[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දැහැමි සමාජයක උදාව

දැහැමි සමාජයක උදාව

මිහිඳු මාහිමිපාණන් විසින් දේශනා කොට වදාළ පෙතවත්ථු හා විමානවත්ථු දේශනාවෙන් එවකට මෙහි විසූ ජනතාවගේ තවත් කාලින අවශ්‍යතාවක් සැපිරීය.

එනම් හිංසන කටයුතු, අකුසල ක්‍රියාවෙහි ආදීනවත්, කුසල කර්මයෙහි සුවදායක ප්‍රතිවිපාකත් පැහැදිලිකර දී ධර්මිෂ්ඨ සමාජයක උදාවක් ඇති කිරීමයි.

මෙම පේතවත්ථු දේශනා බුදුරජාණන් වහන්සේ විසින් ද ඉදිරිපත් කර තිබුණේ ක්‍රම දෙකකට යි. පළමු ක්‍රමයේ දී භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා නම් වූ පිරිසේ ඒ ඒ අයට අදාළ වූ පෙර සිදුවිම් මුල් කර ගෙන අකුසල කර්මයන්ට අනුව අත්විඳී ප්‍රේත භවයන් හි කටුක තොරතුරු ගෙනහැර දක්වමින් අකුසලයෙහි ගැලීමේ ආදීනව පෙන්වා දෙමින් කරන ලද දේශනායි.

ඒවාට කියනවා අර්ථොත්පත්ති දේශනා හෙවත් අට්ඨුප්පත්තික දේශනා ක්‍රමය කියලා.

ඒ වගේ ම නාරද ආදී පිරිස් විසින් යම් කරුණක් අරමුණක් කොට එම දුක්ඛදායක විපත්තින්ට හේතුව කුමක්දැයි අසන ලද පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ප්‍රේත භවයන් පිළිබඳ කෙරුණ විස්තර ඇතුළත් කථා පුවත් තිබෙනවා. ඒවාට කියනවා පුච්ඡා විස්සජ්ජන දේශනා කියලා.

මේ පේතවත්ථු හා විමානවත්ථු දේශනා මිහිඳු මහරහන් වහන්සේගේ දෙවැනි ධර්ම දේශනා මාලාවට අයත් වුණා. එයිනුත් පළමුවැන්න පේතවත්ථු දේශනා යි. එයට හේතුව තමා පාපයෙහි බිය ඇති කිරිම. මෙයට අභිධර්මයෙහි කියවෙනවා ඔත්තප්ප කියන චෙතසිකය බව. එනම්, අප බිය විය යුත්තේ පාපයට මිසක් වෙනත් අදෘෂ්‍යමාන බලවේගවලට නොවන බව. මෙයින් අදහස් කරන්නේ අපේ ඉන්ද්‍රියයන් මඟින් නිරන්තරයෙන් විවිධ අරමුණු ඔස්සේ රාග, ද්වේෂ, මෝහ යන මේ චෛතසිකයන් මුල් වීමෙන් හට ගන්නා අකුසල පක්ෂයට යොමුවීමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන් ම අවුරාලීමයි. ඒ මොකද? මේ වනවිට ලාංකේය සමාජය තුළ භාරතීය බලපෑම් හා ඒ වනවිටත් විකාශය වෙමින් පැවැති විවිධ ඇදහිලි ක්‍රම නිසා බොහෝ සෙයින් යාග හෝමදී බලි බිලි පුදපූජා පැවැත්වුණා. ඒ සඳහා දහස් ගණන් සත්වයන්ගේ දිවි තොර කළා. එසේ බරපතළ ප්‍රාණඝාතාදි අකුසලයන් සිදු කිරීමෙන් ජනතාව නොදැහැමි බවට පත් වීම, සත්වයන් විසින් මේ භවය තුළ සිදු කරන කුසලාකුසල කර්මයන්ට අනුව ඊළග භවයන් තීරණය වන බව මූලික වූ ඉගැන්විමක් බව තේරුම් කර දීම අවශ්‍ය වුණා.

