කිරීම් අවශ්‍ය බව සිතති. මේ සියල්ල සඳහා ඔවුනට කාලයක් නැත. ඔබ මෙම උගුලට හසු නොවන්න. පළමුවන සතියේ ම අධික වෙහෙසට පත් නොවන්න. කඩිමුඩිය සෙමෙන් කරන්න. ඔබගේ උත්සාහය නොවෙනස් ව, නොසැලී පවත්වා ගන්න. භාවනාව ඔබගේ ජීවිතයට එකතු කර ගැනීමට ඔබ ම කාලය ලබා දී, එයට ක්‍රමක්‍රමයෙන් හා කාරුණික ව වර්ධනය වන්නට ඉඩ සලස්වන්න.

භාවනාව සඳහා ඔබගේ උනන්දු වැඩිවනවා සමඟ ම, එයට ඔබගේ දිනපතා කාල සටහනේ වැඩිපුර ඉඩකඩ ලැබෙනු ඇත. බල කිරීමකින් තොරව ඉබේ ම එය සිදුවනු ඇත.

පළපුරුදු භාවනානුයෝගීන් දිනකට පැය තුනක් හෝ හතරක් හෝ භාවනාව සඳහා කාලය යොදා ගන්නා අතර ම ජීවිතයේ සාමාන්‍ය කටයුතුවල නිරතවීමට ද කාලවේලාව සොයා ගනියි. ඔවුහු එයින් සතුටක් ම ලබති. එය නිරායාසයෙන් ලැබෙන්නකි.

කොපමණ කාලයක් වාඩි වී සිටිමු ද ?

මෙහිදී ද කලින් නීතිය අදාළ වේ. එනම් ඔබට වාඩි වී සිටිය හැකි කාලයක් නමුත් ප්‍රමාණය ඉක්මවා නොයන්න. බොහෝ දෙනෙකු, පටන් ගැන්මේ දී විනාඩි 20ක් හෝ 30ක් භාවනා කරති. මුලදී එයට වඩා දිගු කාලයක් වාඩි වී සිටීම අපහසු ය. මෙම නුහුරු ඉරියව්වට පුරුදු වීම සඳහා සිරුරට යම්කිසි කාලයක් ගත වේ. නුහුරු මානසික කුසලතාවක් පුරුදු වීමට ද කාලය අවශ්‍ය ය.

මෙම ක්‍රියාවලියට හැඩගැසීමත් සමඟ ම ඔබගේ භාවනා කාලය ටිකෙන් ටික දීර්ඝ කර ගන්න. අවුරුද්දක පමණ කාලයක් මුළුල්ලේ භාවනා පුහුණු වූ පුද්ගලයකුට වරකට පැයකට ආසන්න කාලයක් පහසුවෙන් වාඩි වී සිටීමට පිළිවන.

මෙහිදී වැදගත් කරුණක් වනුයේ විපස්සනා භාවනාව තාපස දිවියක් නොවීමයි. සිරුරට වද දීම (අත්තකිලමතානුයෝගය) එහි පරමාර්ථය නොවේ. අප දියුණු කර ගැනීමට උත්සාහ කරන්නේ සිහිය මිස වේදනාව නොවේ. දෙපාවල වේදනාව වැනි දේ වැළැක්විය නොහැක. දසවන පරිච්ඡේදයේ දී වේදනාව සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ඇත.

අපහසුතාව සමඟ ගනුදෙනු කිරීමට උපකාරී වන ක්‍රම සහ ආකල්ප ඔබ එහිදී ඉගෙන ගන්නවා ඇත. මෙය දරුණු දරා ගැනීම් තරගයක් නොවන බව එවිට ඔබට වැටහෙනවා ඇත. කිසිවක් කිසිවකුහට ඔප්පු කිරීමට අවශ්‍ය නැත. පැයක් වාඩි වී සිටියා කියා ඔප්පු කිරීම සඳහා බලවත් වේදනා මැඬගෙන නොසිටින්න. එය කිසි ප්‍රයෝජනයක් නැති, මමත්වය නිසා ඇතිවන්නකි. මුලදී එය කිසිසේත් ම කළ යුතු නැත. ගලක් සේ දිගු වේලාවක් වාඩි වී සිටීමට නොහැකි වීම ගැන ඔබට ම දොස් පවරා නොගන්න.

භාවනා කිරීම ඔබගේ ජීවිතයේ අංගයක් වන විට, එක් භාවනා කාලයක් සඳහා පැයක් ඉක්වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඒ මොහොතකට අදාළ ව ඔබට පහසු කාලය තීරණය කර ගන්න. පසුව එයට වඩා විනාඩි පහක් ඒ සඳහා වැය කරන්න.