තමන් විසින් කුසල පක්ෂයෙහි කර්මයක් සිදු කළ විට ඊළඟ සුවපත් සැපවත් භවයක් වීමක් සිදු වන අතර, අකුසල කර්මයක් වූ විට එය දුගතියට හේතු වෙනවා යන්න පැහැදිලි කිරිම අවශ්‍ය වුණා.

මෙම පේතවත්ථු දේශනාවන්ගෙන් එවැනි සත්වයන්ට විවර වන අපාය සතරක් ගැන කියැවෙනවා. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යනු මේ හතරයි. එයින් ප්‍රේත ලෝකයෙහි යම් කෙනෙක් තමා විසින් කරන ලද අකුසල කර්මයට අනුව උපදිනවා. බිම්බ්සාර රජතුමා විසින් වෙළුවනරාමය නිමවා බුදුරජාණන් වහන්සේට පූජා කර මහ දන් පැවැත්වූ මහ රෑ රජතුමාට මහත් කනස්සල්ලක්, බියක් ඇති කරමින් මහා ශබ්ද නඟා වැලපෙන හඬන විලාපයක් ඇසුණා. පසු දිනට පහන් කළ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් එම පුවත සැල කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ඒ රජතුමාගේ කල්ප අනූ දෙකකට පෙර ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ දවස ඥාති පිරිසක් එදා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට රැගෙන ගිය දායක පිරිසකගේ දන්වැට සොරා ගසා කෑ පවින් මෙසේ කල්ප අනූදෙකක් නිරයාදී අපයගාමි ව දුක විඳි බව.

මේ වනවිට පරදත්තූපජිවි නම් ප්‍රේතාත්ම භාවය ලබා පින් අනුමෝදන් නො වූ නිසා ඒ අයට පින් දෙන ලෙස රජතුමාට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා.

පසුව රජතුමා විසින් බුදුරදුන් ප්‍රධාන මහා සංඝරත්නයට දන් දී ඤාතින්ට පින් අනුමෝදන් කළා. ඉන් පසු එම ප්‍රේත සමූහය දුක් සහිත ප්‍රේත භවයෙන් මිදුණ බව ප්‍රකාශ වෙන දේශනාවක් ලෙස මෙහි එන තිරොකුඩ්ඪ දේශනාව පෙන්වා දෙන්නට පුළුවන්.

මේ ආකාරයෙන් ම මේ භවයෙහි මේ දුක් සහිත සසර සැරිසරන මනුෂ්‍යයා විසින් කරනු ලබන පින්කම් නිසා දිව්‍ය සම්පත් ඇතිතරම් විඳීන ආකාරය විමානවත්ථු දේශනා තුළින් ප්‍රකට වෙනවා. එදා මිහිදු මහරහතන් වහන්සේ රජමාළිගාවේ දන්වළඳා, දෙවනුව විමානවත්ථු දේශනා පැවැත් වූ බව කියවෙනවා.

මෙම විමාන වශයෙන් නම් කර තිබෙන්නේ දිව්‍ය විමාන යි. එනම් පෙර ආත්ම භාවයන්හි සිදු කරන ලද පින්කම් නිසා ඒ උදවිය දිව්‍ය ලෝකයන්හි පහළ වී ඔවුන්ට ලැබුණු දිව්‍ය විමාන හෙවත් දිව්‍යමය මාළිගාවල ස්වභාවයත් එහි වාසය කරන එම දෙවිවරුන්ගේ සැප සම්පත්තිය, උපභෝග සම්පත්තිය, පරිවාර සම්පත්තිය වැනි පළ විපාක මෙම කථාවස්තුන් මගින් විස්තර වශයෙන් ප්‍රකාශ කෙරෙනවා.

මෙම විමානවත්ථු කථා බුදුරජාණන් වහන්සේ විසින් ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සෘද්ධිමත් ශ්‍රාවකවන් වහන්සේ අතර අග තනතුර ලද මුගලන් මහරහතන් වහන්සේ විසින් ද, තවත් මහරහතන් වහන්සේ විසින් ද ශක්‍ර ආදි දෙවිවරුන් විසින් ද ප්‍රකාශ කර තිබෙනවා.

දවසක් දා මුගලන් මහරහතන් වහන්සේට මෙබඳු අදහස් ඇති වුණා. මෙකල මිනිසුන්ට කෙත්වත්වලින් අඩුවක් තිබෙනවා. එහෙම වුණත් ඒ අය මනුලොව ශ්‍රද්ධාවෙන් පින්දහම් කර ගත්තොත් දිව්‍ය ලෝකවල උපත ලබා සිත් සේ ම උසස් පලවිපාක ලබා සැප සේ ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් ඒ කරුණු සාක්ෂි වශයෙන් අසා දැන ගෙන නැවත මිනිස් ලොවට පැමිණ ඒ කරුණු බුදුරජාණන් වහන්සේට පෙන්වා දුන්නොත් හොඳයි කියා සිතා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන දෙව්ලොවට වැඩම කළා. එසේ වැඩම කොට ඒ ආකාරයෙන් ම ඒ ඒ දෙවිවරුන්ගෙන් කරන ලද පින්කම්වල තොරතුරු වගේ ම සුළුවෙන් කළ පින්කම් තොරතොරුත්, එහි විපාක විඳීන ආකාරයත් දැන ගෙන ආපසු වැඩම කර බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා.

එයින් පසු බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අනුමත කර උන්වහන්සේ වටා සිටි සිව්වණක් පිරිසට එම සියලු පින්කම්වල ප්‍රතිවිපාක පෙන්වා දුන්නා. ඒ යටතේ ධර්ම දේශනා කළා.

මෙන්න මේ සියලු පුවත් එක්තැන් කළ අවස්ථාව ලෙස මෙහි එන විමානවත්ථු කථා පෙන්වා දෙන්නට පුළුවනි.

පසේනදි කොසොල් රජතුමා, විශාඛා මහා උපාසිකාව, අනේපිඬු සිටු තුමා වැනි ඉහළ පෙළේ අය මෙන් ම කිසියම් දුගී ජිවිතයක් ගත කරන අයෙක් වුවත් සිත පහදවා ගෙන දෙන ඉතා සුළු හෝ දානය මහත්පල මහානිසංශ වන අයුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ අය ඉහළ තලයේ දිව්‍ය සම්පත් අනුභව කළ අයුරුත් පෙන්වා දුන්නා. කාන්තාවක් තමන්ට තිබුණු එකම පුටුව සිත පහදවා ගෙන පිණ්ඩපාතයේ වැඩි භික්ෂුවකට දන් දී විසිතුරු සම්පත් ඇති ව දෙව්ලොව පහළ වූ ආකාරය කියැවෙන කථා පුවතක් මෙම විමනා වත්ථු කථාවක ඇතුළත් වෙනවා.

මේ නිසා ජනතාව වැඩි වැඩියෙන් පින්කම් වලට පෙළගැසෙන්නට පටන් ගත්තා. මෙවැනි දේශනා එදා මිහිදු මාහිමියන් විසින් ඉදිරිපත් කළ නිසා අපේ ඉතිහාසය පුරාවට ලාංකික ජනතාව විවිධ මට්ටමේ තමන්ගේ ශක්තියේ හැටියට සිත පහන් කර ගෙන විවිධ පින්කම් සිදු කරන තත්වයක් පසු කාලයේ දී ඇති වුණා. අද දක්වාත් ලාංකික ජනතාව තම තමන්ගේ ශක්තියේ හැටියට දුගිමගී යාචක පිරිස්වලට දන්දීම, අසරණ වූවන්ට පිළිසරණ විම, ගිලන් උපස්ථාන, දන්සැල් පැවැත්වීම ආදිය සිදු කරන්නේ මේ දේශනාවල බලපෑමෙන් බව කීවොත් එය වඩාත් නිවැරැදි වෙනවා.

ඇසළ පුර පසළොස්වක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ.
20 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]