වරකට භාවනා කළ යුතු කාලය සම්බන්ධ ව නිශ්චිත නීතියක් නැත. සමහර දිනෙක, ශාරීරික හේතු මත, ඔබ තීරණය කළ අවම කාලය තුළ පවා වාඩිවී සිටීමට නොහැකි වනු ඇත. එසේ වූ පලියට, මුළු දිනය තුළම භාවනාව අත්හැරිය යුතු නොවේ. දිනපතා භාවනා කිරීම තීරණාත්මක නිසා දිනකට විනාඩි 10 ක් වූ කෙටි කාලයක් භාවනාවේ යෙදීම පවා ප්‍රයෝජනවත් ය.

භාවනාව අතරතුරේ දී නොව, භාවනාව සඳහා වාඩි වීමට පෙර, ඒ සඳහා ඔබට ගතකළ හැකි කාලය තීරණය කරන්න. එසේ නොකළහොත් කලබලකාරී බව ඇති කිරීමට එය හේතුවක් වනු ඇත. සිහියෙන් යුතු ව අප නිරීක්ෂණය කිරීමට උත්සාහ දරන එක තත්ත්වයක් නම් සිතෙහි කලබලකාරී බවයි. එම නිසා සාධාරණ කාල සීමාවක් තෝරා ගෙන එය නිරතුරු ව පවත්වා ගන්න.

කාලය මැනීම සඳහා, මෙහිදී ඔරලෝසුවක් පාවිච්චි කළ හැකි නමුත්, සෑම විනාඩි දෙකකට ම වරක් ඒ දෙස නොබලන්න. එවිට ඔබගේ චිත්ත ඒකාග්‍රතාව මුළුමනින් ම නැති වී කලබලකාරී ස්වභාවයක් වර්ධනය වීමට ඉඩකඩ ඇත. නියමිත කාලය නිමා වීමට පෙර නැඟිට සිටීමට ඔබ අපේක්ෂා කරන බව ඔබට දැනෙනු ඇත. එය ඔරලෝසුව දෙස බැලීම මිස විපස්සනා භාවනා පුහුණුව නොවේ. මුළු භාවනා කාලය ම ගතවී ඇති බව ඔබට දැනෙන තුරු ඔරලෝසුව දෙස නොබලන්න. භාවනා කරන සෑම විටෙක ම ඔබට ඔරලෝසුව අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ඔබ වාඩි වී සිටිය යුත්තේ ඔබට අවශ්‍ය කාලයක් පමණි. මේ සඳහා අරුම පුදුම කාල සීමාවක් නැති නමුත් කලින් කාල සීමාවක් වෙන් කර ගැනීම නුවණට හුරු වේ. එසේ නොකළ විට, බොහෝ විට ඔබගේ භාවනාව කෙටි එකක් වීමට ඉඩකඩ ඇත. අප්‍රසන්න හෝ අමිහිරි යමක් මතුවන විට හෝ, නොසන්සුන් බවක් හටගන්නා සෑම අවස්ථාවක ම ඔබ එයින් පලා යනු ඇත. එය යහපත් නොවේ. ඔබට දිගට ම වාඩි වී සිටීමට හැකි නම් මේවා භාවනානුයෝගීයකු මුහුණ දෙන ඉතා වටිනා අත්දැකීම් වනු ඇත. සන්සුන් ව හා පැහැදිලි ව ඒවා දෙස බලා සිටීමට ඔබ ඉගෙන ගත යුතුයි. මෙලෙස කීප වරක් කළ විට ඔබ ඒවායේ ග්‍රහණයෙන් මිදෙනු ඇත. ඒවා ඇති සැටියෙන් ඔබ දකිනු ඇත. ඒවා හුදෙක් ම ආවේගයන් පමණක් ම වන අතර ඇති වී නැති වී යයි. එය ඔබ පසුකර ගෙන යන සංදර්ශනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ජීවිතය පහසු වනු ඇත.

“විනය” අප බොහෝ දෙනකුට අමාරු වචනයකි. එය ඔබට ඉහළින් කෝටුවක් අතේ තබා ගෙන සිටින මිනිසකුගේ පින්තූරයක් සිතේ ඇති කරයි. නමුත් ස්වයං විනය එයට වඩා වෙනස් ය. එය ඔබගේ ආවේගයන්ගේ බොල් කෑගැසීම තුළින් ඒවායේ ඇතුළත දැක ගැනීමයි. ඔබ පාලනය කිරීමේ බලයක් ඒවාට නැත. මේ සියල්ල හුදෙක් ම සංදර්ශනයක් පමණි. රැවටිල්ලකි. ඔබගේ ආශාවන් මොරගසා ඔබට ගර්ජනා කරයි. නමුත් ඒවා කෝටුවක් ළඟ තියා නොගනියි. පුරුද්දට මෙන් ඔබ ඒවාට හසුවෙයි. ඔබ තර්ජන ඉක්මවා නොබලන නිසා ඔබ ඒවාට යටත් වෙයි. එය හිස් ය. එය ඉගෙන ගැනීමට තිබෙන්නේ එකම ක්‍රමයකි. මෙම පිටුවේ තිබෙන මුද්‍රිත අකුරුවලට එය කළ නොහැක. නමුත් ඔබගේ, අභ්‍යන්තරය දෙස බලා එයින් පිටතට පැමිණෙන දේ දෙස බලා සිටින්න. නොසන්සුන්කම, ඉවසීම නැති බව, වේදනාව - ඒවායේ නොපැටලී හුදෙක්ම ඒවායේ පැමිණීම නිරීක්ෂණය කරන්න. පුදුමයකට මෙන් ඒ සියල්ල නැති වී යනු ඇත. ඇති වී නැති වී යයි. එය ඒ තරම් සරල ය. ඉවසීම, ස්වයං විනයට යෙදෙන තවත් නමකි.

සූත්‍ර උච්චාරණයෙන් පසුව සැම භාවනාවක් ම ආරම්භ කිරීම, ථෙරවාද බුදුදහම පවතින රටවල සම්ප්‍රදායකි. හානියක් නැති වත්පිළිවෙතක් පමණක් ලෙස සලකා ඔබ මෙය ඉවත දැමීමට පිළිවන. නමුත්, ප්‍රායෝගික වටිනාකමකින් යුත් මෙවැනි වත්පිළිවෙත්, ප්‍රායෝගික මනසක් හා මහත් කැපවීමක් ඇති පුද්ගලයින් විසින් සකස් කර ඇත. එබැවින් ඒවා ගැඹුරු විමර්ශනයකට ලක් කිරීම සුදුසු ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී උන්වහන්සේ එදා පැවති සමාජයට පටහැනි පුද්ගලයකු ලෙස සලකනු ලැබීය. ආගමික පුදපූජා හා වත්පිළිවෙත්වලින් ගහණ වූ සමාජයක ඉපදුණු බුදුරදුන්ගේ අදහස්, එවකට පැවති ආගමික උත්තරීතර මණ්ඩලයට සහ ඔවුන්ගේ මතයන්ට පහර ගැසීමක් බඳු විය. බොහෝ අවස්ථාවල දී උන්වහන්සේ, ශ්‍රාවකයින්ගේ ම යහපත උදෙසා මෙකී වත්පිළිවෙත් දැඩි ව ප්‍රතික්ෂේප කළහ.

එවැනි දේවලින් ප්‍රයෝජනයක් නැති බව මින් අදහස් නොකෙරේ. මා අදහස් කරන්නේ කරන්නන් වාලේ වතාවත් ඉටුකිරීම මගින් පමණක් ම ඔබට මේ උගුලෙන් බේරීමට නොහැකි බවයි. සැබැවින් ම මේවා උගුලේ කොටසක් ම වෙයි. හුදෙක් ම වචන සමූහයක් උච්චාරණය කිරීමෙන් ඔබට බේරීයාමට හැකි යැයි විශ්වාස කරයි නම්, ඔබ වචන සහ සංකල්ප කෙරෙහි තව තවත් බැඳෙනු ඇත.

වචනවලින් තොර යථාර්ථය වෙත යොමුවනවා වෙනුවට ඔබ ඉන් ඉවත්වීමක් සිදුවෙයි. එබැවින් මෙහි සඳහන් වන සූත්‍ර පුහුණු විය යුත්තේ ඒවා මොනවා ද හා ඒවා ප්‍රතිඵලදායී වන්නේ ඇයි ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතුව ය. යාඥාවක් හෝ මන්තර නොවන ඒවා අරුම පුදුම විජ්ජාවක් ද නොවෙයි. ප්‍රතිඵලදායී වීමට ඔබගේ සිතේ ක්‍රියාශීලී සහභාගීත්වය අවශ්‍ය කරන මේවා සිත පවිත්‍ර කරන උපකරණ වේ.

අභිප්‍රායකින් තොරව මුමුණන වචනවලින් වැඩක් නැත. විපස්සනා භාවනාව සියුම් මානසික ක්‍රියාකාරකමකි. එහි සාර්ථකත්වය උදෙසා, භාවනාවේ යෙදෙන්නන්ගේ මනෝභාවය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරයි. සන්සුන් වූ කාරුණික විශ්වාසය සහිත පසුබිමක මෙය උපරිමයෙන් ක්‍රියා කරනු ඇත. මෙවැනි ආකල්ප වඩන ආකාරයෙන් මෙම සූත්‍ර නිමවා ඇත. නිවැරැදි ලෙස භාවිත කිරීමෙන් විමුක්ති මාර්ගයේ ප්‍රයෝජනවත් උපකරණ ලෙස මෙම සූත්‍ර ක්‍රියා කරනු ඇත.

මීළඟ කොටස නිකිණි පුර පසළොස්වක පෝදා කලාපයේ

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]